ලංකාවේ යුධ අපරාධ පෙන්වූ ‘නෝ ෆයර් සෝන්’ (“No Fire Zone: The Killing Fields of Sri Lanka”) වාර්තා චිත්‍රපටය තිරගත කළ මාධ්‍යවේදිනිය ඇපෑල අස්කර ගනී

ක්වාලාලම්පූර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට ලබාදී තිබූ තීන්දුව වූයේ ඇය වරදකාරිය බව සහ, ඒ වෙනුවෙන් එක්කෝ රිංගිත් 10000 ක දඩයක් නැතිනම් එක් අවුරුදු සිර දඩුවමක්  ලැබිය යුතු බවයි. 

මෙම දණ්ඩ විනිශ්චයට එරෙහිව ඇය විසින් ක්වාලාලම්පූර් මහාධිකරණයට සිය අභියාචනය ගොනු කර තිබිණි. එය ඉවත් කර ගැනීමෙන් පසුව මාධ්‍ය අමතා ඇය ප්‍රකාශ කර සිටියේ අධිකරණ පද්ධතිය ගැන විශ්වාසයක් නැති හෙයින් සිය ඇපෑල ඉල්ලා අස් කරගත් බවයි.

අවසන් සටනේ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් “No Fire Zone: The Killing Fields of Sri Lanka” වාර්තා චිත්‍රපටය විකාශය කිරීමට කටයුතු කරන විට ඇය චැනල් 4 (Channel Four) රූපවාහිනී නාලිකාවේ Pusat Komas වැඩසටහනේ අධ්‍යක්ෂකවරිය වශයෙන් කටයුතු කළාය.

2013 වසරේදී ඇයට එරෙහිව නඩු පැවරුණු අතර පසුගිය මාර්තු මාසය දක්වා විභාග වූ එම නඩුවේදී ඇය සිය දඩ මුදල ගෙවා දැමුවාය. මේ අතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාධ්‍ය වාරණය පිළිබඳ තත්ව සලකා බලා, සංස්කරණය නොකළ දර්ශන විකාශය කිරීම නමැති චෝදනාව ඉවත් කර ගෙන තිබිණි.

කෙසේ වෙතත් ලීනා හෙන්ඩ්‍රි පවසන්නේ එම නඩුව තමන්ට එරෙහිව ගොනු නොකළ යුතුව තිබූ බවයි. අධිකරණ පද්ධතිය හරහා යුක්තිය ඉටු වේ යැයි විශ්වාසයක් තවදුරටත් තමන් වෙත නොමැති බව ද ඇය කියා තිබේ. මේ අතර, ලන්ඩනයේ මානව හිමිකම් උපාධියක් හදාරමින් සිටින ලීනා හෙන්ඩ්‍රි වෙනුවෙන් මේ වන විට අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන සහ ක්‍රියාකාරීන් හඬ නගමින් සිටින අතර ඔවුන් පෙන්වා දෙන්නේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ලොවට හෙළිදරව් කළ මෙම ක්‍රියාකාරිනිය වෙනුවෙන් ඇගේ හඬ තමන් විසින් ඉදිරියට ගෙන යන බවයි.

2008 සැප්තැම්බරයේ පටන් 2009 අගභාගය දක්වා ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ 12 හැවිරිදි බාලචන්ද්‍රන් ඇතුළු දමිල ජනතාව ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කිරීම පිළිබඳ ගවේෂණාත්මක වැඩසටහනක් වශයෙන් “No Fire Zone: The Killing Fields of Sri Lanka” වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කර තිබිණි. මෙය අන්තර්ජාතික වශයෙන් මහත් අවධානයක් දිනාගත් අතර සම්මාන ද ගණනාවක් එයට හිමිවිය. ශ්‍රී ලංකා හමුදාව මෙම වාර්තා චිත්‍රපටයේ අන්තර්ගතය දැඩි සේ ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් යුධ අපරාධ සෙවීම පිණිස පත් කළ පරණගම කොමිසමේ සභාපතිවරයා වූ විශ්‍රාමලත් විනිසුරු මැක්ස්වෙල් පරණගම ප්‍රකාශ කර තිබුණේ එහි ඇතුළත් ඇතැම් සිදුවීම් සත්‍ය බවයි.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment