"හොරකම් කළොත් අල්ලනවා, මගෙ අම්මා හොරකම් කළත් අල්ලනවා"යි මම කීවා - චන්ද්‍රිකා බණ්ඩාරනායක

 

ගම්පහ අලවල මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරීම ඊයේ දිනයේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අතින් සිදු කෙරිණි. රුපියල් ලක්ෂ 210ක වියදමින් ඉදිකෙරුණු මෙම ගොඩනැඟිල්ල එම විදුහලේ එකොළොස්වන ගොඩනැඟිල්ල වෙයි. අත්තනගල්ල ශ්‍රී අරහන්ත රජ මහා විහාරාධිපති, සිව් කෝරළේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමියන් විසින් ආරම්භ කර ඇති පාසල් ගොඩනැඟිලි තැනීමේ ව්‍යාපෘතියක් යටතේ මෙම ගොඩනැඟිල්ල ඉදිකර තිබේ. 

තමන්ගේ යුගයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගෙන එමින් 1998 සිට ශ්‍රී ලංකාවේ මුළු මහත් අධ්‍යාපනයේම විශාල දියුණුවක් ඇති කිරීමට ක්‍රියා කළ බව පැවසූ චන්ද්‍රිකා මහත්මිය, පාසැල් ගොඩනැඟිලි පමණක් නොව විද්‍යාගාර, පුස්තකාල සහ පරිඝනක කාමර පාසල් සඳහා ලබා දුන් බවත් පළමු වතාවට පරිඝනක අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයේ පවා ආරම්භ කෙරුණේ ඒ යුගයේදී බවත් සිහිපත් කළාය. නව විෂයයන් ඇතුළු කිරීම, වසර 25කට පසු සෑම පෙළපොතක් ම අලුතින් ලිවීම, නවීන ඉගැන්වීමේ ක්‍රම ගුරුවරුන්ට හඳුන්වාදීම, ගුරු පුහුණු මධ්‍යස්ථාන 88ක් අළුතින් ආරම්භ කිරීම මඟින් ගුරු පුහුණුව විධිමත් කිරීම සහ ගුරු වැටුප් වසර 8ක් තුළ පස් ගුණයකින් වැඩි කිරීම වැනි අධ්‍යාපනයට බලපාන සේවාවන් රැසක් ඉටු කිරීමට තමන්ට හැකි වූ බවත් ඒ සියල්ල කළේ දරුණු යුද්ධයකට ද මුහුණ දෙමින් බවත් ඇය අවධාරණය කළා ය. 

එසේම, එම පාලන සමයේ මුල් වසර අට තුළදී ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළ බවත්, දළ දේශීය නිශ්පාදිතය 350%කින් වැඩි කිරීමට හැකිවූ බවත් පැවසූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එසේ කිරීමට හැකි වූයේ විශාල වශයෙන් හොරකම සහ නාස්තිය අඩු කළ නිසා බව පැවසූවාය. තමන් හොරකම් කිරීමට කිසිදු දේශපාලනඥයකුට අනුබල නොදුන් බව සඳහන් කළ ඇය, "හොරකම් කළොත් අල්ලනවා, මගෙ අම්මා හොරකම් කළත් අල්ලනවා" යැයි තමන් තම පක්ෂයේ දේශපාලනඥයින්ට පැවසූ බවද ප්‍රකාශ කළාය. වැරදි කළ ඇමතිවරුන් පවා අස් කරමින් තමන් කටයුතු කළේ රටේ දරුවන්ට වැදගත් රටක් තුළ දීප්තිමත් ගමනක් යාමේ පරිසරය සකස් කිරීම ආරම්භ කිරීමට බවත් හිටපු ජනාධිපතිවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය. 

කණගාටුවට මෙන් ඒ සියල්ල පසුගිය කාලය තුළ කඩා වැටුණු බවත් දැන් යළිත් නව රජය සෙමින් සෙමින් අධ්‍යාපනය ගොඩනැඟීමට ආරම්භ කර ඇති බවත්, එය සතුටට කරුණක් බවත් චන්ද්‍රිකා මහත්මිය සඳහන් කළාය. 

- ඉඳුනිල් කැළුම් ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment