එයාර්බස්‌ ගිවිසුම නිසා වසරකට බිලියන 15 ක්‌ වන්දි.


ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගුවන් සේවා සඳහා ඇණවුම් කළ එයාර්බස්‌ ගනුදෙනුවට අදාළ ගිවිසුම අහෝසි කිරීම නිසා එයාර්බස්‌ සමාගමට රජය වසරකට රුපියල් කෝටි 1500 ක මුදලක්‌ (රුපියල් බිලියන 15 ක්‌) වන්දි ලෙස ගෙවීමට සිදුව ඇතැයි විද්‍යා හා තාක්‌ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

මෙම ගනුදෙනුවේදී විශාල මුදල් වංචාවක්‌ සිදු වී ඇතැයි වාර්තා වීමත් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඒ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක්‌ පත් කිරීමට තීරණය කිරීම කාලෝචිත ක්‍රියාවක්‌ බවද ඇමැතිවරයා පැවසීය.

ජනාධිපති කොමිසමක්‌ පත් කරන බව ප්‍රකාශ කළ දිනට පසුදාම එහි අධ්‍යක්‌ෂ මණ්‌ඩලය විෂය භාර ඇමැති කබීර් හෂිම් මහතාටද නොදන්වා ඉවත් වීම පුදුමයට කරුණක්‌ බවද ඇමැතිවරයා කීවේය.

මෙහි සිටි අධ්‍යක්‌ෂ මණ්‌ඩලය සම්පූර්ණයෙන්ම කටයුතු කර ඇත්තේ රාජ්‍ය ආයතනයක්‌ ලෙස නොව පෞද්ගලික ආයතනයක්‌ ලෙස බවත් ඔවුන් ගත් සියලුම තීරණ අනුමත කිරීම සඳහා කැබිනට්‌ මණ්‌ඩලය හමුවට ඉදිරිපත් කර නොතිබූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය. 

ඒ නිසා මෙහි වංචාවක්‌ සිදු වී තිබේ නම් ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම අධ්‍යක්‌ෂ මණ්‌ඩලය වගකිව යුතු බවද ඇමැතිවරයා ඊයේ (27 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment