නීති විරෝධී ඉඩම් අයිතිය ඩෝල් සමාගමට ලබා දීමට රජය සැරසෙයි - සජීව චාමිකර

නීති විරෝධී ඉඩම් අයිතිය ඩෝල් සමාගමට ලබා දීමට රජය සැරසෙයි - සජීව චාමිකර

 

එහි පළමු පියවර වශයෙන් මෙම ඉඩම් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ. ඒ සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා විසින් 2016.09.15 වන දින අමාත්‍ය මණ්ඩල පති‍්‍රකා අංක සී.පී.16/1934/752/023 යටතේ ‘‘සී/ස ඩෝල් ලංකා පෞද්ගලික සමාගම නමින් මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩා ඔය සහ දෙමෝදර පිහිටි කෙසෙල් වගා කරනු ලැබූ ඉඩම් නියමානුකූල කිරීම’’ මැයෙන් කැබිනට් මණ්ඩලය වෙත සන්දේශයක් ඉදිරිපත් කර තිබේ. එම සන්දේශය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මෙන් ම ඉඩම් හා මුදල් අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතු ව යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල නිරීක්ෂණ වල ප‍්‍රථමයෙන් සඳහන් කර ඇත්තේ ඩෝල් ලංකා පුද්ගලික සමාගම වගා බිම් ස්ථාපිත කිරීමට ප‍්‍රථම කිසිදු අවස්ථාවක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලීමක් සිදු කර නොමැති බව ය. මීට අමතර ව ඩෝල් සමාගම දෙමෝදර හා කුඩා ඔය පිහිටි වගා බිම් අනවසරයෙන් භුක්ති විඳින බවට අධිකරණය ඉදිරියේ පිළිගෙන ඇති බව ද සඳහන් කර තිබේ. නමුත් ජනාධිපතිතුමන්ගේ නිරීක්ෂණ වාර්තාවේ අවසානයේ දක්වා ඇත්තේ ඩෝල් සමාගමට මෙම ඉඩම් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමක් සකස් කර නීතිපති වෙත යොමු කර අනුමැතිය ලබා ගන්නා ලෙස ය. ඒ අනුව මේ වන විට නීතිපති වරයා විසින් මෙම ඉඩම් ඩෝල් සමාගම වෙත කෙසේ හෝ ලබා දීමට ඇති හැකියාව පිළිබඳ ව අධ්‍යයනය කරමින් සිටී.

නමුත් ලංකාවේ පවතින ඉඩම් හා පාරිසරික නීති රීති වලට අනුව ඩෝල් සමාගම වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ලබා දීමේ හැකියාවක් නොමැත. යම් කිසි සමාගමක් වෙත ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉඩම් නිදහස් කරනු ලබන්නේ එම ව්‍යාපෘතිය පිළිබඳ ව සිදු කරණ ඉල්ලීමකට අනුව එහි ශක්‍යතාව අදාළ රාජ්‍ය ආයතන විසින් පරීක්ෂා කර අනුමැතිය ලබා දී තිබේ නම් පමණි. එම අනුමැතීන්ට යටත් ව රජයේ ඉඩම් ආඥා පනතේ 199 (උ) වගන්තියට අනුව දීර්ඝ කාලීන බදු ගිවිසුමක් යටතේ ඉඩම් නිදහස් කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා ඉඩම් අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන අතර ජනාධිපතිවරයාගේ නිර්දේශ යටතේ ඉඩම් නිදහස් කිරීම සිදු කරනු ලැබේ.

ආයෝජන ව්‍යාපෘතියක් සඳහා සමාගමක් වෙත රජයේ ඉඩම් ලබා දීමේ ක්‍රියාපටිපාටිය මෙය වුව ද ඩෝල්සමාගමට මේ ආකාරයෙන් ඉඩම් ලබා දීමේ හැකියාවක් නොමැති වීමට කරුණු කිහිපයක් බලපා තිබේ. ඒ අතුරින් ප‍්‍රධාන වන්නේ ඩෝල් සමාගම නීති විරෝධීව වසර ගණනාවක් මුළුල්ලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පරිහරණය කර තිබීම හා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප‍්‍රථම කිසිදු ආකාරයක අනුමැතියක් ලබා ගැනීමකින් තොරව ඉඩම් අවභාවිතය සිදු කර තිබීමය. ඒ හේතුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩෝල් සමාගමේ කුඩා ඔය හා දෙමෝදර පිහිටි නීති විරෝධී වගා බිම් වලට එරෙහිව වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක එම්. සී. 215 හා 216 යටතේ අධිකරණ ක්‍රියාමාර්ග
ගෙන තිබේ. එසේ තිබිය දී කැබිනට් මණ්ඩල අනුමැතියට යටත් ව ඉඩම් නියමාණුකූල කිරීමේ ක‍්‍රමවේදයට අනුව ඩෝල් සමාගමට නීති විරෝධීව භුක්ති විදින ඉඩම් ලබා දීමට කටයුතු කිරීම ඉතා ම හානිකර මෙන් ම වැරදි පූර්වාදර්ශ ලබා දීමකි.

ඩෝල් සමාගම නීති විරෝධීව ඉඩම් භාවිතා කරණ බවට නීතිමය සාධක බොහොමයක් පවතී. ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් මොනරාගල දිස්ති‍්‍රක්කයේ කුඩා ඔය හා දෙමෝදර පිහිටි ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය මායිමේ ව්‍යාප්ත කර ඇති කෙසෙල් වගා බිම් වැදගත් වේ. මෙම වගා බිම් ස්ථාපිත කර ඇත්තේ 2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9 වන වගන්තිය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමිනි. මෙම වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික
අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය ප‍්‍රතිපාදනය උල්ලංඝනය කර ඩෝල් සමාගම වගා බිම් ස්ථාපිත කර ඇත. එය නීති විරෝධී ක්‍රියාවකි.

මීට අමතර ව 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමින් ඩෝල් සමාගම රජයට අයත් වනාන්තර එළි පෙහෙළි කර වගා බිම් ස්ථාපිත කර තිබේ. එම වගන්තියට අනුව වනාන්තර එළි පෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරත ව සිටින පුද්ගලයෙකු හෝ ඒ ස`දහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොඉක්මවන කාලයක් ස`දහා බන්ධනාගාර
ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මෙම ද`ඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සඳහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය. එසේ තිබිය දී ඩෝල් සමාගම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නීති විරෝධී ව අවභාවිතා කිරීමට එරෙහිව නීති කි‍්‍රයාත්මක කර දඬුවම් ලබා දීම වෙනුවට එම ඉඩම් ඩෝල් සමාගම සතු කිරීමට උත්සාහ දැරීමෙන් වන සංරක්ෂණ ආඥා පනත පමණක් නොව නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් වේ. එම`ගින් ලබා දෙන වැරදි පූර්වාදර්ශ හේතුවෙන් ඉදිරියේ දී මෙවන් ක්‍රියා තවදුරටත් වර්ධනය වනු ඇත.

1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හෝ වනාන්තර නොවන හෙක්ටයාර 50 කට වැඩි භූමි ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ නීතිමය ප‍්‍රතිපාදනය ද ඩෝල් සමාගම වගා බිම් ස්ථාපිත කිරීමේ දී උල්ලංඝනය කර තිබේ.

cavandis

1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ ස`දහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව ඩෝල් සමාගම වනාන්තරය එළි පෙහෙළි කරමින් මහා පරිමාණ වගා බිම් පිහිටුවීම සිදු කර ඇත.

ඒ අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත හා පුරා වස්තු ආඥා පනත මෙන්ම රජයේ ඉඩම් ආඥා පනත උල්ලංඝනය කර ඩෝල් සමාගම නීති විරෝධී ව වගා බිම් ස්ථාපිත කර ඇති බව තහවුරු වේ. එසේ තිබිය දී එම ඉඩම් ඩෝල් සමාගමට ම ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපතිතුමන් ඇතුළු කැබිනට් මණ්ඩලය ගන්නා නිර්ලජ්ජිත උත්සාහය අප දැඩි ලෙස හෙළා දකිමු. යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ජනතාව සම`ග සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන නිතියේ අධිපත්‍යය මෙලෙස උල්ලංඝනය කිරීම කනගාටුදායක ය.

 

මීළඟ කොටස පසුවට බලා පොරොත්තු වන්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment