ගෘහ සේවිකාවකට සහ ප්‍රංශයේ මුහුදු කොල්ලකරුවෙකුට දාව 1900 දෙසැම්බර් 18 වැනිදා උපන් සුසී සොල්ඩර් සමරිසි කාන්තාවක බවට ද වාර්තා තිබේ. පසුව මෙම මුහුදු කොල්ලකරුවා නමගිය නීතීඥයෙක් බවට පත්විය. වයස අවුරුදු 17 දී නිවස හැර ගිය ඇය, පළමු ලෝක යුධ සමයේදී ඇම්බියුලන්ස් රියැදුරුවරියක බවට ස්වෙච්ඡාවනේ පත්වූවාය. පසුව 1932 වසරේ ඇය ප්‍රංශයේ සමලිංගික පුද්ගලයන්ට වෙන් වූ පැරිස් නුවර පෙදෙසක La Vie Parisienne නමැති සිය ප්‍රථම රාත්‍රී සමාජ ශාලාව ආරම්භ කළාය. ඇගේ එකම ආශාව වූයේ ද ලෝකයේ වැඩිම වාර ගණනක් සිත්තමට නැගෙන කාන්තාව බවට පත්වීමයි. එසේ විවිධ චිත්රශිල්පීන් විසින් අඳින ලද සිතුවම්, තම රාත්‍රී සමාජ ශාලාවේ එකතු කරමින් ප්‍රදර්ශනය කරන්නටත් ඇය අමතක නොකළාය. ඒ අනුව සිතුවම් 250කට වැඩි ප්‍රමාණයක් ඇය විසින් එහි එල්ලා තැබුවාය.
අති දක්ෂ කැබරේ නළඟනක් සහ ගායිකාවක් වූ සුසී, මුහුදු කොල්ලකරුවෙකුගේ දියණිය වූ නිසාදෝ නිතරම පාහේ, සාගර ජීවිතයේ සංකේත සමග චිත්‍රයට නැගුණි. නෞකා සුක්කානම්, බෝට්ටු ආදිය සමග චිත්රවලට පෙනී සිටින්නට ඇය ප්‍රිය කළාය. ඇයව ඇතැම් විට සිතුවමට නැගුණේ දිය කිඳුරියක ලෙස ය. එසේම ජීවිතයේ පසු කලෙක ඇය ප්‍රියකර තිබෙන්නේ පිරිමි ඇඳුම්වලින් සැරසී සිටින්නට ය. ‘නාවික අද්මිරාල්’ ඇඳුම් කට්ටලයට ඇය බෙහෙවින් ප්‍රිය කළාය. එසේම ඇය ගායනා කළ ගීතවලින් ද කාන්තාවන් සඳහා ඇය දැක්වූ රුචිකත්වය විදහා දැක්විණි. ඇය නිතරම තෝරාගත්තේ පිරිමින් විසින් ගායනා කරන, කාන්තාවන් වශී කිරීම පිළිබඳ කියැවෙන ගීත ය. තවද ඇය විසින් ගායනා කළ ඇගේම නිර්මාණ වූ Ouvre වැනි ගීත, පසුකාලීනව ‘ලෙස්බියන් තේමා ගීත’ බවට පත්වී යැයි විචාරකයෝ කියති.
තවද ඇය සිය රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන ගියේ ද ප්‍රසිද්ධියේ ය. එහි විනෝද වන්නට පැමිණියෝ ලෝකයේ නම ගිය කලාකරුවන් සහ ව්‍යාපාරිකයෝ ය. එහි පැමිණියේ චිත්‍ර ශිල්පියෙක් නම්, අනිවාර්යයෙන්ම ඔහු විසින් ඇගේ රුව සිතුවමට නගන ආකාරය දැකගත හැකි විය. පසුකාලීනව සුසී මෝස්තර නිරූපණ ශිල්පිනියක් බවට ද පත්වූවාය. මේ අතර ‘පැරිස් ලෙස්බියන්’ - Paris-Lesbien යනුවෙන් ගීත ඇල්බමයක් ද එළිදැක්වූ ඇය, අවශ්‍ය වුවහොත් පුරුෂයන් සමග ද කෙටිකාලීන සබඳතා පවත්වාගෙන යාමට මැලි වූයේ නැත.
දෙවන ලෝක යුධ සමයේ පැරිස් නගරය නාසි ග්‍රහණයට නතු විය. මේ කාලයේ ඇගේ සමාජශාලාව තවදුරටත් විවෘතව තැබීමට නම් නාසි කොන්දේසියකට ඇය යටත් විය යුතු විය. එම කොන්දේසිය වූයේ “තමන් ආර්ය ජාතියේ සාමාජිකයෙකු බව’ දක්වන ලේඛනයකට අත්සන් කිරීමයි. සුසී එය ද කළාය. ඇගේ සමාජ ශාලාව ජර්මානු සොල්දාදුවන් අතර ද ජනප්‍රියම ස්ථානයක් බවට පත්විය.
සුසීගේ ජනප්‍රියම සිතුවම වශයෙන් සැලකෙන්නේ මෙම ලිපිය සමග දැක්වෙන ඇගේ නග්න රූපයයි. එය සිතුවමට නැගූ ටමාරා දෙ ලෙම්පිකා, ඇගේ එක් පෙම්වතෙකු ලෙස ද සැලකේ.
දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාද වීමෙන් පසුව ඇයට ප්‍රංශයෙන් පළායාමට බල කෙරිණි. එවිට ඇය ඇමරිකාව වෙත පළා ගියේ තමන්ගේ සිතුවම් ද රැගෙන ය. නිව්යෝක් නුවර කෙටි කලක් වාසය කළ ඇය, නැවත පැරිස් නුවර දකුණු දිග ප්‍රදේශයේ පදිංචි වූවාය. එවර ඇය කළේ නිවසේ පහළ මාලයේ කැබරේ නර්තනාගාරයක් විවෘත කිරීමයි.
ජීවිතයේ අග භාගයේදී දැඩි ලෙස විෂ්කි පානයට ඇබ්බැහි වූ ඇය, නිතර නිතර අද්මිරාල් නිල ඇඳුමකින් සැරසෙන්නට පටන් ගත්තාය. ඇය කියා සිටියේ එම ඇඳුම තමන්ට පහසුව ගෙන දෙන බවයි.
මේ සියලු අභියෝගාත්මක කාර්යයන් මැද, ඇය සමකාලීන ප්‍රංශයේ ප්‍රධාන ධාරාවේ තරුවක් ලෙස වැජඹුණාය. සුසීගේ ජීවිත කතාවේ තිබෙන වැදගත්ම ලක්ෂණය එයයි.
සුසී සොල්ඩර් සැලකෙන්නේ 20 වන සියවසේ ‘කිම් කර්ඩෂියන්’ යනුවෙනි. කිම් කර්ඩෂියන් යනු ඇමරිකානු ජාතික, අතිශයින්ම ජනප්‍රිය රියැලිටි තරුවකි. සුසීගේ කාලයේ ඇයට අද කර්ඩෂියන් හට හිමිව තිබෙන ආකාරයේ ජනප්‍රියත්වයක් හිමි වී තිබූ බවට වාර්තා බොහෝ ය.
දැඩි නිර්භීත කමකින් යුතුව සිය නිරුවත පවා සිත්තරුන් හමුවේ ප්‍රදර්ශනය කළ ඇය ව එම චිත්‍ර ශිල්පීන් විසින් හඳුන්වා දෙන්නේ ‘කාලයට ඉදිරියෙන් සිටි කාන්තාව’ වශයෙනි. ඇය ජීවත් වු කාලයේ සෙල්ෆි ඡායාරූප ගැනීමක් තිබුණේ නැත. යම් හෙයකින් එසේ වූවා නම් ඇය ලෝකයේ වැඩිම සෙල්ෆි ඡායාරූප ගණනකට හිමිකම් කියන ගැහැනිය බවට ද පත්වනු නොඅනුමාන ය.
-අමාලි ජයවීර
0 comments :
Post a Comment