“ශ්‍රී ලංකාවේ මෙම ප්‍රවේශය ලෝකයේ සෙසු රටවල්වලටත් ආදර්ශයක්” යැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අධ්‍යක්ෂ සහ බිම්බෝම්බ තහනම් කිරීමේ අන්තර්ජාතික ව්‍යාපාරයේ සභාපති ස්ටීව් ගූස් පවසයි. 1997 වසරේ බිම්බෝම්බ පිටුදැකීමේ සම්මුතිය ගෙන ඒමට පෙරමුණ ගෙන ක්‍රියා කළේ ද හියුමන් රයිට්ස් වොච් සංවිධානයයි. ඒ වෙනුවෙන් දියත් කළ බිම්බෝම්බ පිටුදැකීමේ අන්තර්ජාතික ව්‍යාපාරය, එහි සම්බන්ධීකාරක ජෝඩි විලියම්ස් සමගින් 1997 වසරේ නොබෙල් සාම ත්‍යාගය ද දිනාගත්තේය.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේදී මෙම සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් කළේ ලෝකයේ 163 වන රට වශයෙනි. මෙම සම්මුතිය පනවා ගනු ලැබුවේ කැනඩාවේ ඔටාවා නගරයේදී නිසා මෙයට ‘ඔටාවා සම්මුතිය‘ යැයි ද කියනු ලැබේ.
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම, එම තොග විනාශ කිරීම, බිම්බෝම්බ වළලා ඇති ප්‍රදේශවලින් ඒවා ඉවත් කිරීම සහ ඒවායේ වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන් හට සහයෝගය ලබාදීම මෙම සම්මුතියේ මූලික අරමුණු අතර කැපී පෙනෙයි.
1997 සැප්තැම්බරයේ බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය අත්සන් කිරීමේ ‘ඔටාවා ක්‍රියාවලිය’ට ශ්‍රී ලංකාව නිරීක්ෂණ මට්ටමින් සහභාගි වුවද උතුරු නැගෙනහිර පැවති එල්ටීටීඊ යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාව එකල මෙයට අත්සන් තැබුවේ නැත. නමුත් මෙම සම්මුතිය යටතේ පැවති මානුෂීය අරමුණුවලට ශ්‍රී ලංකාව දිගින් දිගටම සිය සහාය පළ කළ අතර එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ද ශ්‍රී ලංකාව සෑම වර්ෂයකදීම එයට සිය සහයෝගය පළ කළේය. 2015 දෙසැම්බරයේදී ශ්‍රී ලංකාව නිවේදනය කළේ, 2015 ජනවාරි මාසයේ නව යහපාලන ආණ්ඩුව තෝරාපත්කර ගැනීමෙන් අනතුරුව ආදර්ශමත් පියවරක් වශයෙන් මෙම සම්මුතියට අත්සන් කිරීම පිළිබඳ ‘ප්‍රමුඛතාවය පිළිබඳ කාරණයක් වශයෙන්’ තමන් “බරපතළ ලෙස සලකා බලන බව” යි.
සිය වාර්තාවන් හි ශ්‍රී ලංකාව සඳහන් කරන්නේ තමන් කිසිවිටෙක පුද්ගල නාශක බිම්බෝම්බ නිෂ්පාදනය හෝ අපනයනය කිරීම සිදු නොකළ බවයි.
මෙම සම්මුතිය යටතේ ඉදිරි වසර 4 ක කාලය තුළ ශ්‍රී ලංකාව රට තුළ ඇති සියලු බිම්බෝම්බ සංචිතයන් විනාශ කළ යුතුය.
අතීතයේ පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතා කර ඇති බව ශ්‍රී ලංකා හමුදාව පිළිගනියි. තවද එල්ටීටීඊ සංවිධානය විසින් ඒවා නිෂ්පාදනය කළ බව ද සන්නද්ධ ගැටුම් පැවති සමයේ, යුද්ධය අවසන් වූ 2009 මැයි මාසය දක්වා ඒවා විශාල වශයෙන් ඔවුන් විසින් භාවිතා කළ බව ද ශ්‍රී ලංකාව පවසයි.
දකුණු ආසියාතික රටවල් අතරින් මේ වන විට පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ අන්තර්ජාතික සම්මුතියට අත්සන් කර නොමැති රටවල් වන්නේ ඉන්දියාව, පාකිස්ථානය සහ නේපාලය පමණි.
මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කළ රාජ්‍ය පාර්ශවයන්ගේ 16 වන හමුව දෙසැම්බර් 18-21 අතර කාලයේදී ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවැත්වීමට නියමිත ය.
- අමාලි ජයවීර
ඡායාරූපය: “කැඩුණු පුටුව’‘ (The Broken Chair) © 2017 Mary Wareham/Human Rights Watch. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මූලස්ථානයට පිටතින් තබා තිබෙන එක් කකුලක් කැඩුණු පුටුව, බිම්බෝම්බ සහ පොකුරු බෝම්බ ආදී යුධෝපකරණ තහනම් කිරීමේ ව්‍යාපාරයට සහාය දැක්වීමේ සංකේතයකි.
0 comments :
Post a Comment