මුලතිව්වල නැවත පදිංචිය අවසන් කරන විට ජනගහනයේ 2% ක වර්ධනයක්!

මුලතිව්වල නැවත පදිංචිය අවසන් කරන විට ජනගහනයේ 2% ක වර්ධනයක්!

මෙසේ ජනගහන වර්ධනයක් පෙන්වීමට, පවුල්වල දරුවන් සහ මුණුබුරන් සංඛ්‍යාව වර්ධනය වීම, යුද්ධයත් සමග කාලයක් සැගව සිටි අය නැවත පැමිණීම, වෙනත් ප්‍රදේශවල පදිංචි වී ඇති පිරිස් නැවත පැමිණීම ආදී හේතු සෘජුව බලපා ඇති මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙකු අප වෙත අනාවරණය කර සිටියේය.

යුද්ධයේ අවසන් අදියරයේ සටන් පැවතියේ මුලතිව් දිස්ත්‍රික්කයේය. වසර 30 ක් පමණ දීර්ඝ කාලයක් පැවති යුද්දයත් සමග එහි සිටි ජනතාව වරින් වර අවතැන් වී ඇති බවත් නමුත් 2009 දී එම දිස්ත්‍රික්කය තුල ජීවත් වූ සියළුම ජනතාව අවතැන් වූ බවත් ඉහත  ඉහත සඳහන් කළ ජේෂ්ඨ නිලධාරියා තවදුරටත් සඳහන් කරයි. එම ජනතාවගේ සියළුම දේපළද යුද්ධයත් සමග විනාශ වී ඇත.

ඒ අනුව 2009 වසරේදී අවතැන් වූ මුළු ජන සංඛ්‍යාව 112056 බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල දත්ත පෙන්වා දෙයි.

එසේවුවත් මෙම අවතැන් වූවන් පිළිබඳව ලේඛණගත කිරීම් ගැටළු සහගත බව පවතින බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියා පැහැදිලි කලේය.

මේ අතර මුලතිව් දිස්ත්‍රික්කය තුල නැවත පදිංචි කිරීම මේ වන විට මුළුමනින්ම අවසන් කර ඇත.

ඒ බව අනාවරණය කළ මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කතීෂ්වරන් මහත්මිය පෙන්වා දෙන්නේ නැවත පදිංචි කළ ජනතාවගේ යටිතල පහසුකම් දියුණුකිරීමේ ගැටළු තවදුරටත් පවතින බවයි. එම ගැටළු අතර පාසැල්, නිවාස , ජලය, විදුලිය, ආරක්ෂක අංශ අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත ලබා දීම ආදී කරුණු ප්‍රධාන තැනක් ගන්නා බව ඇය පෙන්වා දෙයි.

 කෙසේ වෙතත් 2009 වසරේ සිටම නැවත පදිංචි කිරීම ආරම්භ විය.. එම වර්ෂයේ සිට 2017 දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුල පවුල් 43155 කට අයත් පුද්ගලයන් 135292 ක් නැවත පදිංචි කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ දත්ත පෙන්වා දෙයි.

 ‍මේ අතර නැවත පදිංචි කර ඇති පවුල් අතරින් 81 ක්, දැනට තම ඥාතීන් සමඟ හෝ වෙනයම් ස්ථානවල තාවකාලිකව පදිංචි කර ඇති අතර ඒ අය තම මුල් පදිංචි ස්ථාන කරා යාමට බලාපොරොත්තුවෙන් සිටිති.

 

2009 – 2016 අතර කාලය තුල පවුල් නැවත පදිංචි කර ඇත්තේ පහත අයුරිනි.
table 1
( බන්ධනාගාර පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ දත්ත ඇසුරිණි)

2009 සිට 2017 දක්වා කාලය කාලය සැලකූ විට වැඩිම ජනගහනයක් නැවත පදිංචි වී ඇත්තේ 2010 වසරේ බව පෙනී යයි. එම පවුල් සංඛ්‍යාව අනුව 18889 ක් වන අතර ජන සංඛ්‍යාව බැලූ විට එය 55188 ක් වෙයි. 2010 වසරින් පසු නැවත පදිංචි වූ පුදගලයන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවී ඇතැයි පහත ප්‍රස්ථාරයෙන් පැහැදිලි වෙයි.

graph 1


( බන්ධනාගාර පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ දත්ත ඇසුරිණි)

2010 වසරේදී වැඩිම පිරිසක් නැවත පදිංචි වීමට බලපෑ හේතු පිලිබඳව විමසීමේදී මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයෙකු පැවසුවේ,

‘යුද්දෙ අවසන් කාලෙ අවතැන් වූ ජනතාව හිටියෙ වව්නියාවෙ, මැණික් ෆාම් ඇතුළු අනාථ කඳවුරු වල. ඒ අය කඳවරුවල ඉන්න කැමති වුනේ නෑ. යුද්දෙ ඉවරවෙනවත් එක්කම බොහෝ දෙනෙක් ආපහු ඇවිත් පදිංචි වුනා. ’ යනුවෙනි.

ආරක්ෂක අංශ අත්පත් කර ගෙන ඇති ඉඩම් ආපසු ලබාදීමේ ඇති වී ඇති ගැටළු, නැවත පදිංචි කිරීමට සෘජුව බලපාන බව මාධ්‍ය වෙත නම හෙළි නොකිරීමේ පොරොන්දුව මත අප වෙත කරුණු දැක්වූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරියක් විසින් හෙලිකළාය.

ඇය පවසන පරිදි, පසුගිය කාලය තුළ නැවත පදිංචි කිරීම සිදුවූයේ ආරක්ෂක අංශ අත්පත් කරගෙන තිබුණු ඉඩම් නැවත ලබා දීමට සමාගාමීවයි. එසේම හමුදාව අත්පත් කරගෙන ඇති ඉඩම් ආපසු ලබා දෙන තුරු නැවත පදිංචිය සිදු කිරීමට අදාළ ආයතන බලා සිටිය යුතු බවද ඇය හෙළි කළාය.

මේ අතර ආරක්ෂක අංශ අත්පත්කරගෙන සිටින ඉඩම් සම්බන්ධයෙන් පෙන්වා දෙන දත්තවල නිවැරදිතාවය ගැටළු සහගත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අදහස් දක්වමින් කර්නල් ජයන්ත පෙරේරා මහතා කියා සිටී.   ආරක්ෂක හේතු මත නිවැරදි දත්ත නිකුත් කිරීම ගැටළු කාරී විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

කෙසේ නමුත් තොරතුරු ලබා ගැනීම නීතිය යටතේ 2017 සැප්තැම්බර් මස 20 වෙනි දින මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු වලට 2009 සිට 2017 දක්වා කාලය තුල ආරක්ෂක අංශ අත්පත් කරගෙන ඇති ඉඩම්වලින් අක්කර 1924.35 ක් ජනතාව වෙත නැවත ලබා දී ඇත. එසේම එදින වන විට තවත් අක්කර 2265 ක් ජනතාව වෙත ලබා දීමට ඉතිරිව තිබේ. කෙසේ වෙතත් 2017 දෙසැම්බර් 31 වෙනිදා දක්වා තොරතුරු ලබා ගැනීමට තොරතුරු පනත යටතේ ආරක්ෂ අංශ විසින් නැවත ජනතාවට ලබාදීමට නියමිත ඉඩම් පිළිබඳව බන්ධනාගාර පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංයෙන් 2018 ජනවාරි මස 04 වෙනිදා විමසීමේදී දන්වා සිටියේ නැවත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 424.47 ක් බවයි.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල දත්ත අනුව ආරක්ෂක අංශ අත්පත් කර ගෙන ඇති ඉඩම්වලින් 54% ක් නැවත මුදා හැරීමට තිබේ.. නැවත මුදා හැරීමට ඇති ඉඩම් අතර රජයට අයත් අක්කර 1087.31 ක් ද පෞද්ගලික ඉඩම් අක්කර 1177 ක් ද පවතී.

මෙම නැවත ලබා ගැනීමට ඇති ඉඩම් අතර ඉහතින් සඳහන් කළ නැවත තම මුල් ස්ථානවල පදිංචියට බලා සිටින පවුල් 81ට අයත් ඉඩම්, තම මුල් ඉඩම් අමතක කර දමා වෙනත් ස්ථානවල පදිංවි වූවන්ගේ ඉඩම්, නැවත පදිංචිය අවසන් කර ඇති අයගේ ගොවි ඉඩම්, අයිතිය තහවුරු නොකළ ඉඩම් ( ඉඩම් අයිතිකරුවන් යුද්ධයේදී මියා යාම හෝ වෙනත් කරුණු මත අයිතිය තහවුරු නොවීම) පවතින බව අප වෙත කරුණු හෙළිකළ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

මේ අතර නැවත පදිංචි කිරීමේ ගැටළු සම්පූර්ණ වුනත් නිවාස ගැටළු විසදා ඇත්තේ 61% කගේ පමණි.

2017 සැප්තැම්බර් 20 වෙනිදා දක්වා නිකුත් කර ඇති දත්ත වලට අනුව නිවාස 22189 ක් අලුතින් ඉදිකර ඇති අතර නිවාස 3762 ප්‍රතිසංස්කරණය කර දී තිබේ.. ඉතිරි නිවාස 39% අලුතින් ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණයට ඉතිරිව තිබේ. මේ සඳහා මූල්‍ය වියදම් දරනුයේ ශ්‍රී ලංකා රජය, ඉන්දියානු රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනිකුත් රාජ්‍ය නොවන සංවිධානය විසිනි.

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් මුල්ලෙවයික්කාල් ගමට 2016 අග භාගයේ සිට නැවත පදිංචියට පැමිණි, එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව වැඩ කටයුතු සිදුකළ තැනැත්තියක් වන රාදා පද්මනාදන් ඇයට පවතින ගැටළු අප හා පවසා සිටියේ මෙසේය.

‘මම නැවත පදිංචියට ආවෙ 2016. නැවත පදිංචි වුනාට අපට හුගක් ගැටළු තියෙනවා. අපි ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නෙ. අපි වවනවා විකුණගන්න විදිහක් නෑ. සුළු ගානක් තමයි ලැබෙන්නෙ. හමුදාව ගොවිපොලවල් දාලා නිසා අපේ වගාවන්ට නිසි මිලක් ගන්න බෑ ඒ අයගෙ නිෂ්පාදන සමග අපට තරඟ කරන්න වෙලා. අපට වෙන මොකුත් ආදායමක් නෑ. ගොවිතැන විතරයි’

‘මගේ සහතික ඔක්කොම යුද්දෙදි නැතිවුනා. එම සහතික ගන්න එකත් ලේසි නෑ. ඒවා ගන්න හරි කරදර. ලියකියවිලි නැතිව රස්සාවකටවත් ඉල්ලන්න බෑ.
රාදාගේ සොයුරිය තමලිනී අප සමග කියා සිටියේ,

‘යුද්දෙන් අවතැන්වෙලා අපි හිටියෙ මැණික් ෆාම්වල. මට දරුවන් 2 ක් ඉන්නවා. ඒ අයට තුන් වේලම කන්න දෙන්න මට පුළුවන් කමක් නෑ. පෝෂණය කෙසේ වෙතත් රොටී කැල්ලක් දවසට දෙවතාවක්වත් දෙන්නෙ කොහොමද කියල තමයි මම බලන්නේ? යනුවෙනි.

නැවත පදිංචි පවුල්වලට ගැටළු රැසක් ඇත. ඒවා විසඳීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති ආකාරය පිළිබඳව විමසීමට බන්ධනාගාර හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට අප කරන ලද උත්සාහයන් ව්‍යර්ථ විය.

- කුමී විජේවර්ධන -

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment