දුම්රිය වෘත්තීය සමිති සටන සැබෑම වෘත්තීය සමිති සටනක්ද ?

දුම්රිය වෘත්තීය සමිති සටන සැබෑම වෘත්තීය සමිති සටනක්ද ?
දුම්රිය වැඩවර්ජනයේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ වැටුප් විෂමතාව ඉවත් කර ගැනීමය. ඒ වෙනුවෙන් වැඩි වැටුපක් ඉල්ලීමය. වර්ජකයන්ගේ වැටුප් ප්‍රශ්නය නිසාවෙන්ම ඊයේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා දුම්රිය රියදුරෙකුගේ සාමාන්‍ය මාසික වැටුප රට හමුවේ ප්‍රකාශ කළේය. අතිකාල දීමනාද සමඟ රුපියල් දෙලක්ෂ විසිහය දහසක පමණ මාසික වැටුපක් ලැබ ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. සාමාන්‍යයෙන් අප දන්නා පරිදි දුම්රිය ධාවනය ප්‍රමාද වෙන්න වෙන්න ඔවුන්ට අතිකාල දීමනා එකතු වෙයි. වැඩ කරන ජනතාවට සරිලන වැටුපක් හිමි විය යුතුය. එහි විවාදයක් නැත. නමුත් මේ ප්‍රශ්නයේදී සිතන්නට යමක් වෙයි. දින පහක පමණ කාලයක් තිස්සේ වර්ජනය අවසන් කර ගැනීමට පාලක පක්ෂයට නොහැකි වුයේ මෙහි බරපතල ප්‍රශ්නයක් පවතින හෙයිනි. කිසිදු නම්‍යශීලිත්වයක් නොපෙන්වා වර්ජකයන්ද සිය ස්ථාවරයේ හිදින්නේ කාරණය සුළුපටු නොවන හෙයිනි.
 
වැඩවර්ජනය ආරම්භ වන්නේ දුම්රිය රියදුරන්න්ගේ පාර්ශවයෙනි. පසුව ඊට නියාමකවරු, දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 12ක සහය හිමිව තිබේ. වර්ජනයට එක්වූ දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ ඊයේ (11) සේවයට වාර්තා කර තිබුණි. වැඩවර්ජනය අතරතුරත් දුම්රිය වාර 50ක් පමණ ධාවනය කළ බවද අතිරේක දුම්රිය සාමන්‍යධිකාරී විජය සමරසිංහ මහතා මාධ්‍ය වෙත පවසා තිබුණි. මේ අතර දුම්රිය රියදුරු සහායකයන් ධාවනය සඳහා උත්සහයක් ගන්නා අයුරුද පෙනෙන්නට විය. කෙසේ නමුත් පැත්තකින් වර්ජනය ක්‍රියාත්මක වන විට හතර පැත්තෙන්ම මගී ජනතාව නම් හොඳ හැටි තැලීපොඩි විය.
 
ප්‍රධාන වශයෙන්ම වැඩවර්ජනයට හේතු වී ඇත්තේ බඳවා ගැනීම් පටිපාටියක තිබූ ප්‍රශ්නයක්ය. මීට ඉහතදීද පෙර නොදන්වා රියදුරන් වැඩවර්ජනයක නියැලුණේ එම කාරණය පදනම් කර ගනිමිනි. මෙවරද එය වැඩවර්ජනයේ ඉදිරියෙන් ඇති ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් රියදුරු  සමඟ රියදුරු සහායකද දුම්රිය ධාවනය සඳහා එක්වෙයි. රියදුරු සහායකයන්ට දුම්රිය ධාවනය කිරීම සඳහා අවසරයක් නැත. හදිසි අවස්ථාවකදී හෝ එම අවසරය තිබුණේ නැත. මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය රියදුරු සහායකයන්ට දුම්රිය ධාවනය පුහුණු කිරීමත් බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කිරීමටත් දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබුණි. ක්‍රියාත්මක වූ ආකාරයට දුම්රිය සහායකයන් බඳවා ගැනුණේ දෙපාර්තමේන්තුවේම පහළ ශ්‍රේණී වල සේවකයන්ය. ඔවුන්ගේ උසස් වීම් පටිපාටියට අනුවය. එම තත්ත්වය තුළ දුම්රිය රියදුරු සහායකයන් රියදුරුට වඩා රැකියාවේ තත්ත්වයෙන් හිදින්නේ පහළ මටට්මකය. එම තත්ත්වය තුළ  සාමාන්‍යයෙන් වහරට අනුව රියදුරන්ට   ගැට්ටක් සහිතව රස්සාව කළ හැකිය. එහෙත් දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබුණේ දුම්රිය රියදුරු සහායකයන් සෙසු තනතුරු වලට බඳවා ගන්නා පරිදි තරඟ විභාගයක් පවත්වා පිටතින්ද බඳවා ගැනීමටය. රියැදුරු කඩි ගුල ඇවිස්සී ඇත්තේ  මේ තීරණය දැනගත් පසුය. එකහෙලාම රියදුරන් එම බඳවා ගැනීමේ නව පටිපාටියට එරෙහි වී තිබේ.
 
තතු සැබෑ ලෙසම දන්නෝ පවසන පරිදි රියදුරන් එම නව බඳවා ගැනීමේ පටිපාටියට  එරෙහි වන්නේ වෙනත් කාරණයක් නිසා නොව පෙර සඳහන් කළ දුම්රිය "රියදුරු ගැට්ට" අභියෝගයට ලක්වීමේ බියෙනි. අභ්‍යන්තර සේවකයන් බඳවා ගන්නා විට අවුලක් නොවන්නේ ඔවුන් එතෙක් සේවය කළේ රියදුරන්ට වඩා පහළ ශ්‍රේණිවල නිසාය. රියදුරු සහායකයන් ලෙස උසස් වීමක් ලැබුණත් රියදුරුට වඩා අඩියක් දෙකක් හෝ පහළය. නමුත් පිටතින් බඳවා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් අතින් ඉහළ තැනක සිටිනා තරුණයින් ඊට කිසි පැකිලීමකින් තොරව ඉල්ලුම් කරයි. බොහෝ විට දැනට සේවයේ නියුතු අයට වඩා ඔවුන් තාක්ෂණ දැනුම අතින් ඉදිරියෙන් සිටින අය විය හැකිය. එවන් අවස්ථාවකදී අර "ගැට්ට" නිකම්ම පැත්තකින් තැබීමට සිදුවෙයි. ( මෙය දුම්රිය රියදුරන් අපහසුතාවට ලක් කිරීමට කරන සඳහනක් නොව මේ වෘත්තීය සමිති සටනේ ඇත්ත අනාවරණ කර ගැනීම සඳහාම තබන්නකි.) නව බඳවා ගැනීමේ පටිපාටිය තුළ දුම්රිය රියදුරන්ට ඇති සැබෑ ප්‍රශ්නය මෙයයි. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු චුට්ට චුට්ට හරි තියෙනවා කියන්නේ මෙවැනි කතන්දර හමුවේය. අද දුම්රිය රියදුරන්ට බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් ඇත්තේ එබඳු කහටකි. එහෙත් රියදුරන්ගේ විරෝධය පසෙකලා දුම්රිය රියදුරු සහායකයන් අධිකරණය හමුවට යන්නේ  නව බඳවා ගැනීමේ පටිපාටිය ක්‍රියාත්මක කිරීම බලාත්මක කරන ලෙස ඉල්ලමිනි. රියදුරන් වැඩවර්ජනය තෝරන්නේ මේ ප්‍රතික්‍රියාවට තවත් ප්‍රතික්‍රියාවකින්ම උත්තර දීම සඳහාය. ඒවා ඔවුන් හදුන්වන්නේ  වෘත්තීය සමිති සටන් ලෙසය. 
 
අනෙක් කාරණය වැටුප් ප්‍රශ්නයයි. මෙම කාරණයට දුම්රිය වෘත්තීය සමිති 12ක් සහය ලබා  දී ඇති බව පැවසෙයි. වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලකලද ඒ තුළ ඇත්තේ තව දුරටත් වැටුප් වැඩිකර ගැනීමේ වුවමනාව බව තතු දන්නෝ පවසති. වැඩවර්ජනය අවසන් කරගැනීමට නොහැකි වී ඇත්තේද මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ නොහැකියාවයි. දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම පරිදි වැටුප් වැඩිකිරීමක් කළ හොත් එය සමස්ත රාජ්‍ය සේවයටම බරපතල ලෙස බලපෑමක් කරන බවත් ඉන් බරපතල වැටුප් විෂමතාවක් ඇති වන බවත් හඳුනා ගෙන තිබේ. දුම්රිය සේවකයන්ට වැටුප් වැඩිකිරීම කළ හොත් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේද වැටුප් වැඩි වියයුතු බවට ඔවුන් ප්‍රශ්නය එන විටම ප්‍රකාශ කළේය. ඒ අනුව සිදු වන්නේ මුළු රාජ්‍ය සේවය පුරාම මේ ප්‍රශ්නය ව්‍යාප්ත වීමයි. එය පවත්නා මුල්‍ය අර්බුදය හමුවේ ආණ්ඩුවකට කොහෙත්ම ඔරොත්තු නොදෙන තත්ත්වයකි. ආණ්ඩුව දැන් මුහුණ දී සිටින්නේ මෙම කාරණය විසඳා ගැනීමේ උභතෝකෝටිකයකය. වාර්තා වන පරිදි කැබිනට් මණ්ඩලය තුළ මෙම කාරණය බරපතල ලෙස සාකච්ජාවට ගෙන ඇති අතර දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීමට අනුව වැටුප් වැඩි  කිරීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ. දුම්රිය වෘත්තීය සමිති ඉල්ලන පරිදි දුන් පසු දුම්රියේ ප්‍රශ්නය විසඳුනත් ඊළඟට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එම ප්‍රශ්නය ආරම්භ වීම‍ට නියමිතය. ඊළඟට තාක්ෂණික ක්ෂේත්‍ර තුළය. මේ ආකාරයට සමස්ත රාජ්‍ය සේවය පුරාම වැටුප් ප්‍රශ්නය රිය සක මෙන් පැමිණීම නතර කිරීමට හැකි වන්නේද නැත. දුම්රිය වැඩවර්ජනය අද හිදින්නේ මෙවැනි අර්බුදයකය. මෙවැනි පසුබිමක් නිර්මාණය වූයේ කෙසේද? දැන් එම හේතුවේ පටන්ම විසඳුම සෙවිය යුතු නොවේද? 
 
දුම්රිය සේවකයන් පවසන පරිදි පවත්නා බව කියන වැටුප් විෂමතාව පිළිබඳව දැන් ආණ්ඩුව විසින් රටට කරුණු අනාවරණ කළ යුතුය. දෙපසට තුන් පසට කඹ ඇදිල්ල දැන් හෝ නතර කළ යුතුය. වැටුප් විෂමතාවක් ඇත්නම් එය හට ගත්තේ කෙසේද යන්න පිළිබඳවද ඇත්ත පැවසිය යුතුය. විෂමතාව ඉවත් කිරීමේදී වැටුප් වැඩිවීමක් වන්නේ නම් හෝ එසේ කළ යුතු නම් ඒ කුමන හේතු මතද යන්නද පැහැදිලි කළ යුතුය. දැන් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කර තිබේ. ඒ අනුව සේවයට වාර්තා නොකරන පිරිස් සේවය හැර ගිය බවට සලකන බවටද ආණ්ඩුව රතු එළියක් දල්වා ඇත. එහෙත් ප්‍රශ්නය තිබූ තැනමය.
 
කෙසේ වෙතත් අද ඇත්ත කාරණය වෙනුවට මතුපිටට පැමිණ ඇත්තේ දේශපාලන කුහකත්වයයි. මහින්දගේ අනුහස් හෝ යහපාලනයේ සැප ගැන දැන් වාද කිරීම කළ යුත්ත නොවන අතර මේ සෙල්ලම අවසන් කිරීමට එකඟතාවකට පැමිණ යුතුය. දේශපාලන එදිරිවාදිකම්, පෞද්ගලික කුහකත්වයන් රටේ අඩපණ කළ යුතු නොවෙයි. එහෙත් මුදුණේ ඉදන්ම මොන කස්තිරමක් හෝ අල්ලා මල්ල පුරවාගන්නා බව පෙනෙන්නට තිබියදී ඊට පහළට  පමණක් වාරණ දැමීමෙන් පලක් නැත. ඉතින් සහසුද්දෙන්ම සියල්ල සුද්ද විය යුතුය. 
 
ආශිකා බ්‍රාහ්මණ  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment