රනිල්ට, අගමැතිකමෙන් අස්වෙන්න යැයි ජනපති කියයි.
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ගොස් බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්කි දෙන ලෙස ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ ජේයෂ්ඨ මාධ්‍යවේදී ඩී.බී.එස්. ජෙයරාජ් විසින් ඒ පිළිබඳව පසුගියදා ඔහුගේ ලිපියක සඳහන් කොට තිබූ බවයි. නමුත් මේ සම්බන්ධයෙන් පිළිතුරක් සහිත ප්‍රතිචාරයක් හෝ පිළිගැනීමක් හෝ ප්‍රතික්‍ෂේප කිරීමක් හෝ අගැමැතිවරයා විසින් සිදුකර තිබේද යන්න තවම දැන ගැනීමට නැති බවත් මේ කාරණය සම්බන්ධයෙන් සත්‍ය දැන ගැනීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
වමේ කේන්ද්‍රය විසින් සමාජය හා සමායික කේන්ද්‍රයේදී ඊයේ (16දා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා,
ඩී.බී.එස්. ජෙයරාජ් කියන්නේ බොහොම කෘතහස්ත මාධ්‍යවේදියෙක්. ඔහු බොහෝම විශ්ලේෂණාත්මකව ලියන කෙනෙක්. අපි පසුගිය දින කිහිපයකට කලින් දැක්කා ඔහුගේ ලිපියක ඔහු පැහැදිලිවම බැඳුම්කර විමර්ශනයන් සම්බන්ධයෙන් ලියලා තියෙනවා. බැඳුම්කර ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමෙහි සාක්කි දීමට අගමැතිවරයා පෙනී සිටින මොහොතේදී ජනාධිපතිවරයා ඉල්ලීමක් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහගෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා සාමාන්‍ය පුරවැසියෙක් විදියට ගිහිල්ලා ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී ඉන්න කියලා. එහෙම තමයි ඔහුගේ ලිපියේ සඳහන් කරලා තියෙන්නේ අගමැතිවරයෙක් ලෙස පෙනී සිටියහොත් ඒ විමර්ශනයන් සාර්ථක වෙයිද කියන ප්‍රශ්නය මතු වෙනවා. අපි දැක්කා පසුගිය ජනාධිපති විමර්ශන කොමිසමේදී සමහර ඇමැතිවරුන්ගෙන් මිනිත්තු 10ක් විතරයි ප්‍රශ්න කළේ. ඒ නිසා තමයි ජනාධිපති උපදෙස් දීලා තියෙන්නේ අගමැතිට අගමැති ධුරයෙන් ඉවත් වෙලා ජනාධිපති කොමිසම හමුවට ගිහිල්ලා පිළිතුරු දෙන්න, සාක්කි දෙන්න කියලා ඉල්ලන්නේ.
අපි දැක්කා පසුගිය පාර්ලිමේන්තුවේ අය වැය ඉදිරිපත් කරන දවසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කෙටි චිත්‍රපටයක් පෙන්වනවා. ඔහුගේ බයිසිකල් සවාරිය තමයි ඒ කෙටි චිත්‍රපටය. මහින්දගේ පාලන තන්ත්‍රය දවස්වලත් අවුරුද්දකට දෙතුන් පාරක් ඔහු කෙටි චිත්‍රපට පෙන්වනවා. වරාය මංගල්ලයේදීත් ඔහු කෙටි චිත්‍රපටයක් පෙන්නුවා. එදා කෝටි ගාණක් වෙන් කරලා ප්‍රශස්ති ගී කියලා තමයි කෙටි චිත්‍රපට පෙන්නුවේ.
අපි දිගින් දිගටම දැක්කා මහින්ද රාජපක්‍ෂ පසුපස යන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ නෙමෙයි. රජකෙනෙක්, දෙවිකෙනෙක් වන්දනාමාන කරන ඇබිත්තයෝ තමයි ඔහුගේ පසුපස ඉන්නේ.
අපි දැක්කා ඊයේ දිනයේ මහින්ද රාජපක්‍ෂ ගාමිණී සෙනරත්ව බලන්න ගිහින් එන ගමන් මාධ්‍යට කියනවා වැරැද්දක් නැතුව අත්අඩංගුවට අරගෙන රාජ්‍ය නිලධාරීන්ව සිරගත කරලා තියෙනවා කියලා. මේ රටේ අධිකරණය විසින් සැකපිට අත්අඩංගුවට අරගෙන ඉන්න රාජ්‍ය නිලධාරියෙක් ඔහු. නීතියට අනුව ඔහුව බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. අපි දන්නවා ගාමිණී සෙනරත්ලා, ලලිත් වීරතුංගලා හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ක්‍රියාත්මක කළේ ඉහළ ප්‍රධානීන්ගේ අණ ඉහළින් දීපු කොන්ත්‍රාත්වලට තමයි ඔවුන් වැඩ කළේ.
පොලිස්පතිවරයා ඒ විදිහට හැසිරෙන්නේ ඔහුට කවුරු හරි උපදෙස් දෙන නිසා. මෙතැන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ වෙලාවේත් කියන්නේ නීතිය හා සාමය භාර ඇමැතිවරයාව මේ තනතුරට සුදුසු නැහැ. ඔහු පිළිබඳව බරපතළ සැකයක් අපිට තියෙනවා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා මේ රටේ නීතිය හා සාමය රැක ගැනීමට යුක්තිය ඉටු කිරීමට වහාම කටයුතු කරන්න කියලා. ඒක තමයි ජනවාරි 08 ලබා දීපු ප්‍රතිඥාව.
(මව්බිම)
0 comments :
Post a Comment