මංගලගේ බියර් සහනයට රාජිතගේ විරෝධය

මුදල් ඇමැතිවරයා බියර් සඳහා ලබාදී තිබෙන සහනයට සෞඛ්‍ය ඇමැතිවරයා වන තමන් එකඟ නොවන බවද එම යෝජනාව ඉවත්කර ගන්නා ලෙස මංගල සමරවීර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයෙ (13 දා) ප්‍රකාශ කළේය.

 අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය. ඇමැති රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස්‌ ඇතැයි මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වැරදි දත්ත පදනම් කරගෙන බවය. බියර් මිල අඩුකිරීමෙන්

පාසල් ළමයින්ද ඊට යොමුවිය හැකි බව සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සෞඛ්‍යයට හානිකර කිසිම දෙයකට මම එකඟ වෙන්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක සෞඛ්‍යය සඳහා පිළිගත හැකි මොඩලය ශ්‍රී ලංකාව බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට පාත්‍ර වී තිබෙනවා. එම නිසා කිරි හැළියට ගොම හැන්දක් දා ගන්න ඕනෑ නැතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.
බියර් බදු අඩු කිරීමට මට කිසිසේත් එකඟ වෙන්න බැහැ.

බියර් බද්ද ඉවත් කරන්න. තරුණයන් හා ළමයින් බේරා ගන්න. බියර් ප්‍රශ්නයක් නොවන බව කීවත් ළමයින්ට එමඟින් උත්තේජනයක් ඇති වෙනවා. බියර්වලින් පටන්ගෙන අනෙකුත් සැර මත්පැන්වලට යනවා යැයිද අමාත්‍යවරයා කීවේය.
මුදල් ඇමැතිවරයාට ලබාදී ඇති සංඛ්‍යාලේඛන වැරැදියි. මත්පැන් පරිභෝජනයෙන් 49%ක් නීතිවිරෝධී මත්පැන් බව කීම වැරැදියි. නාටා ආයතනය සකස් කළ නියම දත්ත මට දිය හැකියි. අනූව දශකයේදී බියර් බදු අඩු කිරීමටත් ඔවැනි කතා කීවා.

ඇත්ත වශයෙන්ම නීති විරෝධී මත්පැන් දැන් අඩුව තිබෙන්නේ. 49%ක් නැහැ. එය සියයට 6 -10 අතර ප්‍රමාණයක් වන බවත් ඇමැතිවරයා කීය.
යුරෝපයේ වගේ නොවේ ආසියාවේ සංස්කෘතිය. ආසියාවේ මත්පැන් පානය කරන්නේ 'සූර් එකක්' ගන්නයි. යුරෝපයේ ආහාර වේලේ, ජීවන රටාවේ, සංස්කෘතියේ කොටසක්. ඒ නිසා ආසියාවට ඔය දත්ත හරියන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ අවුරුදු 15ට වැඩි පිරිමින්ගෙන් මත්පැන් පානය කරන සංඛ්‍යාව සියයට 35ක් පමණයි. කාන්තාවන් ගණන සියයට 1යි. මුළු ජනගහනයෙන් සියයට 20කට වැඩි නැහැ මත්පැන් පානය කරන සංඛ්‍යාව. යැයිද ඇමැතිවරයා කීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment