මොරවක්කන්ද නාය යාමෙන් නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තැබේ.

මොරවක්කන්ද නාය යාමෙන් නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තැබේ.

 

2017 මැයි 26 වන දින රාත්‍රියේ මොරවක, මොරවක්කන්ද නාය ගිය අතර එම ව්‍යසනයෙන් ජීවිත 23ක් අහිමි වී නිවාස 11ක් සම්පූර්ණයෙන් ම විනාශයට පත්විය. 

මෙම මුල්ගල් තැබීමේ උත්සව සභාව අමතමින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, නිවාස අහිමි වූ පවුල් වලට නිවාස ලබා දීමට කටයුතු කරන ශ්‍රී ලංකා රතු කුරුස සමාජයටත් ඊට සහයෝගය දුන් සියළුම රජයේ නිලධාරීන්ටත් ස්තූති කළේය. 

එසේම, පසුගිය 2003 වර්ෂයේදී ඇතිවූ ගංවතුරෙන් නිවාස හානියට පත්වූ ජනතාවට නිවාස ලබාදීමේදී තමන් පදිංචිව සිටි ස්ථානයේම නිවාස තනාගැනීමට  ආධාර කල නමුත් මෙවර ඇතිවූ ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය ආයතනවල විශේෂඥ උපදෙස් ලබාගෙන ඔවුන්ගේ අනුමැතියෙන් පසු ජනතාවට ආරක්‍ෂිත ස්ථානවල නිවාස ඉදිකර දීමට යෝග්‍ය භූමින් තොරගනිමින් කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය. 

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම රතු කුරුස නිවාස ව්‍යාපෘතිය මගින් “town houses” ආකාරයේ තට්ටු නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් දෙනියාය වැනි ප්‍රදේශවල ඉඩම් බහුලව පැවතියද තැනිතලා සහිත අවදානමෙන් තොර ඉඩම් ප්‍රමාණය අඩු බැවින් මෙලෙස පවතින සම්පතින් උපරිම ප්‍රයෝජනයට ගැනීමට ක්‍රියා කරන බවද සඳහන්කර සිටියේය. මෙලෙස ඉදිකරනු ලබන නිවාස තට්ටු දෙකකින් යුක්ත වන බවත් එක නිවසකට පළමු මහල සහ දෙවන මහල යන දෙකම අයත් වන අතර උඩට නැගීමට නොහැකි අය සඳහා බිම් මහලෙහිද කාමරයක් පවතින බවත් සඳහන් කළේය. ඒ අනුව බිම් මහල මුළුතැන්ගෙය, සාලය සහ කාමරයකින් යුක්ත වන අතර ඉහල මහලෙහිද කාමර දෙකක් පවතින බවද සඳහන් කළේය.එය ඉතා හොඳ සැලැස්මක් බවත් එවැනි සැලසුම් කිහිපයක් තව දුරටත් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, ගංවතුර සහ නායයෑමෙන් විපතට පත්වූ ජනතාව මුහුණ දුන් දුක තමන් දන්නා බවත් එය තමන් එක්වරක් පමණක් නොව දෙවරක් ම දුටු බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. ඒ අනුව එම දුක ශෝකය තමන් 2003 වසරේදී දෙනියාය ප්‍රදේශයේ ජනතාව තුළින් පළමුවරට දුටු බවත් එයම දෙවැනි වරට 2017 වසරේදීත් දැකීමට සිදුවූ බවත් සඳහන් කරමින් ඔහු කියා සිටියේ මෙවැනි ගංවතුර ආදිය නැවත පැමිණිය හැකි වුවත් නායයෑම් ආදිය සඳහා මුහුණදීමට නම් අවදානම් ස්ථාන වල පදිංචි වීමෙන් වැළකී අවදානම අවමකර ගැනීමට කටයුතු කළහැකි බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment