ගරු කථානායකතුමනි, දීර්ඝ කාලයක් පුරා විදේශ බලවතුන්ට යටත්ව තිබූ අපේ පුංචි දිවයින 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස හිමිකර ගත්තා. එ් අවස්ථාවේදී ශ‍්‍රී ලාංකිකයන්ට පමණක් නොව මුලූ ලෝකයටම අපේ දිවයින පිළිබඳ විශාල බලාපොරොත්තුවක් මෙන්ම විශ්වාසයක් තිබුණා. සිංගප්පූරුවේ හිටපු අග‍්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතාගේ මතක සටහන් තුළ ශ‍්‍රී ලංකාව ගැන සඳහන් කරන්නේ, නිදහස ලබන විට ශ‍්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර තිබූ ආදර්ශමත්ම රට හැටියටයි. එපමණක් නොව නිදහස ලැබූ අවස්ථාවේ එංගලන්තයේ ඇතැම් පුවත්පත් පවා ශ‍්‍රී ලංකාවේ ඇති මිනිස් සම්පත වගේම ස්වභාවික සම්පත් නිසා ඉදිරියේදී පෙරදිග ලෝකයේ ස්විට්සර්ලන්තය බවට පත්වන බව අනාවැකි පළ කළා. එදා එ්ක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව ආසියාකරයේ අපේ රට දෙවැනි වූයේ ජපානයට පමණි. ඒ අනුව, අනෙකුත් ආසියාතික රටවල් සිටියේ අපට පසුපසිනි.
කෙසේ වෙතත්, නිදහස ලබා ගත් දින සිටම එක්ව රට ගොඩනගනවා වෙනුවට අප දේශපාලන මතවාද වශයෙන් බෙදී කුළල් කා ගත්තා. ජාති වශයෙන් බෙදී ගහමරා ගත්තා. ආගම් වශයෙන් බෙදී එකිනෙකාට වෛර කරන්න ගත්තා. ඊටත් වඩා පහත් තත්ත්වයට වැටෙමින් කුල වශයෙන් පවා බේදභින්න වූවා. මේ නිසාම අවුලෙන් අවුලට ගමන් කළ අපේ රටට පසුගිය වසර 70 තුළදී බිහිසුණු තරුණ කැරළි දෙකකටත්, දශක තුනක් පුරා දිවුණු දරුණු යුද්ධයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් කිරීමත් සමග පරණ වැරදි හදාගෙන, දෙමළ ජනතාවගේ ද හොඳ හිත දිනාගෙන, විවිධත්වය ගරු කරන, නව ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අලූත් ගමනක් යෑමට කදිම අවස්ථාවක් උදාවී තිබුණා. එහෙත්, එවකට සිටි පාලකයන් එම ඓතිහාසික අවස්ථාව ස්වකීය ගජමිතුරු චෞර ආර්ථිකය වඩාත් තහවුරු කර ගැනීම පිණිස උපයෝගී කර ගත්තා.
2015 ජනවාරි මස 08 වනිදා, සියලු බාධක මැද අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. භීෂණයෙන් වෙලාගත්තා වූත් දූෂණයෙන් පිරී ඉතිරී ගියා වූත්, ගසා කෑම ආර්ථික දැක්ම කරගත්තා වූත් එ් නිසාම ජාත්‍යන්තර වශයෙන් හුදකලා වූත්, මීතොටම ුල්ල කුණු කන්දටත් වඩා විශාල ණය කන්දකට උරුමකම් කියනු ලබන රටක් බවට එ් වන විට ශ‍්‍රී ලංකාව පත්ව තිබුණා.
අප රජයේ පෙර අයවැය කථා
ගරු කථානායකතුමනි, නව රජයක් ලෙස අපට මුහුණ දීමට සිදු වූ අභියෝගය වූයේ, 2015 වසරට පෙර තිබූ තත්ත්වයන් හමුවේ අප ආර්ථිකය ඉතා කෙටිකාලීන වශයෙන් මුහුණ දුන් අවදානම් තත්ත්වයන් සමනය කිරීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා සංහිදියාවේ කුළුණු මත අප විසින් ආර්ථිකයට ස්ථිරසාර පදනමක් දැමූ අතර, නවෝත්පාදන (Innovation) තුළින් මෙහෙයවන සමාජ වෙළඳපල ආර්ථිකයන් ගොඩනැගීමටත් එ් තුළින් සාධාරණ හා සමානාත්මතා පිළිවෙත් මත ආර්ථික වර්ධනය වේගවත් කිරීමත් ආරම්භ කර තිබෙනවා. ගරු කථානායකතුමනි, මා මෙහිදී විශේෂයෙන්ම කැමතියි මීට ප‍්‍රථම මුදල් අමාත්‍ය ධූරය දැරූ ගරු රවී කරුණානායක මැතිතුමා අගය කිරීමට. මක්නිසාද යත්, එතුමා විසින් ගනු ලැබූ කාලෝචිත සහ සෘජු ක‍්‍රියාමාර්ග නිසා එවකට ආගාධයකට පත්ව තිබූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ තත්ත්වයන්ගෙන් රට මුදවා ගැනීමට සමත් වූවා. එමෙන්ම ඔහුගේ ක‍්‍රියාමාර්ගවලින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපත් දිශානතියකට (right track) යොමු වුනා.
2015 වර්ෂයේ දැවැන්ත ආර්ථික අභියෝගය
ගරු කථානායකතුමනි, අපට මුහුණ දීමට සිදු වූ ප‍්‍රධානතම ගැටළුව වූයේ ඉතා සීග්‍රයෙන් සහ අඛණ්ඩව පහළ යමින් පැවති රාජ්‍ය ආදායම් තත්ත්වය සහ ඉතා අධ වූ රාජ්‍ය ණයබරතාවයයි. එමෙන්ම, වෙනස්වන කාලගුණ තත්ත්වය, විශේෂයෙන් පසුගිය වසරේ අග භාගයේ සිට පැවති දරුණු නියං තත්ත්වය ද, වරින් වර ඇති වූ ගංවතුර සහ නායයෑම් වැනි අභියෝගවලටද අපට මුහුණ දීමට සිදු වුනා. එවැනි අවාසිදායක කාලගුණික තත්ත්වයන්ගේ ආර්ථික බලපෑමේ ප‍්‍රමාණය 2017 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ඊට අමතරව, ඉල්ලුම් අංශයේ පීඩනයන් උත්සන්නවීමත් සමග ගෙවුම් ශේෂයේ ගැටලූකාරී තත්ත්වයක් ද මතු වුනා.
රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ තීරණාත්මක හැරවුම
ගරු කථානායකතුමනි, එවැනි අභියෝග රාශියක් හමුවේ වුවද, අප විසින් ක‍්‍රියාත්මක කළ විචක්ෂණශීලී ආර්ථික කළමනාකරණ ප‍්‍රතිපත්තීන්වල යම් සාධනීය ප‍්‍රතිඵල මේ වන විටත් අපට දැක ගැනීමට ලැබෙනවා. ඉතා කෙටිකාලයක් තුළ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ අංශයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කිරීමට නව රජයක් ලෙස අපට හැකියාව ලැබුණා. රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම පිණිස ප‍්‍රතිසංස්කරණ අප හඳුන්වා දුන් අතරම, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමග ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමත් සමග ශ‍්‍රී ලංකාව කෙරෙහි නැති වී තිබූ විශ්වාසය නැවත ඇති කර ගැනීමට අප සමත් වුනා. එවැනි ක‍්‍රියාමාර්ග නිසා, දශක ගණනාවක් පුරා පහළ යමින් පැවති රාජ්‍ය ආදායම, 2014 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.5 මට්ටමේ සිට 2016 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14.2 ක මට්ටමකට නංවාලීමටත්, එ් හරහා රාජ්‍ය ආදායමේ සියයට 41 ක වර්ධනයක් අත් කර ගැනීමට ද හැකි වුණා. 2017 වසරේ දී රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 මට්ටම කරා ළඟා වනු ඇතැයි මා විශ්වාස කරනවා. එය 2016 වසර හා සැසඳීමේදී රාජ්‍ය ආදායමේ සියයට 13 ක පමණ වර්ධනයකි. තවද, අප මේ වන විට රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප‍්‍රතිසංස්කරණ රාශියක් ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. ඊට, දේශීය ආදායම්, රේගු ආදායම් සහ සුරා බදු ආදායම් ආදී ක්ෂේත‍්‍රයන් රාශියක් ඇතුළත් වෙනවා. එමගින්, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 මට්ටමක් මධ්‍ය කාලීන වශයෙන් අත්කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එලෙස රාජ්‍ය ආදායම ඉහළ නංවාලමින්, රාජ්‍ය වියදම මනා ලෙස ඉලක්කගතව සහ යථාවත් කිරීමත් සමග, සමස්ත අයවැය පරතරය 2020 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 ක මට්ටමකට අඩු වනු ඇතැයිබලාපොරොත්තු වෙනවා.
සමස්තයක් ලෙස ආර්ථික වර්ධනය 2017 වසරේ සියයට 4.5 ක් පමණ වෙතැයි අපේක්ෂා කරන අතර, එය 2020 වන විට සියයට 6 ක් තරම් ඉහළ මට්ටමකට ක‍්‍රමානුකූලව වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. එ් සමගම, විරැකියා අනුපාතය සියයට 4 මට්ටමේ පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. නිල විදේශ විනිමය සංචිත වර්ධනය කර ගැනීමට අප මේ වන විටත් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, මෑත මාස කිහිපය තුළදී දක්නට ලැබුණු සාපේක්ෂ වශයෙන් ඉහළ ගිය උද්ධමනය, සැපයුම් අංශයේ දක්නට ලැබුණු අහිතකර තත්ත්වයන්ගේ බලපෑම සමනය වීමත් සමග, පහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. එ් අනුව, මූර්ත පොළී අනුපාතය සහ සඵල විනිමය අනුපාතය මැදි කාලීන වශයෙන් සමතුලිත තත්ත්වයක් කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරනවා.
ආර්ථික වර්ධන හිතකාමී ප‍්‍රතිසංස්කරණ
ගරු කථානායකතුමනි, සාර්ව ආර්ථික ස්ථාවරභාවය වඩා තිරසාර ලෙස ළඟා කර ගැනීමට අඛණ්ඩ ප‍්‍රයත්නයන් දැරීම අවශ්‍යයි. අප රජයේ 'Vision 2025' ප‍්‍රකාශනය ප‍්‍රකාර ආර්ථික ප‍්‍රතිසංස්කරණ රැසක් නිෂ්පාදන සාධක වෙළඳපල තුළ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනවා. එහි දී වෙළඳපොළ මූලධර්ම අනුව කටයුතු කරමින් නිෂ්පාදන සාධක මිලකරණයේ පවතින විෂමතා මග හරවා ගැනීමත්, දේපළ අයිතීන් තහවුරු කිරීමත් මගින්, කඩිනම් සහ තිරසාර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. මැදිකාලීනව සහ ඉන් ඔබ්බට කඩිනම් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට නම් ප‍්‍රාග්ධන වෙළඳපොළ ප‍්‍රතිසංස්කරණ මගින් එම ක්ෂේත‍්‍රයේ පූර්ණ විභවතාවය මතුකර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉඩම් හා දේපළ සම්බන්ධයෙන් මනා හිමිකාරීත්වයක් නොමැතිව කිසිම රටකට කඩිනම් ආර්ථික වර්ධනයක් අත්කර ගත නොහැකිය. සැමට සෞභාග්‍යය අත් කර ගත නොහැකිය. මෙහි දී අප රට තුළ ඉඩම් හා දේපළ හිමිකාරීත්වය පිළිබඳව පවත්නා ගැටළුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා විමර්ශනයක් මෙන්ම කඩිනම් ඇගයීමක් ද අවශ්‍ය වෙනවා. ආර්ථිකයේ ඵලදායී සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහා, කම්කරු නීති ද ඇතුලත් වන පරිදි, ශ‍්‍රම වෙළඳපල පිළිබඳව අධ්‍යයනය කළ යුතු වෙනවා. රටේ ශ‍්‍රම ඉල්ලුමේ අවශ්‍යතාවයට ගැලපෙන ශ‍්‍රම සැපයුම පිළිබඳව පවත්නා ගැටළු සමීප අධ්‍යනයකට නතු කළ යුතුයි.
ගරු කථානායකතුමනි, 2025 වන විට අප ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමට නම් ශ‍්‍රී ලංකාවට බාධාවලින් තොර සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය වෙනවා. මෙහිදී ආර්ථික ලිහිල්කරණය සහ ගෝලීයකරණය යන දෙඅංශය වැදගත් වෙනවා. ශ‍්‍රී ලංකාවට සැබැවින්ම හිමි විය යුතු වෙළඳ හා වාණිජ කේන්ද්‍රස්ථානීය තත්ත්වය අත් කර ගැනීමට නම් රටෙන් වියැකී ගිය තරගකාරී විභවතා යළි ප‍්‍රබෝධමත් කළ යුතුය. දැඩි ආරක්ෂණවාදී මෙන්ම අභ්‍යන්තරයට නැඹුරු වූ ආර්ථික පිළිවෙත්වලින් ශ‍්‍රී ලංකාව ඉවත් විය යුතුය. වඩා ඉලක්කගතව සහ හඳුනාගත් කාල රාමුවක් තුළ ජාත්‍යන්තර වෙළඳාමේ සිදු කළ යුතු ප‍්‍රතිසංස්කරණ මත පදනම් වෙමින් ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම පූර්ණ වෙනසකට ලක් කළ යුතුය. එමෙන්ම, රටේ වර්ධනය දිරිමත් වන ආකාරයට මෙම ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. ජාත්‍යන්තර වශයෙන් හුවමාරු කළ නොහැකි භාණ්ඩ නිෂ්පාදන මත අධික ලෙස රඳා පැවතීම නිසා ඉදිරි දශකයේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප‍්‍රවණතා අභියෝගයට ලක් විය හැකිය.
ගරු කථානායකතුමනි, 2015 සැප්තැම්බරයේ පැවති එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල රැස්වීමේදී, 2015 න් පසුව ක‍්‍රියාත්මක තිරසාර සංවර්ධන න්‍යාය පත‍්‍රයට සහ තිරසාර සංවර්ධන ඉලක්කයන් අත් කර ගැනීමට ශ‍්‍රී ලංකාව පූර්ණ වශයෙන් කැපවී සිටින බවට අතිගරු ජනාධිපතිතුමා සහතික වුණා. මවිසින් අද දින ඉදිරිපත් කරන අයවැය මෙම තිරසාර සංවර්ධන මූලධර්ම මත පදනම් වී ඇති බව සඳහන් කළ යුතුය.
නීල හරිත අයවැය : එන්ටර්ප්‍රයිස් ශ‍්‍රී ලංකා
ගරු කථානායකතුමනි, නීල හරිත අයවැය : එන්ටර්ප්‍රයිස් ශ‍්‍රී ලංකා යන්න 2018 වසර සඳහා මාගේ අයවැයේ තේමාවයි. සමුද්‍ර ආශ‍්‍රිත සියලුම ක‍්‍රියාකාරකම්හි පූර්ණ ආර්ථික විභවතාවන් (potential) එකතුකර සමස්ත වර්ධන ක‍්‍රමෝපායන් මත නීල ආර්ථිකයක් ගොඩනගනවා. පරිසරාත්මක වශයෙන් තිරසාර ක‍්‍රමෝපායන් මත පදනම් වන හරිත ක‍්‍රියාකාරකම් ද සමස්ත වර්ධන ක‍්‍රමෝපායට ඇතුලත් වෙනවා. අපගේ අතීත මුතුන් මිත්තන් සතුව තිබූ ව්‍යවසායික හැකියාවන් එන්ටර්ප්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ යළි ප‍්‍රබෝධමත් කරනවා. එමගින් ශ‍්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරනු ලබනවා. සෞභාග්‍යමත් රටක පාර්ශවකරුවන් බවට සියලු ශ‍්‍රී ලාංකිකයන් පත් කරනු ලබනවා.
මධ්‍යකාලීන වශයෙන් ඉලක්කගතව ඒකපුද්ගල ආදායම ඩොලර් 5,000 ක්ද, රැකියා දස ලක්ෂයක්ද, සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 5 ක්ද, අපනයනය දෙගුණ කර ඩොලර් බිලියන 20 ක් අත්කර ගැනීමට ද 2018 අයවැයෙන් පිටුබලයක් සපයනු ලබනවා. 2018 වර්ෂයේදී ආර්ථික වර්ධනය සියයට 5 ක් දක්වා ඉහළ නැංවීමටද, උද්ධමනය සියයට 6 ක මට්ටමකට පවත්වා ගැනීමටද අපේක්ෂා කරනවා. දශක හයක පමණ කාලයකට පසුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 ක තරම් ප‍්‍රමාණයක ප‍්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ප‍්‍රථම වතාවට අත්කර ගැනීමට අපේක්ෂා කරනවා. 2018 සමස්ත අයවැය හිගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 ක මට්ටමක පවත්වා ගැනීමට ද අපේක්ෂා කරනවා.
0 comments :
Post a Comment