මිස්ටර් සැම්සන් කියන්නේ මාතලන්ගේ තාත්තාය. මාතලන් තාත්තාට කුඩා කාළයේ එසේ ඇමතුවේ තාත්තා කේන්ති ගස්සන්නටය. එහෙත් තාත්තා එයටද සිනාසුනේය. මා තාත්තාට එසේ ඇමතුවේ තාත්තා මට "ලොක්කා" කියා අමතන නිසාය. කැළණියේ ගෙදරට උදෑසන කිරි ගේන ආවේද ලොක්කාය. ඒ ලොක්කාගේ පෙනුම ඒ කාළේ උන් විකට නළුවකු වන, දොන් සිරිසේනගේ පෙනුමට බොහෝ සමාන නිසා, මාතලන්ටද ලොක්කා කියා අමතනවාට කිසිසේත්ම කැමති උනේ නැත. ඉන්පසු මා ලොකු පුතා විය. තාත්තා මිස්ටර් සැම්සන් නොවී, තාත්තාම වූයේය. මා ලොකු පුතා වන අතරේ, මලයා, "හින්නි පුතා"ද, නංගී, "හින්නි දූ"ද උනේය.
තාත්තා ජීවත් වූ අවසාන කාළයේද මා(තලන්) නැවතත් තාත්තා ඇමතුවේ මිස්ටර් සැම්සන් කියාය. මිස්ටර් සැම්සන්ද මාතලන් අමතුවේ "ලොක්කා" කියාය. නමුත් ඒ අර කුඩා කාළයේ මෙන් කේන්තියෙන් නොව ඉතා ආදරෙයෙනි. එහි තාත්තා කියනවාට වඩා ගෞරවයක්ද තිබෙනා බවක් හැඟුන හෙයිනි. තාත්තා මිස්ටර් සැම්සන් වූ අතරේ අම්මා ඉබේම මිසිස් සැම්සන් වූවාය.
ඉඩ කඩ ඇති සෑම අවස්තාවකම මල්ලිගේ ගෙදර උන් මිස්ටර් සැම්සන් බලන්නට ගිය අතර, ගෙදරට පැමිනෙන තෙක්, තුන් හතර වතාවක් කෝල් කරමින්, "කෝ තාම එන්නේ නැද්දයි.." අසමින් මග බලාගේන උන්නේ, මා කුඩා කාලයේ තාත්තා එනතෙක් බලාගෙන ඉන්නවා වාගේමය. ඒ සෑම දිනකම මග බලාගෙන උන්නේ, මාතලන්ගේ ප්‍රියතම ආහාරයක් වන සුදු කිරිබත්, කට්ට සම්බල් හා අයිස් කෝපී (බ්‍රැන්ඩි ස්වල්පයක් දැමූ) පිලියෙල කර ගෙනය. ඒ ඔහුගේ හැටිය. මේවා තාත්තාගේද ප්‍රියතම ආහරයන් වූයේය. මෙයිටාමතරව පොල් සම්බල්, හිරිහොදි හා ඉඳිආප්පද ෆේවරිට් ඒවා අතර තිබුනේය. බේකන් හා "එලිෆන්ට් හවුස්" පෝක් සොසේජ් ෆේවරිට්ම ඒවා උනේය. පැනි රස කෑමේද නොම්මර එකේ රුසියෙක් වූ ඔහුගේ ප්‍රියතම සුවීට් එක උනේ, ජුජුබ්ස්ය. අවසාන කාළයේ අම්මාටද කරදර කළ නොහැකි බැවින් අපි ගෙදරින් හෝ වෙනත් තැනකින් කෑම කා ගියද, ගෙදරට ගොඩවූ විගසම, කෑම දෙන්න යැයි කියා අම්මාට කරදර කලේය.
මා බොහෝ දේ ඉගෙන ගත්තේ මිස්ටර් සැම්සන්ගෙන්ය. ගමේ පන්සලේ හාමුදුරුවරුන් ඔහුගේ හොඳම මිතුරන් වූවද, ඔහු කිසි දිනෙක බුදුන් වැඳීමට පන්සල් ගියේ නැත. එමෙන්ම ගෙදරදි වැන්දේත් නැත. අම්මා සමඟ පන්සලකට ගොඩ වූවද, බුදු හාමුදුරුවන්ට පමණක් ආයුබෝවන් කියා, අම්මා වැඳපුදාගෙන එන තෙක් පැත්තකට වී බලාගෙන උන්නේය. ඔහු කියවීමේ රුසියෙක් විය. ඔහුගේ වෙළඳ ව්‍යාපාරය අසලම පිහිටි පිටකොටුවේ ගුණසේන සමාගමෙන් අපටද පොත පත අරගෙන දුන්නේය.
එමෙන්ම ඔහු හොඳ කළාකමියෙක් විය. අප කුඩා කාළයේ සෑම ඉරිදාවකම, නාට්‍යයක් චිත්‍රපටයක් නැරඹීමට හෝ සත්තු වත්ත, ගෝල්ෆේස්, හෝ කටු ගෙට එක්කගෙන ගියේය. කටු ගේ ඔහුගේ ප්‍රියතම ස්ථානයක් විය. පැරණි ගීත, වේග රිද්ම ගීත වලට මෙන්ම නාඩගම් හා නූර්තී ගිත වලට ඔහු බොහෝ පෙම් කලේය. අපේ සෝ වලට කොතරම් පෙම් කලාදැයි කිවහොත්, මෑතකත් තාත්තා හා අම්මා පමණක් සෝ එකක් බලන්නට ගොස් සිටී බව කීවේ අහල පහල හිතවතෙක්ය.
මිස්ටර් සැම්සන් බිව්වේ නැත. එයා කරේ අඩියක් ගහනා එකය. ඇත්තටම ඒය අඩියක්ම වුනේය. කවදාවත් වෙරි වෙන්නට බිව්වේ නැතිය. ගෙදරදි බිව්වේ ස්ටවුට්ය, ආච්චි බොහෝ දොස් කියද්දී, ඒවා අපටත් දුන්නේ මේවා බෙහෙත් කියාය. දිනකට බ්‍රිස්ටල් 20 පැකට් එකක් පමණ මිළදී ගෙන රටේ සංවර්ධනයට දායක උනද, පසු කාළයක එය නවතා දැම්මේ ඉබේමය. තාත්තාගේ ඩ්‍රින්කින් පාටනර් වූයේ හේවාදේව මුදලාලිය. පොල් ගහ යට කොටියා ඉන්නා භාගේ බෝතලය පිටකොටුවෙන් ගෙනාතර, ෂැන්ඩි වලට ගත්තේ තැඹිලිය, බයිට් එක උනේ සැම්සන් මහත්තයාගේ කට්ට සම්බලය. පසු කාළයේ අපත් සමඟද අඩියක් ගැසු තාත්තා, මගේ මිතුරන්ගෙත් හොඳම මිත්‍රයෙක්ම විය. ඔවුන් සමඟද පොඩි අඩියක් ගැසූ ඔහු, එය නවතා දැම්මේ, ඉතා මෑත කාළයේ උතසවයකදි ඇද වැටීමෙන් අනතුරුවය.
මිස්ටර් සැම්සන්ට අනුව වසවර්ති මාරයෙක් වූ මාතලන්ට කිසි දිනෙකවත් බැණ අඬගසා හෝ තරවටු කොට නැත. මාතලන් ගැන කොම්ප්ලේන් ගෙන එන සෑමට තාත්තා කියා ඇත්තේ කොල්ලෙක් උනාම ඕවා කරන්නේ නැත්නම් උන්ගෙන් අති වැඩක් නෑ කියාය. එක පලහිලව්වක් ගැන කේලාම් පැමිනිල්ලක් කළ මිස්ටර් සිරිවර්ධනගෙන් තාත්තා අසා ඇත්තේ, පලහිලව්ව තියෙන්නේ මිස්ටර් සිරිවර්ධන්ගේ ඩෝටර්ලා එක්කද කියාය. මාතලන් රට රස්තියාදුවේ ගොස් පාන්දර 2 - 3 ට පවා එද්දී, අම්මා දොර වසාගෙන ඒ අසලම නිදා ගන්නාතරේ තාත්තාද උන්නේ නිදි වර්ජිතව බව මා හොඳින්ම දැනගෙන උන්නේය. විශේෂයෙන් ජේ වී පී කාළයෙදිවත් යන්නේ කොහේද කරන්නේ මක්කාද කියාවත් කිසි දිනෙක අසා නැත්තේය.
මිස්ටර් සැම්සන් කිසි දිනෙක, අනුන්ගේ ඕපාදූප කත කොලේ නැත. පවුලේ අයට, සමහර දේවලට අප බැණ අඬ ගැසුවද, ඔහු නිහඬවම උන්නේය. දොඩමලු උනේ දේශපාලනය හා රට තොට විස්තර සඳහාමය. ඔහු උපන් ගෙයි යූ ඇන් පී කාරයෙක් උනේය. එහෙත් පසුව ඔහු නොම්මර එකේ මහින්ද වාදියෙක් විය. රනිල් යූ ඇන් පීය විනාශ කළ බව ඔහු කීවේය. මගේ බ්ලොග් කෙරුවාව ගැන මෙන්ම දේශපාලන මතිමතාන්තර ගැන උන්නේ බොහෝ සතුටෙන්ය. තාත්තා මට කුඩා කාළයේ කීවේ, "කාටවත් ගහන්න යන්න එපා..." කියාය. එහෙත්, කාගෙන්වත් ගුටි කා ඇවිත් එයාට කියන්නත් එපා කියාය. අදත් මා ජීවීතයේ අනුගමනය කරන්නේ, තාත්තාගේ ඒ කීමය.
මිස්ටර් සැම්සන් ජොලි ගුඩ් පොරක්ම විය. ජීවීතේ දුකක් නොව සැපක්ම යැයි කියා මට කියා දුන්නේ ඔහුය. හරි හම්බ කළ බොහෝ දේ, රැවටීම් හා නඩු හබ ඔස්සේ අහිමී වී ගියද, ඔහු ජොලියෙන්ම උන්නේය. ඒවායෙන් කිසි දිනෙක් නොසැලුන අතර, මාතලන්ද එවන් තත්වයන්ට මුහුණ දෙන විට සැනසුවේ ඔහුමය. මීට මාස කීපයකට පෙර හදිසියෙම මෙන් ඔහු කීවේ, "දැන් උන්නා ඇති ලොක්කෝ..., ගියා නම් හොඳයි..." කියලාය. එසේ කීවේ වෙන හේතුවක් නිසා නොව, අම්මා ඔහු නිසා දුක් විඳි යැයි කියාය. එමෙන්ම, අම්මාට පෙර ඔහු යා යුතුයි කියාම කීවේ, අම්මා නැතිව ඔහුට දිනක් හෝ සිටීමට නොහැකි බව, ඔහු මෙන්ම අප සියල්ලන්ම දන්නා නිසාය.
වසර 90 ක් වූ ජීවත් වූ මිස්ටර් සැම්සන්, දවස් තුනක් පමණ පණ ඇද්දේය. මා මල්ලීට කීවේ ඔහුට කරදර නොකර ඉන්න දෙන්න යැයි කියාය. හිතවත් දොස්තර මහතාද කීවේ එසේමය. එහෙත් මාතලන් එතනින් ආ පසු, මලයා වෙනත් දොස්තර කෙනෙක් ගෙනවිත් සේලයින් එකක් දී, කෝල් එකක් දී මට කීවේ, "බලාගෙන ඉන්න බෑ අයියේ..., ඒ නිසා සේලයින් එකක් දුන්නා..." කියාය. අපේ මලයා මාතලන් මෙන් නොව, බොහෝ සෙන්සිටිව් එකෙක්ය.
අඟහරුවාද උදේ පාන්දර ඌ කෝල් එකක් දී හොඳටෝම ඇඬුවේය. මාතලන් ඌට ඇති වෙන තෙක් අඬන්නට දුන්නේය. මිස්ටර් සැම්සන් ගියා කියා, මා හට කිසිම දුකක් නැත. මන්ද ඒ තත්වයෙන් උන්නා නම් දුක් විඳින්නේ, අප නොව මිස්ටර් සැම්සන්ය. පුදුම ආදරයකින් මිය යන තෙක්ම එකටම උන් අම්මා ඇඬුවේ, "අනේ එයා නින්දෙන්ම මාව දාලා ගියා නේ...., කතා නොකර..." යැයි කියාය. මා යන විටත් ඇස් ඇරගෙන උන් තාත්තාගේ ඇස් දෙක වසා, "මිස්ටර් සැම්සන්, ගුඩ් බායි...." කියා කීවේ යලිත් කවදාවත් තාත්තා හමු නොවනා නිසාය.
සුබ ගමන්..., මිස්ටර් සැම්සන්...!!!
0 comments :
Post a Comment