‘විද්‍යා’ නඩුවේ තීන්දුව අද.


සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ නඩු තීන්දුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අද (27) යාපනය මහාධිකරණයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතීත්වයෙන් මහාධිකරණ විනිසුරු අන්නලංගම් ප්‍රේමශංකර් සහ මහාධිකරණ විනිසුරු මානික්‍යවාසගර් ඉලංචේලියන් මහත්වරුන්ගෙන් හෙබි  ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩු විභාගය ආරම්භ වූයේ ඉකුත් ජූනි 28 දාය. නඩු විභාගය අවසන් වූයේ සැප්තැම්බර් 13 දාය.

මේ නඩුවේ විත්තිකරුවෝ නවදෙනෙකි. පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් හෙවත් සිනප්පා, පුබාලසිංහම් ජෙයකුමාර් හෙවත් රවී, පුබාලසිංහම් නවකුමාර් හෙවත් සෙන්දිල්, මහලිංගම් ශෂිදරන් හෙවත් ශෂී, පිල්ලෙනාදන් චන්ද්‍රකාශන් හෙවත් චන්ද්‍රා, ශිවදේවන් කුෂාන්තන් හෙවත් පෙරියතම්බි, පලනි රූබසිංහම් කුගනාදන් හෙවත් නිෂාන්තන්, ජයදරන් කෝකිලන් හෙවත් කන්නා, මහලිංගම් සෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් විත්තිකරුවෝ වෙති.

නඩු විභාගයේදී සාක්ෂිකරුවෝ තිස්පහක් පමණ සාක්ෂි දුන්හ. ඩී. එන්. ඒ. සාක්ෂි ඇතුළුව නඩු භාණ්ඩ විසිහයක් නඩු විභාගයේදී ඉදිරිපත් කෙරුණි. විද්‍යා දැරිය යාපනය පුන්තුඩතිව්හිදී පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කරනු ලැබුවේ 2015 මැයි 13 දාය.

පැමිණිල්ලේ ආරම්භක දේශනය පැවැත්වූවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාය.

පැමිණිල්ලේ සාක්ෂි විභාගය සිදුකළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩී. එස්. ජී. කුමාරරත්නම් මහතාය.

රජයේ අධිනීතිඥ එන්. නියාස් මහතා ඇතුළුව රජයේ අධිනීතිඥ ජයලක්ෂි සිල්වා සහ රජයේ අධිනීතිඥ මාදිනී විග්නේෂ්වරන් මහත්මීහු පැමිණිල්ලට සහාය දැක්වීය.

අගවිනිසුරු ප්‍රයසත් ඩෙප් මහතා මෙම අපරාධය විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කළ අතර නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගේ ලිඛිත ඉල්ලීමකට අනුව එය සිදුවිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment