පොලිස්පතිගේ නියෝගයක් නිසා පොලිස් පොඩ්ඩෝ අලි අමාරුවක.


පොලිස් නිලධාරීන්ට මූල්‍ය පරිහරණය සපුරා තහනම්කර තිබිය දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පොලිස් ස්ථාන 454ක ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා වැඩසටහන්, පොලිස් ජංගම සේවාවන් හා එක් පොලිස්ස්ථාන බල ප්‍රදේශයක ජීවත් වන දුගී පවුලකට නිවසක් ඉදිකිරීම සඳහා මුදල් සපයා ගැනීමට සිදුවීම නිසා සුළු පොලිස් නිලධාරීන් දැඩි අපහසුතාවකට පත් වී ඇත.

ප්‍රජා වැඩසටහන්, පොලිස් ජංගම සේවාවන් හා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා පොලීසිය කිසිදු මූල්‍ය දායකත්වයක් ලබා නොදෙන අතර, පොලිස්පතිවරයාගේ බලපෑම් මත ඉහළ පොලිස් නිලධාරීන් විසින් සුළු පොලිස් නිලධාරීන්ට නිතර නිතර අදාළ කටයුතු සඳහා මුදල් සොයා ගන්නා ලෙස නියෝග කරනු ලබයි.

මේ නිසා පොලිස් ස්ථාන බල ප්‍රදේශවල පිහිටි වෙළෙඳසල්වලින් හෝටල්වලින් සහ නීති විරෝධී කටයුතුවල නිතර පුද්ගලයන්ගෙන් මුදල් සපයා ගැනීමට සුළු පොලිස් නිලධාරීන්ට සිදු වී තිබේ.

කනකර භාණ්ඩ පවා උකසට තබා

සමහර සැපයුම්කරුවන්ගෙන් ලබා ගත් භාණ්ඩ සඳහා මුදල් ගෙවා ගත නොහැකිව ඔවුන්ගේ අඹු දරුවන්ගේ කනකර භාණ්ඩ පවා උකසට තබා අදාළ මුදල් ගෙවීමට සිදු වී ඇති බව ද වාර්තාවේ.

භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන් නිතර නිතර පොලිස් ස්ථානවලට පැමිණ ණය මුදල් ඉල්ලා කරදර කිරීමත් පොලිස් නිලධාරීන් අපහසුතාවට පත් කිරීම සඳහා මහජනයා ගැවසෙන ස්ථානවල දී අදාළ ණය මුදල් ඉල්ලා සිටීමත් නිසා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ආත්ම ගරුත්වයට ද හානි වීම හේතුවෙන් වෙනත් පොලිස් ස්ථානවලට මාරු වීම් ලබා දෙන ලෙස ඉහළ පොලිස් නිලධාරීන්ට කෙරෙන බැගෑපත්වීම් වර්ධනය වෙමින් පවතින බව ද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

උද්ගත වී ඇති තත්ත්වය යටතේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සංකල්පය මත දිවයින පුරා පොලිස් ස්ථාන 454ක් ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත නිවාස 454න් මේ වන විට ඉදිකිරීමට හැකි වී ඇත්තේ නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් වන අතර ඇතැම් නිවාස ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකිව අතර මඟ නවතා දැමීම නිසා පොලිස්පතිවරයාගේ සංකල්පය අතර මඟ නතර කිරීමට සිදු වී ඇති බව ද වාර්තාවේ.

එස්.අයි. උසස්වීම්වලට පුංචි ඡන්දය හරස් වෙයි

මේ අතර වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වූ උප පොලිස් පරීක්ෂකවරුන්ට උසස් වීම් ලබා දීම සඳහා සකස් කෙරුණු ක්‍රමවේදය අනුව වසර අටකට වැඩි සේවා කාලයක් ඇති නිලධාරීන්ට පොලිස් පරීක්ෂක තනතුරු ලබා දීමට ගනු ලැබූ තීරණය පළාත් පාලන මැතිවරණයත් සමඟ ප්‍රමාද වන බව වාර්තාවේ.

උප පොලිස් පරීක්ෂකවරුන් කණ්ඩායම් 06ක් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන් පසුව රහසේ සිදු කෙරුණු නිර්දේශ මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලැබිණි.

එහි දී හෙළිව ඇත්තේ වසර අටක් ඉක්මවූ උප පොලිස් පරීක්ෂකවරුන් 3029ක් සිටින බවයි.

ඇතැම් නිලධාරීන් වසර 22ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇතත් උසස් වීම් ලැබී නොමැත.

එසේ වසර අටකට වඩා සේවාව සම්පූර්ණ කළ නිලධාරීන් 2426න් සිටින අතර උසස්වීම් ලැබීමට නියමිත උප පොලිස් පරීක්ෂකවරුන් අතර කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 320ක් ද සිටිති.


මේ අතර ලබන මාර්තු මාසයේ දි පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට ඉඟි පළවන අතර එම වාතාවරණය පැවතුණහොත් එය අවසන් වන තෙක් මෙම උසස්වීම් ප්‍රමාද වන බව වාර්තාවේ.

(SLM)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment