ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 405 ක් පිටුපසින් සිටිමින. ඊයේ දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවි ලකුණු 21 ක් ලබාගෙන සිටියේය. අද තරගය ආරම්භ කළ මොහොතේ පටන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිටියේ ස්ථාරවීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවකාශයක් නොලැබුණු අතර යම් තරමකට හෝ සාර්ථක වූ නායක දිනේෂ් චන්දිමාල් 9 වැනි කඩුල්ල ලෙස දැවීයන විට ලකුණු 61 ක් ලබාගෙන තිබිණි.
ඔහුට අමතරව සුරංග ලක්මාල් වේගවත් පිතිහරඹයක් දියත් කරමින් නොදැවී ලකුණු 31 ක් ලබාගත් අතර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සීමාව ඉක්මවා යාමට නොහැකි විය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 205 ක් ලබාගත් අතර ඉන්දියාව කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 610 ක් ලබා ගත්තේය. එහිදී නායක විරාට් කෝලි ද්විත්ව ශතකයක් වාර්තා කරගැනීමට සමත් වූ අතර එය ඔහු නායකයෙකු ලෙස වාර්තා කළ පස්වැනි ද්විත්ව ශතකය වීම ද විශේෂත්වයකි. ටෙස්ට් ඉතිහාසයේ මීට පෙර නායකයෙකු ලෙස ද්විත්ව ශතක පහක් වාර්තා කරගෙන ඇත්තේ හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක බ්‍රයන් ලාරා පමණි.
මීට අමතරව මුරලි විජේ, චේටෙෂ්වර පුජාරා සහ රෝහිත් ෂර්මා ද ශතක වාර්තා කරමින් දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කිරීමට පිත්තෙන් දායකත්වය දැක්වූහ.
සිය කණ්ඩායමට ඉනිම ජයග්‍රහණයක් ලබාගැනීම සඳහා පන්දුවෙන් දායකත්වය දැක්වූ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4 ක් බිඳහෙළූ අතර ඉෂාන්ට් ෂර්මා, රවීන්ද්‍ර ජඩේජා සහ උමේෂ් යාදව් කඩුලු 2 බැගින් බිදහෙළූහ.
ද්විත්ව ශතකයක් ලබාත් විරාට් කෝලි තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.
දෙරට අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය දෙසැම්බර් 02 වැනිදා දිල්ලිහිදී ආරම්භ වේ. මේ වනවිට ඉන්දියාව 1-0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටී.
0 comments :
Post a Comment