අපේක්ෂකයන් පසුපස රහස් ඔත්තුකරුවෝ.


ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට රහස් ඔත්තුකරුවන් යෙදවීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

ඡන්ද රැස්වීම් හා ප්‍රචාරක කටයුතුවලදී මැතිවරණ නීතිරීති උල්ලංඝනය වෙනවාද කියා සාක්ෂි සහිතව ඉතා සූක්ෂ්ම ලෙස තොරතුරු ලබාගන්නා ක්‍රමවේදයක් මැතිවරණ නිරීක්ෂකයන් විසින් දැනටමත් සැලසුම් කර තිබේ.

විශේෂයෙන් භාණ්ඩ බෙදීම, මුදල් බෙදීම ඇතුළු ඡන්ද දායකයන්ට යම් යම් ප්‍රදානයන් ලබාදෙනවාද කියා සොයා බලා ඒවා ඡන්ද දායකයන්ට ලබාදෙන අල්ලස් වශයෙන් වර්ග කොට සාක්ෂි සහිතව (ඡායාරූප/ වීඩියෝ හෝ වෙනත්) එම සියලු තොරතුරු ස්වාධීන මැතිවරණ කොමිසම වෙත පැමිණිලි ලෙස ඉදිරිපත් කිරීමට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සූදානම් වෙයි.

ඡන්ද ප්‍රචාරක රැලි සහ ගෙයින් ගෙට යෑම ඇතුළු අනෙකුත් මැතිවරණ ප්‍රචාරක කටයුතු නීත්‍යනුකූලව සිදුවෙනවාද කියා සොයා බැලීම සඳහා පිළිගත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වලට හැකි බවත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය හිමි වෙතැයි අපේක්ෂා කරන බවත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසයි.

මීට පෙර පැවැති ඡන්දවල මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් බොහෝ අවධානයක් යොමු කළේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පමණි. එහෙත් 2015 ජනාධිපතිවරණය, 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණය යන මැතිවරණවලදී භාණ්ඩ බෙදීම වැනි අංග පිළිබඳව අවධානය යොමු කළ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඊටත් වඩා පුළුල් අන්දමින් ඡන්ද ප්‍රචාරක රැලි සහ මැතිවරණයට අදාළ අනෙකුත් කටයුතු නිරීක්ෂණය කිරීමට තීරණය කර ඇත.

ඉහත මැතිවරණවලදී සිදුවූ භාණ්ඩ බෙදීම් හා රජයේ මුදල් අනියම් ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම ගැන අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment