ජල හිගය නිසා පීඩා විඳින අගුනුකොලපැලැස්සේ ජනතාව

ජල හිගය නිසා පීඩා විඳින අගුනුකොලපැලැස්සේ ජනතාව
ප්‍රදේශයේ පවතින මෙම ජල හිගය නිසා අගුනුකොලපැලැස්ස නගරය, දිසාගල, යකාගල, එරමිනියාය, යාය 18 ඇතුළු ප්‍රදේශ කීපයක පවුල් 2500 කට අධික ප්‍රමාණයක සාමාජිකයින් දැඩි අපහසුතාවයක පත්ව ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
 
මීට වසරක පමණ කාලයක සිට මෙම ජල ගැටලුව විටින් විට පැන නැගී ඇති අතර සති දෙකක පමණ කාලයක් සිට එම ගැටලු උග්‍ර තත්වයට පත්ව ඇතිබවයි ප්‍රදේශයේ ජනතාව පවසා සිටින්නේ.
 
ප්‍රදේශයේ ජලසම්පාදන මණ්ඩලය මගින් ජලය ලබා ගන්නා එරමිනියාය වැව සිදී යාම මෙම ජල ගැටලුව පැන නැගීමට ප්‍රධානතම හේතුව වී තිබේ. කාලයක සිට වැවේ රොන් මඩ ඉවත් නොකිරීම නිසා වැව ගොඩ වී ඇති අතර ප්‍රමාණවත් ජලය වැවේ රඳවා ගැනීමට නොහැකි වීම නිසා ප්‍රදේශයේ ජනතාවට සරිලන පානීය ජල පහසුකම් සැපයීමට අසීරු වී තිබේ.
 
මෙම තත්වය තුල මේ දිනවල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ජලයද නොමැති බවත් එම නිසා තමන්ගේ එදිනෙදා කටයුතු මෙන්ම දරුවන්ගේ පාසල් යාමටද තර්ජනයක් වී තිබෙන බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.
 
ප්‍රදේශයේ ඇති නල ළිං මගින් ජනතාව සිය ජල අවශ්‍යතා සපුරා ගන්නා අතර එම ජලයද පානය කිරීමට සුදුසු තත්වයේ නොපවතී. පානය කිරීමට ප්‍රමාණවත් ජලය නොලැබෙන පසුබිමක ප්‍රදේශයේ ජනතාවට එම ජලය පානය කිරීමට සිදුව තිබේ.
 
අගුනුකොලපැලැස්ස  ජලසම්පාදන මණ්ඩලය මගින් ඉඳහිට ජල බවුසර් මගින් යම් ජල ප්‍රමානයක් ලබා දුන්නද එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ. එම නිසා ජනතාව මුහුණ දී ඇති මෙම ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
 
'වතුර නැති එක අපිට ලොකු ප්‍රශනයක් වෙලා තියෙන්නේ. කන්න හොයාගත්තත් වතුර ටික නැතිව මුකුත් කරගන්න බෑ. අපේ දරුවන්ට ස්කොලේ යන්න විදියක් නෑ, ගමේ තියෙන නල ළිදෙන් වතුර ටිකක් ගන්න පෝලිමේ ඉන්න ඕන. නමුත් ඒ අවතුර බොන්න සුදුසු නෑ, මිනිරන් පවා තියෙනවා. නමුත් අද අපිට ඒ වතුර හරි බොන්න වෙලා තිබෙනවා.' අගුනුකොලපලැස්ස එරමිනියයේ පදිංචි රේණුකා දමයන්ති මහත්මිය එසේ ප්‍රකාශ කර සිටියාය.
 
ගමට බලපා ඇති ජල ප්‍රශ්නය ගැන අදහස් දැක්වූ එම්.පී.ජී. සුජිත් මහතා, 'මේ දවස්වල ගමේ දරුවෝ ස්කොලේ ගියේ වැහි වතුර බීලා. අඩුම ගානේ පන්සලේ හාමුදුරුවන්ටවත් වතුර ටිකක් නෑ. මේ වතුර ප්‍රශ්නයට මුලික හේතුව, මේ එරමිනියාය වැව කාලෙකින් ප්‍රතිසංස්කරණය කළේ නැති නිසා දැන් ගොඩ වෙලා තියෙන්නේ. වතුර පිරෙන්නේ නෑ. ගමේ බොහොමයක් ජනතාව මුහුණ දීල තියෙන මේ ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදෙන්න කියල තමයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.'
 
'අපිට දැන් සතියක පමණ සිට වතුර අවේ නෑ. දැනුම් දෙන්න පුළුවන් හැමෝටම දැනුම් දුන්නා. පස්සේ එක දවසක් බවුසරයකින් ගෙනල්ලා වතුර ටිකක් බෙදුවා. ඒක ගමේ අයට මදි. බවුසරය අතුරු පාරවල්වල යන්නේ නැති නිසා ඒ පැතිවල ඉන්න මිනිස්සුන්ට කොහොමවත්ම වතුර නෑ' උදුලා දර්ශනී කියා සිටියාය.
 
'ගමට තියෙන්නේ එක නළ ළිඳක් විතරයි. එතන මුලු දවසේම මිනිස්සු පිරිලා ඉන්නවා. හැමෝම නාන්නෙ, රෙදි හෝදගන්නේ. බොන්න වතුර ටික ගේන්නේ එතනින්. ඒ වතුර බොන්නත් බෑ, ගමේ තියෙන වැව පීරිසියක් විතර ඇති. අවුරුදු ගානකින් වැව හෑරුවේ නැති නිසා තමයි හැම ප්‍රශ්නයක්ම ඇතිවෙලා තියෙන්නේ' එරමිනියායේ පදිංචි එච් .ඒ සංක මහතා සිය ගැටලුව පිළිබඳව පවසා සිටී.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
angunukole 1
angunukole 2
angunukole 3
angunukole 4
angunukole 5
angunukole 6
angunukole 7
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment