'ගිං - නිල්වලා' පොලු තැබූ චීන සමාගමට ම මාදුරුඔයත්

'ගිං - නිල්වලා' පොලු තැබූ චීන සමාගමට ම මාදුරුඔයත්

 

ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතියේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් කරන ලද විමර්ශනයකින් පසු, පසුගිය රජයේ වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් අයිවන් ද සිල්වාව අත් අඩංගුවට ගන්නා  ලෙස අධිකරණය විසින් පසුගිය 16 වනදා නියෝග කෙරිණි. ඔහු දැනට රටින් පළාගොස් නවසීලන්තයේ වාසය කරන බවද වාර්තා වී තිබිණි. ඔහු විසින් 2015 ජනවාරි මාසයේදී චීන කැම්ක් ඉංජිනියරින් (CAMC) සමාගමට මුදල් ගෙවා තිබුණ ද ව්‍යාපෘතියේ එක් පස් පිඩැල්ලක් හෝ මේ වනතෙක් කපා නැත. සමාගම ප්‍රකාශ කර ඇත්තේ ඔහු විසින් ගෙවිය යුතුව තිබුණු 5%ක මුදල වෙනුවට 4.35%ක මුදලක් පමණක් ගෙවා ඇති බවය. ගිං - නිල්වලා ව්‍යාපෘතිය ඇමරිකන් ඩොලර් මිලියන 690ක ව්‍යාපෘතියකි. 

මෙවන් අපකීර්තිමත් ඉතිහාසයක් ඇති චීන කැම්ක් සමාගමට ම මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ද භාර දීම සඳහා 2016 වසරේදී ගිවිසුම් අත්සන් කර තිබේ. එම ව්‍යාපෘතියට ද මූල්‍ය දායකත්වය සපයන්නේ ගිං - නිල්වලා ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය සැපයූ චීන එක්සිම් බැංකුවමය. ව්‍යාපෘතිය තවමත් පසුවන්නේ මුදල් අනුමැතිය බලාපොරොත්තුවෙනි. මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 400ක ව්‍යාපෘතියකි. 

සම්පූර්ණ සිද්ධි දාමය දෙස බලන විට පෙනී යන්නේ, මේ සූදානම් වන්නේ ද පසුගිය රජය විසින් කළ වැරැද්ද ම නැවත කිරීමට බවය. මේ ව්‍යාපෘතියෙන් ද කෝටි ගණනක් ගසා කා කවරෙකු හෝ පැනගියහොත් රටට ඉතිරි වන්නේ ණය කන්දක් පමණය. අවම වශයෙන් පසුගිය කොන්ත්‍රාතුවේ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන්වන තුරු හෝ සමාගමක් අසාධු ලේඛන ගත කළ යුතු වුවත් මෙතැන දී එසේ නොවීමෙන් පෙනී යන්නේ මේ හරහා ද මුදල් ගැරීමට කවුරුන් හෝ බලධාරියකු සූදානමින් සිටින බව නොවේද ?

අයිවන්ට වරෙන්තු. නිමල් සිරිපාලට ? 

ගිං - නිල්වලා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනට රටින් පළාගොස් සිටින අයිවන් ද සිල්වා පසුපස පන්නන FCIDය එවකට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් අවම වශයෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමට උත්සාහ කර නැත. යම්කිසි අදිසි හස්තයක් විසින් නිමල් සිරිපාල ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීම වළක්වා ඇති බව පැහැදිලිය. අයිවන් ද සිල්වා අමාත්‍යාංශ ලේකම්වරයා පරිපාලන සේවයේ නිලධාරියකු ද නොවේ. ඔහු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හිටපු ඉංජිනේරුවරයෙකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment