පැනීම හා නොපැනීම - සංජීව සේනාරත්න

පැනීම හා නොපැනීම - සංජීව සේනාරත්න

නායක සම්බන්ධතාවයන් වඩාත් මෘදු සහ කළමනාකරණය කරගත හැකි වුවද අනුගාමිකත්ව සම්බන්ධතා එසේ වන්නේ නැත. අනුගාමිකයින්ගේ සම්බන්ධතා සමාජයට සාපේක්ෂව වඩාත් අවංක වන අතර නායකයින්ගේ සම්බන්ධතා වංක වේ.

දේශපාලකයෙක්ට හෝ නායකයෙක්ට මාරු විය හැකිද? පිලිතුර වන්නේ විය හැකියි අනුගාමිකයින් සමග යන්නයි. අනුගාමිකයින් සමග නායකත්වය මාරු වීම යනු එක්තරා ආකාරයකට සමස්ත මතවාදය වෙනස් කිරීම විය හැකිය. එයින් අනුගාමිකයින්ට හා නායකයින්ට අවම හානියක් වන අතර සමාජයට වන හානිය අවම කල නොහැකි වේ. එනයින් බලන විට එම මාරුවීම සමාජ විරෝධීය. ආයතන විරෝධී වන්නේ නැත.

ලංකාවේ නායකයින් අනුගාමිකයින් ද අත් හැර ගෙම්බන් මෙන් පනිති. එවිට අනුගාමිකයා තව දුරටත් අනුගාමිකයෙක් බවට පත්වනවාද යන්න පිලිබදව සලකා බැලිය යුතු වේ. නායකත්වය හෝ අනුගාමිකත්වය අත් කරගනු ලබන්නේ යම්කිසි නීති, න්‍යායන් හා එකඟතාවයන් ගණනක් නිසා ය. ලංකාවේ මෙම එකඟතාවයන්හි තත්වයන් කෙබඳුද?

සමාජ දේශපාලන දේහයෙහි එකඟතා ඇති කරගැනීම පශ්චාත් යටත්විජිත තත්වයන් සමග ගැලපිය යුතු වේ. බෙදී සිටි ලංකාව යම් ආකාරයකට ජාතික බවට පත් කරන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. මේ සදහා ස්වදේශිකයින්ගෙන් කිසිදු මැදිහත්වීමක් සිදු වූයේ/ සිදු වීමට දුන්නේ නැත. එම නිසා ලංකාවේ බිහි වූ මෙම මැජිකල් ජාතිකත්වය තුළ සිය මතවාද ගොඩනගා ගැනීමට නායකයින්ට සිදු විය.

රටක ජාතිය බිහි වන්නේ වෙළදපල මූලික කරගනිමිනි. එය පොදු බවට පත්වන ශක්තිමත්ම සාධකය වන්නේ වෙළදපලයි. වෙළදපල අයිතිය ඉංග්‍රීසි ජාතිකයින් තබාගත් විට ජාතියෙහි ප්‍රධාන හිමිකරුවන් බවට පත් වන්නේ ඉංග්‍රීසි ජාතිකයින්ය. එවිට පොදු ජාතික මතවාදය බවට ඉබේම පත්වන්නේ යටත්විජිත මතවාදයයි. නමුත් ලාංකික විකල්ප දේශීය පිරිස මෙම මතවාදය සිය මතවාදය බවට පත් කර ගත්තේ නැත. එහෙත් ඉංග්‍රීසි ජාතික මතවාදය ට විරුද්ධ වීමට ඔවුන් හට යම් මතවාදයක් අවශ්‍ය විය.

මතවාදීමය වශයෙන් ආගමික හෝ ජාතිකත්ව මතවාදයක් ගෙන ආ නමුත් සැබෑ ජාතිය ගොඩනැගුනේ ඉංග්‍රීසි වෙලදපල මූලික කරගනිමිනි. එම නිසා අනිවාර්ය වශයෙන් මෙම මතවාදය හොරෙන් දැරීමට ස්වදේශිකයින්ට සිදු විය. තමක්ගේ ජීවිතය සරි කරන මතවාදය ඉංග්‍රීසි මතවාදය බවට පත් වෙමින්, එහි ආරක්ෂාව යටතේ හිඳිමින්ම එයට විරුද්ධ ස්වදේශික, ආගමික, ජාතිකත්ව මතයක් දැරීම සිදු විය.

එම නිසා ලංකාවේ ජාතික දේශපාලනික මතවාද උපන් ගෙයිම වංක හා ව්‍යාජ මතවාද බවට පත්විය. මෙම ව්‍යාජත්වය හා වංකත්වය ලංකා දේශපාලන, සමාජ, ආගමික සමස්තයේ ආරම්භය බවට පත්විය. එතැන් පටන් ලංකාවේ බිහි වූ සියළු සමාජ දේශපාලන ව්‍යාපාරයන් හි නාමික ඉලක්කයන් හා සඟවාගත් ඉලක්කයන් විය. අනුගාමිකයින්ට පෙන්වන ඉලක්ක සහ නායකයින් පමණක් දන්නා ඉලක්ක බිහි විය. එය ඇත්තටම දෙපිටකාට්ටු බවේ ආරම්භයයි. මෙම ලක්ෂණය ලංකාවේ කැඩී වෙන්වී යන ඕනෑම සහ මතුවට ගොඩනැගීමට නියමිත සංවිධාන වල ලක්ෂණයයි.

එම ලක්ෂණය නිසාම ලංකාවේ කිසිදු දේශපාලන සංවිධානයක් හෝ පක්ෂයක් සිය ඉලක්ක ඉටු කරගත්තේ නැත. අඩු තරමින් 10 දෙනෙකුට වඩා අඩුවෙන් සිටින කල්ලි පවා වෙන්ව යන්නට, පැන යන්නට හදන තත්වයන් දක්නට හැකි විය. මෙම ජාත ලක්ෂණයෙන් ගැලවීමට අඩු තරමින් අන්ත බටහිර විරෝධී (නාමික) සංවිධාන වලට පවා නොහැකි විය.

එම නිසා දැන් මේ පනින පැනිල්ලට ඒ ඒ නායකයින් වගකිව යුතු නොවේ යන්න කීමට යන්නේ නැත. මොකද ලංකාවේ මේ දක්වා බිහිව ඇති සියළු නායකයින් සිය පුද්ගලික අදහස සංවිධාන අදහසට වඩා ඉහළින් ගෙන ආ පුද්ගලයින් නිසාම, ලංකාවේ නායකත්ව ශෛලීන්හි අර්බුදයක් ද මෙහි පෙන්නුම් කරයි.

සමහර විටෙක මේවා නායකත්වයන් නොවේ යැයි නිගමනය කිරීමට හෝ හැකියාව ලැබේ. අතීත ග්‍රාමීය නායකත්වය (කුඩා වපසරියක ක්‍රියාත්මක) ම ජාතික (ඊනියා) නායකත්වය තුළට පැමිනෙන්නේ පුද්ගල සාධක මූලික කරගනිමිනි. මෙය රැඩිකල් නායකත්ව අවස්ථා පෙන්වන ජවිපෙ, එල්ටීටීඊ සංවිධාන දෙක තුළම පවා දැකිය හැකි වේ.

ජාතිය වංක වූ බවත් නායකත්වය පුද්ගලික වූ බවත් නිසා ලංකාව තවම අැත්තේ එක් තැනකය. අනුගාමිකයින්ගේ තත්වය කෙසේද? අනුගාමිකයින් සිය ව්‍යාපාරයට වංක වන්නේ අඩුවෙනි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ මූලික සමාජ හැසිරීම ව්‍යාපාරය නොවන බැවිනි. ඔවුන් වෙනත් වෘත්තීන් කරමින්, හම්බ කරමින් පවුල් ඇති කරගනිමින් සිටිති. ඔවුන් සිදු කරන්නේ ආංශීය මැදිහත්වීමක් පමණි. නමුත් නායකයාගේ මතවාදය වෙනුවෙන් ඔවුන් සමාජයේ පෙනී සිටීම කරති.

අනුගාමිකයින් සිය වෘත්තිය තුල වංකයන් වීමට ඉඩ ඇත. නමුත් ඔවුන් ව්‍යාපාරය තුළ එසේ නොකරන්නේ එය ඔවුන්ගේ ප්‍රධාන දෙය නොවන බැවිනි. තවත් වැදගත් අවස්ථාවක් මෙහි ඇත. එනම් අනුගාමිකයින් “ජාතික“ තත්වයට පත්ව නොතිබීමයි. ඔවුන් පැරණි ග්‍රාම ව්‍යුහයේ සිටිති. එම නිසා මෙය යම් දරකට කළමනාකරණය කරගැනීමට හැකියාව ඇත. නමුත් නායකයින් “ජාතික“ ව්‍යුහයේ සිටිති.

මෙම ජාතික ව්‍යුහය ව්‍යාජයකි. ආරම්භක අවස්ථාවේදී අවංක වන ව්‍යාපාර පසුව වංක ව්‍යාපාර බවට පත්වන්නේ පුළුල්වීම දරාගන්නා පදනමම වංක වීම නිසාය. එය සර්වෝදයේ සිට බොදු බල සේනා දක්වා දැකිය හැකි තත්වයකි.

පැනීම සාධාරණය කල හැකිද? ඔව්… එයට හේතුව කුමක්ද? සියළු දෙනා එකම බෝට්ටුවේ නිසා පැනීම සාධාරණ වේ. නමුත් පනින්නේ සාධාරණ වීමට නොව පුද්ගලිකත්වය නිසා ය. පොහොට්ටුව බිහි වන්නේ පුද්ගලික ගැටළු විසදා ගැනීම වෙනුවෙනි. පෙරටුගාමීන් බිහි වන්නේ ඒකාකාරිත්වය හා අපේක්ෂා භංග වීම නිසාය. එම බිහිවීම් කිසි විටෙක සමාජයට බලපෑම් ඇති කරන්නේ නැත. නමුත් ඔවුන් සමාජයෙන් යැපීම සිදු කරති.

යම් ව්‍යාපාරයක් සමාජයෙන් යැපෙන විට එම ව්‍යාපාරය භක්ෂණය කරනු ලබන්නේ සමාජය තුළ ඇති ශක්තීන් ය. මේ වන විට ලංකාවේ සමස්ත වාමාංශික, දක්ෂිණාංශික ව්‍යාපාර විසින් සමාජය තුළ ඇති විශ්වසනීයත්වය, විභවය අවසන් කර ඇත. එම නිසා මේ වන විට මැනිය හැකි සමාජ විභවයක් ලංකාවේ දක්නට නැත.

නිතිපතා මිනිසුන් විසින් සමාජයට එකතු කරන ශක්තිය ද මෙම ව්‍යාපාර විසින් අවශෝෂණය කරනු ලැබේ. එම අවශෝෂනය කරන ක්‍රියාවලියේ ප්‍රතිඵල වන්නේ වාමාංශයේ සිට දක්ෂිණාංශය තෙක්, කුමන්ත්‍රණ, ගසා කෑම්, සොරකම් කිරීම්, අවලාද නැගීම්, පලි ගැනීම්, ඩීල් ගැසීම් ය. වාමාංශික කොටස් ද මේ වන විට සම්පත්මය හොරකම් වලට ඇතුලත් ව ඇත.

පැනීම හා නොපැනීම යන දෙකම වෙනස්කම් ඇති දේවල් නොවේ. පැනීමෙන් හෝ නොපැනීපෙන් සිදු වන්නේ නායකයා ආරක්ෂා වීම, නායකයාට යම් දේවල් ලැබීම, ඔහු/ඇයගේ පුද්ගලික ජීවිතය සාර්ථක වීම පමනි. ලංකාවේ අනුගාමිකත්වය යනු හුදෙක් අලෙවිකරණමය ගණිකා වෘත්තියක් පමණි. අනුගාමිකයා අවංකයෙක් වූ විට ඔහුගේ සමාජ ජීවිතය එතැනින් අවසන් විය යුතු ය. නමුත් එසේ අවසන් වන්නේ නැත. මොකද ඔහු/ඇය නායකයාගේ අනුගාමිකයෙක් වන නිසාමය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment