ඉන්දියාවේ ‘හනුමන්තා පුතා’

ඉන්දියාවේ ‘හනුමන්තා පුතා’

ඒ හැටි ලකයක් නැති දුහුවිලි වැකුණු පංජාබයේ කටු මැටි බිත්තියකට පිටු පා කොලුවා සිටිගෙන සිටියි. ඉදිරිපසින් බලන විට නම් දුල්හා සිං නමැති මේ 8 හැවිරිදි කොලුවාගේ කිසිම අමුත්තක් නැත. ඔහු උසැති ය. හීන්දෑරි ය. දත් අතර ලොකු හිඩැසකි. නමුත් ඔහුට හැබෑම වලිගයක් තිබේ. එය අඟල් කිහිපයක් දිග ය. වලිගය පටන් ගන්නා තැන ඝනැති රෝම ගුලියකි.

“පොඩි කාලෙ ඉඳන්ම කොල්ල මේ වගේ... කොල්ල ලොකු වෙන්න ලොකු වෙන්න වලිගෙත් දික් වුණා.. දැන් ඉතින් රට පුරාම මිනිස්සු කොල්ලව බලන්න එනවා..” යැයි දුල්හාගේ මාමා වන සහීබ් කියයි. ඔහුගේ මව කුඩා කාලයේදීම මෙලොව හැර ගිය බැවින් ඔහුව රැකබලා ගන්නේ ඥාතීන් ය. ඔහුගේ කුඩා වලිගය, ගැහැනු ළමයෙකුගේ කොණ්ඩයක් ගොතනවාක් මෙන් මහත් ආදරයෙන් ගොතා තබන්නේ ද ඔවුන් විසින්ම ය.

දුල්හාට වැඳුම් පිදුම්වලින් අඩුවක් නැත. හනුමා දෙවියන් ඉපදී ඇත යන ආරංචියක් අසල ගම් දනව්වල පමණක් නොව රට පුරාම මේ වන විට පැතිර ගොස් තිබේ. ඒ ආරංචිය අසා හනුමාන් බැතිමතුන් මේ ගමට පැමිණි විට ඔවුන්ට මේ කොලුවා දැගනන්නට ලැබේ.

තම කොලුවා හනුමාන් දෙවියන්ගේ පුනර්ජන්මයක් ලෙස සලකනවාට ඔහුගේ ඥාතීන් කොහෙත්ම කැමති නැත. එනිසා එසේ පැමිණෙන අමුත්තන්ට ඔවුන් හොඳ හිතින් සලකන්නේ නැත. නමුත් එය එසේ වූවා කියා එසේ පැමිණෙන සෙනඟේ අඩුවක් ද නැත. දඟකාර වයසේ පසුවන නිසා දුල්හා ගස් නගින්නට ඉතාම ප්‍රිය කරයි. එවිට ඔහු දිස්වන්නේ නියම වානර දරුවෙක් ලෙස ය. නමුත් කිසිවෙක් ඔහුට සිනා නොවෙති. ඒ වෙනුවට භක්තියෙන් සහ ගෞරවයෙන් සලකති. මේ නිසා ‘ගම්බද සෙලිබ්‍රිටි’ කෙනෙකු සේ ද සැලකිය හැකි මේ දරුවා, සංචාරක ආකර්ෂණයක් යැයි ද කිව හැකිය.

දුල්හා සාමාන්‍ය දරුවෙක් සේ පාසල් යයි. ඔහු පාසලේ ඉතාම ජනප්‍රිය ය. මිතුරන්ගෙන් ද හිඟයක් ඔහුට නැත. “මගෙ යාලුවො කවුරුවත් මට හිනාවෙන්නෙ නෑ... එයාල මට හරිම ආදරෙයි..” යැයි ඔහු කියයි.

ඉන්දියාවේ චන්දිගාර් ප්‍රදේශයෙන් මෙයට වසර දෙකකට පමණ පෙර වාර්තා වූයේ අඟල් 7 ක් දිගට වැඩුණු වලිගයක් සහිත දරුවෙක් සැත්කමකට ලක් කර සාමාන්‍ය තත්වයට පත් කළ බවයි. මෙම සැත්කම සඳහා පැය 8 ක කාලයක් ගත වී තිබූ අතර, කශේරුකාවලට හානියක් නොවී එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු සැත්කමකි.

පංජාබයේ වෙසෙන දුල්හාගේ පවුලේ අය හනුමන්තා බැතිමතුන් නොවේ. නමුත් ඔවුන් පවා සලකන්නේ මේ වලිග පොඩිය කපා දැමීම අසුබ දෙයක් ලෙස ය. එනිසා දුල්හා මේ අසාමාන්‍ය ශරීර වර්ධනය සමගම වැඩෙනු ඇත. අනෙක් අතට පුංචි දුල්හා සිං ද සිතන්නේ මේ වලිග පොඩිය දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක් කියා ය.

- අමාලි ජයවීර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment