‘‘ට්‍රම්ප් ඩෝග්’ චීනයේ!

‘‘ට්‍රම්ප් ඩෝග්’ චීනයේ!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් යෝධ සුනඛයෙක් නිර්මාණය කර තිබේ. මෙම ප්‍රතිමාව ‘ට්‍රම්ප් ඩෝග්’ යනුවෙන් සමාජ ජාලවල දැන් ජනප්‍රිය ය.

ට්‍රම්ප්ගේ කොණ්ඩය, ඉරියව් සහ ඇහිබැම මෙම නිර්මාණකරුවන් විසින් ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කර තිබේ.

මේ අනුව ‘ට්‍රම්ප් ඩෝග්’ හිස පැත්තකට පීරා සිටියි. අතක් ද ඔසවාගෙන සිටින අතර, සුපුරුදු පරිදි, මුහුණේ තරහ ගිය පෙනුමකි. මේ අතිදැවැන්ත සුනඛයා හුළං පිරවූ මාදිලියකි. එනිසා පාවීම සහ උඩයාම වළක්වා ගන්නට රැහැන් යොදා බිමට හයි කර තිබේ.

ට්‍රම්ප් කොහොමටත් උඩයන චරිතයකි. පහසුවෙන් පාවෙයි. එනිසා රැහැන් යොදා ඔහුව බිමට බාන්නට සිදුවන බව චීනුන් දන්නා සෙයකි.

චීනුන් මෙසේ කරන්නේ උදා වෙන්නට යන 2018 වර්ෂය චීන ෆෙංෂුයි ශාස්ත්‍රයට අනුව ‘සුනඛයාගේ වර්ෂය’ වන නිසා ය. පුරාණ චීන කැලැන්ඩරට අනුව ද 2018 සුනඛයාගේ වර්ෂයයි. මෙම කැලැන්ඩරයේ සම්ප්‍රදායික නක්ෂත්‍රයේ දැක්වෙන රාශි වෙනුවට සතුන් 12 දෙනෙක් සිටියි. ඒ සතුන් වන්නේ සුනඛයා, ඌරා, බැටළුවා, හාවා, මකරා, ගවයා, සර්පයා, කුකුළා, වඳුරා, අශ්වයා, මීයා සහ කොටියා ය. තමන් උපන් වර්ෂයට අධිපති සත්වයා ලග්නයට අධිපති සත්වයා වශයෙන් සැලකෙයි. මේ අනුව වර්ෂ ද නම් කෙරෙන අතර එය චක්‍රයක් මෙන් සැලකෙයි. එනිසා සෑම දොළොස් අවුරුද්දකට වරක්ම එක් එක් සත්වයා වෙනුවෙන් වෙන්කර ඇති වර්ෂය උදා වෙයි.

2018 වර්ෂය සුනඛයාගේ වර්ෂය වන අතර, 1946 ජූනි 14 උපන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ග් චීන ලග්නය ද සුනඛයා ය. එයට හේතුව 1946 වර්ෂය ‘සුනඛයාගේ වර්ෂයක්’ වීමයි. 

2016 වසරේ ධවල මන්දිරයට යාබදව යෝධ කුකුළෙකුගේ රුවක් ද මේ ආකාරයෙන්ම දැකගන්නට ලැබුණේය. එය නිර්මාණය කර තිබුණේ 2017 වර්ෂය, චීන ෆෙංෂුයි කැලැන්ඩරයට අනුව කුකුළාගේ වර්ෂය වූ නිසා ය. තවද එම කුකුළා ද පසුවූයේ තරහගිය ලීලාවෙනි.

සාමාන්‍යයෙන් චීන විශ්වාසයට අනුව කෙනෙකුට තමන් උපන් ලග්නයට අදාළ වර්ෂය ඉතා අපල ය. මේ නිසා එසේ වීම අභාග්‍යයක් ලෙස සලකයි. එයින් අදහස් වන්නේ උදාවන 2018 වර්ෂය ට්‍රම්ප්ට අපලදායක බව ද?

අද උදෑසන වාර්තා වූ පරිදි ට්‍රම්ප් චීනය ගැන කියා තිබෙන්නේ මෙසේ ය. “උතුරු කොරියාවට තෙල් දීල චීනය අතටම අහුවුණා.” මෙය අද අළුයම ඔහු විසින් නැවත නැවතත් ට්වීට් කරමින් කියා තිබෙන කාරණයකි. ඔහු මෙසේ ට්වීට් කර තිබෙන්නේ දකුණු කොරියාවේ වාර්තා පදනම් කරගෙන ය. එනම්, චීන නෞකා විසින් උතුරු කොරියානු නෞකාවලට තෙල් සපයමින් සිටින බවට දකුණු කොරියානු බලධාරීන් විසින් කළ ප්‍රකාශයක් පදනම් කර ගෙන ය.    

ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිසේත්ම චීනය තුළ ජනප්‍රිය චරිතයක් නොවන අතර, ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සමයේ පටන්ම ඇමරිකාව සමග පවතින වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ට්‍රම්ප් දැඩි ලෙස චීනය විවේචනය කළේය.

සුනඛයාගේ වර්ෂයේ උපන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට 2018 සුනඛයාගේ වර්ෂය අපලදායක වුණත් නැතත් චීනය තුළ නම් ට්‍රම්ප් ව කොහොමටත් සැලකෙන්නේ ‘අපලයක්’ ලෙස ය.

-        අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | /outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment