2017 වසර තුළ තොරතුරු කොමිසමට අභියාචනා 438 ක්!

2017 වසර තුළ තොරතුරු කොමිසමට අභියාචනා 438 ක්!

එම වාර්තාවට අනුව ඒ අතරින් අභියාචන 220 ක් කොමිසම විසින් විභාගයට ගෙන ඇති අතර ඉතිරි අභියාචන අතරින් 218 ක් මූලික අවස්ථාවේදී විභාගයට නොගැනීමට තීරණය වී ඇත්තේ, එම අභියාචනවල පවතින ඌනතා හෝ අඩුපාඩු හේතුවෙනි.

සලකා බලන ලද අභියාචන අතරින් අභියාචන 98 ක් සඳහා දින නියම කර ඇති අතර අභියාචනා 34ක් විභාගයට ගැනෙමින්/ලැයිස්තුගත කර තිබේ. මේ අතර විභාගයට ගැනීම සඳහා දින නියම කර ඇති අභියාචනා ගණන 122 කි.

අභියාචනා විභාගය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පූර්ණ හෝ ආංශික වශයෙන් පොදු අධිකාරීන් විසින් තොරතුරු මුදා හරින ලද අභියාචන ගණන 37 ක් වේ.

2016 අංක 12 දරණ තොරතුරු පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව පත් කළ තොරතුරු කොමිෂන් සභාව පත්කරනු ලබන අතර, එය ස්වාධීන කොමිෂන් සභාවකි. පොදු අධිකාරීන්ට පරවා ඇති කාර්යයන් නිසි පරිදි ඉටුකරන්නේද යන්න අධීක්ෂණය කරන සහ අනුකූලතාවය පරීක්ෂා කරන ප්‍රධානතම අධිකාරිය වන්නේ තොරතුරු කොමිෂන් සභාවයි. තවද සිය නියෝගයන්ට අවනත නොවන පොදු අධිකාරීන්ට විරුද්ධව අපරාධ නඩු පැවරීමට ද එසේම එම නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන ලෙස නියෝග නිකුත් කිරීමට ද කොමිෂන් සභාවට බලය ඇත.

2016 දෙසැම්බර් මාසයේ සාමාජිකත්වය පූර්ණ වශයෙන් පත්කිරීමෙන් අනතුරුව සක්‍රිය වූ ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව, 2017 වර්ෂය මුළුල්ලේම ක්‍රියාත්මක වූයේ රජයෙන් විධිමත් අයවැය වෙන්කිරීමකින් තොරව ය. පසුගිය සතියේ වාර්තා වූයේ කොමිෂන් සභාවේ සීමිත කාර්ය මණ්ඩලයට පවා මාස දෙකක වැටුප් ගෙවා නැති බවයි. කෙසේ නමුත් 2018 වසරේ අයවැයෙන්, ස්වාධීන කොමිෂන් සභා අයිතමය යටතේ තොරතුරු කොමිෂන් සභාව සඳහා ද අයවැය වෙන් කර තිබේ. සීමිත සම්පත් සහ දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවත් කොමිෂන් සභාවේ කටයුතු මේ අන්දමින් ඵලදායී ලෙස කරගෙන යාම ප්‍රශංසනීය ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment