මුගාබේට ගෙදර යන්න ඩොලර් මිලියන 10 ක් ගෙවලා!

මුගාබේට ගෙදර යන්න ඩොලර් මිලියන 10 ක් ගෙවලා!

තවද ඔහුට ජනාධිපතිවරයා වශයෙන් ලබාගත් වැටුප, මිය යන තෙක්ම නොකඩවා ගෙවීමට ද නියමිත ය. එම වැටුප මාසිකව, ඇමරිකානු ඩොලර් ලක්ෂ එකහමාරකි. (ඇ.ඩො. 150,000)

ඔහු මෙන්ම ඔහුගේ පවුලේ අය විසින් සිදුකරනු ලැබූ විවිධ ව්‍යාපාර සම්බන්ධයෙන් ද කිසිදු නඩුපැවරීමක් සිදුනොකිරීමට ද එකඟතාවක් තිබේ. ඒ අනුව බොහෝ සිම්බාබ්වේ වැසියන් බලාපොරොත්තුව සිටි ආකාරයෙන්, මුගාබේගේ පවුලේ වත්කම් රාජ සන්තක කිරීමක් ද නොකරනු ඇත.

මේ බව සනාථ කර තිබෙන්නේ සානු පීඑෆ් පක්ෂයේ ජේ්‍යෂ්ඨයෙක් විසිනි.

මේ සමගම මුගාබේගේ පුතුන් දෙදෙනාගේ අතීත කල්ක්‍රියාවන් ද මාධ්‍ය විසින් නැවතත් කරළියට ගෙන එමින් තිබේ.

“අප්පගෙ රට”
මුගාබේගේ සහ ග්‍රේස්ගේ වැඩිමල් පුත්‍රයා වන 25 හැවිරිදි බෙලාමයින් චතුන්ගා විසින් ජොහැනස්බර්ග් රාත්‍රී සමාජ ශාලාවකදී පවුම් 45000කට මිලදී ගත් අත් ඔරලෝසුවක් මතට පවුම් 200 ක් වටිනා ෂැම්පේන් බෝතලයක් කඩා වත්කරන ආකාරය පසුගියාද සිම්බාබ්වේ සමාජ ජාල වෙබ් අඩවිවල වීඩියෝ ක්ලිපයක් වශයෙන් සංසරණය විය. එහිදී ඔහු ‘මුළු රටම තාත්තගෙ තමයි..” යනුවෙන් පාරම් බාන ආකාරය ද දැකගත හැකි විය.

''රෝල්ස් රොයිස් පුතා''
ග්‍රේස් මුගාබේගේ පළමු විවාහයේ වැඩිමල් පුතා වන රසල් ගොරේරාසා 33 හැවිරිදි ය. ඔහු සැලකෙන්නේ සිම්බාබ්වේ හි සරුසාර පතල් කර්මාන්තයේ බරපතළ කොටස්කරුවෙකු හා අතරමැදියෙකු ලෙස ය. පසුගිය සැප්තැම්බරයේ මුගාබේගේ මෙම ‘සුළු පුතා’ රෝල්ස් රොයිස් මෝටර් රථ දෙකක් ගෙන්වා තිබේ.

93 හැවිරිදි මුගාබේ විසින් 37 අවුරුද්දක් තිස්සේ ගෙන ගිය සිම්බාබ්වේ පාලනය තුළ මුදල් අවප්‍රමාණ වීම, අධික ණය බර සහ දුගී බව හාත්පස පැතිර තිබූ අතර අවසාන කාලය වන විට සිම්බාබ්වේ රාජ්‍යයේ විරැකියා ප්‍රතිශතය 80%ක් විය. මේ වන විට සිම්බාබ්වේ ජනතාවගේ ආයු අපේක්ෂාව, ලෝකයේ පහළම අගය වන වසර 60 කි.

කෙසේ නමුත් ජනපති පදවිය අත්හැර යාමෙන් පසුව ද මුගාබේ සහ ඔහුගේ ආර්යාව වන, ගුසී ග්‍රේස් හට හරාරේ අගනුවර පිහිටා තිබෙන ඔවුන්ගේ මන්දිරය වන ‘බ්ලූ රූෆ්’ (Blue Roof) හි ම තවදුරටත් ජීවත් වීමට අවස්ථාව ලැබෙනු ඇත. තවද ඔවුන්ගේ වෛද්‍ය බිල්පත්, ගෘහ සේවකයන්ගේ වැටුප්, ආරක්ෂාව මෙන්ම විදේශ ගමන් වියදම් ද ගෙවනු ඇත්තේ රජය විසිනි.

පසුගිය සිකුරාදා නව සිම්බාබ්වේ ජනාධිපතිවරයා වශයෙන් උත්සවකාරී ලෙස දිවුරුම් දුන් 75 හැවිරිදි එමර්සන් නාන්ගාවා පිළිබඳ ව ද මේ නිසා විරුද්ධ මතධාරීන් තුළ හටගෙන තිබෙන්නේ කළකිරීමකි. එමර්සන් නාන්ගාවා ද මීට පෙර දූෂණ චෝදනාවලට ලක්වූවෙක් වන අතර, කලක් මුගාබේ ගේ පාලනයට සහාය පළ කරන්නෙක් වශයෙන් ද ඔහු සැලකුණේය. දශක කිහිපයක්ම මුගාබේගේ දකුණු අත වශයෙන් සිටි තැනැත්තා බවට ඔහු සැලකෙයි.

එමර්සන් විසින් මුගාබේ සමග දැමූ ‘තවත් ඩීල් එකක්’ ලෙස මේ නිසා මුගාබේගේ කොන්දේසි සැලකේ. තවද සිම්බාබ්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, විශ්‍රාමලත් ජනාධිපතිවරයෙකුට එරෙහිව ඔහු බලයේ සිටියදී සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් අපරාධ චෝදනා නැගීම ට තහනමක් නැති අතර, නීතියේ කුමක් සඳහන් වුවත්, මුගාබේ හට මෙවැනි අති දැවැන්ත මුකතියක් ලබාදීමට නව සිම්බාබ්වේ පාලනයට කිසිදු යුතුකමක් නැති බව ද ඔවුහු පෙන්වා දෙති.

පොඩි හොරුන් දංගෙඩියට
ලොකු හොරුන් මෙසේ නීතියේ රැකවරණය ලබද්දී, කිසියම් දෙයක් රටට පෙන්විය යුතු නිසා මුගාබේ පාලනයේ අවශේෂ බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන ආකාරයද මේ අතරම දැකගන්නට ලැබේ. රට හමුදා පාලනයට ගන්නා අතරවාරයේ අත්අඩංගුවට ගනු ලැබූ ඔහුගේ මුදල් ඇමතිවරයා වන ඉග්නේෂියස් චොම්බෝ ඊයේ දිනයේ (සෙනසුරාදා) දූෂණ චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මේ අතර චොම්බෝගේ නීතීඥයා පවසන්නේ හමුදා භාරයේ සිටියදී සිදුකළ පහරදීම් හේතුවෙන් සිය සේවාදායකයා රෝහල් ගත කළ බවයි. චොම්බෝට එරෙහිව නගා තිබෙන චෝදනාව, ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක් සොරකම් කළ බව ය.

අද හෝ හෙට, සිම්බාබ්වේ හි නව කැබිනට් මණ්ඩලය තෝරා පත් කර ගැනීමට නියමිත ය.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment