පොහොට්ටුවත් අතත් එක්වෙන්න යයි.


එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් නොලැබෙන ආයතනවල බලය පිහිටුවීම සඳහා වෙනත් කණ්ඩායමක් හා එක්වීමට සිදුවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අනිවාර්යයෙන්ම එක්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ බව විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන්නේත් ශ්‍රීලනිපයේ කොටසක් බව කී අමාත්‍යවරයා එවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්‍ෂය හා එක්විය යුතු නැතැයි ද සඳහන් කළේය. 

මෙවර පක්‍ෂය කණ්ඩායම් දෙකක් ලෙස වෙන වෙනම තරග කළත් එම දෙපාර්ශවයට ලැබෙන ඡන්ද ප‍්‍රමාණය එක් කළ විට සියයට 55ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිවනු ඇතැයි කී අමාත්‍යවරයා එම දෙපාර්ශවයේම සිටින්නේ ප‍්‍රගතිශීලීන් බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවකදී ජයග‍්‍රහණය කර බහුතරයක් ලබාගත නොහැකි වුවහොත් එජාපය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීමට සිදුවෙනවා නේද? එසේ වුවහොත් එක්වන්නේ කුමන කණ්ඩායම සමඟද? යනුවෙන් මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමිනි.

මැතිවරණය පැවැත්වෙන ක‍්‍රමය අනුව පළාත් පාලන ආයතන වලින් සියයට 90ක පමණ කිසිම පක්‍ෂයකට බහුතර බලයක් නොලැබෙනු ඇතැයි කී අමාත්‍යවරයා එවැනි අවස්ථාවල පක්‍ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හා එක්වීමට සිදුවන බව ද කීවේය.

ඉතිහාසය තුළ ප‍්‍රගතිශීලී කඳවුරු බෙදුණු සෑම අවස්ථාවකම ප‍්‍රතිගාමී කඳවුරට වාසියක් වුවත් මෙවර එසේ නොවනු ඇතැයි කියා තමා සිතන බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment