විපක්ෂය අතුගෑවියන්!- වෙනිසියුලා ජනපති කියයි.

විපක්ෂය අතුගෑවියන්!- වෙනිසියුලා ජනපති කියයි.

වෙනිසියුලාවේ ප්‍රධාන පෙළේ විරුද්ධ පක්ෂවලට 2018 ජනාධිපතිවරණය තහනම් කරමින් ඊයේ ජනපති නිකොලස් මඩූරෝ නව නීතියක් ගෙන ආවේය. ඔහු ප්‍රකාශ කළේ ඉරිදා දිනයේ පැවැත්වුණු පුරපති ඡන්දයට ඉදිරිපත් වීමට සුදුසුකම් ලබන පක්ෂ පමණක් ජනාධිපතිවරණය සඳහා ද තරග කිරීමට සුදුසුකම් ලබන බවයි. මෙවර පුරපති ඡන්දයට ඉදිරිපත් වීම රටේ සියලුම ප්‍රධාන පෙළේ විරුද්ධ පක්ෂවලට තහනම් කර තිබිණි.

ජස්ටිස් ෆස්ට්, පොපියුලර්වින්, ඩිමොක්‍රටික් ඇක්ෂන් වැනි විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලම වෙනිසියුලාවේ මැතිවරණ ක්‍රමය පක්ෂපාතී බව දිගින් දිගටම ප්‍රකාශ කළත් ජනපති මඩුරෝ පවසන්නේ එම ක්‍රමය සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබිය හැකි එකක් බවයි. නමුත් පසුගිය ඔක්තෝබරයේ විපක්ෂය පවසා තිබුණේ එම මැතිවරණ ක්‍රමය මඩුරෝගේ ‘ඒකාධිපති පාලනයට’ උදව් කිරීම පමණක් සිදුකරන බැවින් තමන් පුරපති ඡන්දය වර්ජනය කරන බව ය.
ඊයේ සිදුකළ කතාවේදී ‘රටේ විපක්ෂය දේශපාලන සිතියමෙන් අතුගා දැමිය යුතු බව’ මඩුරෝ පැවසීය.

වෙනිසියුලාව දැන් පත් වී තිබෙන බරපතළ ආර්ථික අර්බුදය හේතුවෙන් 2013 වසරේ බලයට පත්වූ මඩුරෝගේ ජනප්‍රියත්වය නොසිතූ විරූ පරිදි හීන වී ගොස් ඇත. නමුත් ඔහු පැවසුවේ පසුගිය ඉරිදා පැවති පුරපති ඡන්දයේදී පුරපති ආසන 335 න් 300කට වඩා සිය පක්ෂය වන එක්සත් සමාජවාදී පක්ෂය විසින් දිනාගෙන ඇති බවයි.

2017 වසරේදී මඩුරෝගේ ඒකාධිපති පාලනයට විරෝධය පළකිරීමක් වශයෙන් ඇමරිකාව තුළ තිබූ මඩුරෝගේ සියලු වත්කම් රාජසන්තක කිරීමටත් ඇමරිකාව ක්‍රියා කළේය. තවද ඔහුට කිසිවිටෙක ඇමරිකාවට පැමිණීමට නොහැකි ලෙසට සංචාරක තහනමක් ද පනවා තිබේ.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment