ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා කිලිනොච්චියේ පැවති ශ්‍රි ලංකා නාට්‍ය සංසදයේ (Forum Theatre) හතරවැනි වැඩසටහන ආමන්ත්‍රණය කරමිනි. මෙම නාට්‍ය කවයට මන්නාරම, වව්නියාව,කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රීක්කවලින් තරුණ තරුණියන් හා දරුවන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ අතර ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතාවන් හා කලා හැකියාවන් ප්‍රදර්ශනාත්මක හා දෘශ්‍ය කලා මාධ්‍යයක් ලෙස නාට්‍ය නිර්මාණ මගින් එළිදැක්වීමට අවශ්‍ය වේදිකාවක් මෙම සංසදය මගින් නිර්මාණය කර තිබුණි.
නාට්‍ය වැඩසටහන් පිළිබඳ ශ්‍රී ලංකා සංසදය විසින් දරුවන් හා තරුණ තරුණියන් යනු නිර්මාණාත්මක, විචාරශීලී චින්තනය සහිත, නවමු අදහස් සහිත නිදහස් අදහස් හා සන්නිවේදන කුසලතා සහිත ප්රජාවක්ය යන්න මැනවින් හඳුනාගෙන තිබීම නිසා විවිධත්වයට ගරුකරන හා බහු අදහස් හා ජාතිකත්වයන්ට ගරුකරන ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ කාර්යය දරුවන් හා තරුණ ප්‍රජාව මගින් ගොඩනැගීමේ අරමුණින් යුතුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. නව නිර්මාණ හා නාට්‍යයම කුසලතා වර්ධනය කිරීම මෙන්ම සුන්දර රටක් නිර්මාණය කිරීමේ ප්‍රාථමික හා ආරම්භක ප්‍රජාවක් ලෙස දරුවන් යොදාගන්නේ කෙසේද යන්න මෙවැනි වැඩසටහන් මගින් අර්ථවත් වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා පැවසීය.
වර්තමානය වන විට දරුවන්ගේ හා තරුණ ප්‍රජාවගේ හඬ, ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඇසීමට, බැලීමට අවශ්‍ය සමාජ දේශපාලනික පරිසරයක් නිර්මාණය කිරීමේ පසුබිමක් ගොඩනැගෙනු දැකිය නොහැකිය. එහෙත් විවිධ ජාතිකත්වයන්ට, විවිධ සංස්කෘතික අනන්‍යතාවන්ට, යුක්තියට ගරුකරන හා ඒවා ප්‍රවර්ධනය කරන ප්‍රජාවක් නිර්මාණය කළ හැක්කේ දරුවන් හරහාය යන්න වටහාගත යුතුය. සමාජ ප්‍රශ්න හදාරන්නට හා ඒවාට විසඳුම් සෙවීමට තරුණ ප්‍රජාවට අවස්ථාවක් ලැබිය යුතුය, හිසංනයක් පීඩාවත් ඇති නොවන ආකාරයට සාමකාමීව සමාජ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය පරිසරයක් දරුවන්ට නිර්මාණය කර දිය යුතුය.
මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංවර්ධන මාධ්‍යෙව්දීන්ගේ සංසදය විසින් ඉහත කී දිස්ත්‍රීක්ක හතරක පාසල් 40ක් සමග සම්බන්ධ වෙමින් මේවන විට තරුණ කලාකරුවන් 48 දෙනෙකු පුහුණු කරමින් කලඑළි දක්වා ඇත. මෙම පුහුණු කලාකරුවන් 48 දෙනා අතර තරුණියන් 16 දෙනෙකු සිටීමට විශේෂත්වයක් වන්නේ මෙවැනි පළාත්වල තරුණියන්ට තම අදහස් , නිර්මාණාත්මක හැකියාවන් සමාජගත කිරීමට ඇති අවකාශය අඩු නිසාය. මෙම කලා ශිල්පීන් තමන් ජීවත්වන සමාජය ආරක්ෂාකාරී හා නිදහස් ස්ථානයක් කිරීමේ අරමුණින් තම කාලය හා දක්ෂතාවය කැපකරන්නේ කිසියම් අරමුණක් පෙරදැරි කරගෙන වීම තවත් විශේෂත්වයකි.
කිලිනොච්චියේ සිට පැමිණි වී. කතිෂ්වරන් පැවසූයේ මෙම වේදිකාව ඔහු තුළ බහුවිධ සමාජ විවිධත්වයන් පිළිබඳ තේරුම්ගැනීමට හා ඒවා තම ජීවිතයට අන්තර්ග්‍රහණය කරගැනීමට උදවු වූ බවයි. එමෙන්ම “හඬක් රහිත මිනිසුන්ට සමාජය වෙනුවෙන් හඬක් නැගීමට මෙය කදිම අවස්ථාවක් වන අතර මම ද එම හඬවල් වලින් එකක් වන” බවයි. එක හා සමාන මානසිකත්වයෙන් හා ආකල්ප වලින් යුක්ත තරුණ ප්‍රජාවක් සමග එක්ව සමාජය වෙනස්ම තැනක් බවට පත්කිරීමේ විශ්වාසය හා ධෛර්යය මෙම සංසදය මගින් ඇයට ලැබුණ බව පැවසූයේ මන්නාරමේ සිට පැමිණී මේරි ස්ටෙලා තරුණියයි.
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලයය හා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සමග එක්ව ශ්‍රී ලංකා සංවර්ධන මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් මෙම වැඩසටහන දියත් කළ අතර උතුරු පළාත් අධ්‍යාපන,සංස්කෘතික කටයුතු, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සමාජ විරොධී ක්‍රියාකාරකම් මැඩලීමට අවශ්‍ය දැනුම, සංවේදීභාවය හා විවිධ සමාජ කණ්ඩායම් හා වටිනාකම් අනෙකා අතර බෙදාගැනීමට නම් දරුවන්ට පාසල් කාලයේ සිටම අවශ්‍ය පෙළඹවීම හා දැනුම ලබාදිය යුතු බවයි.
පශ්චාත් යුද සමාජ ක්රමයක ජීවත්වන මිනිසුන් ලෙස අවශ්‍ය නිදහස තිබුණද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි සමාජ විරෝධී ක්‍රියාකාරකම් මගින් තරුණ ජීවිත විනාශවන බවත් මෙම නාට්‍ය කවය මගින් තමන්ට තමා සතු වගකීම්, තම දෙමව්පියන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් යනාදිය නැවත වරක් සිහිපත් කරදුන් බවත් තමන් සමග මෙම කවයට පැමිණි අනෙකුත් සහෝදරයින්ද එලෙස සිදුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් පැවසූයේ මන්නාරම අදම්බන් මධ්‍ය මහා විද්‍යාලයයෙන් පැමිණි ජී.නිශාන්තන් ශිෂ්‍යයාය. මෙම කවයේ ඇති විශේෂත්වය නම් බොහෝ තරුණ ශිෂ්‍යයන් තමන් විසින් සඟවාගෙන සිටි හා ලොවට කියාපෑමට අපොහොසත් වූ බොහෝ දේ පැවසීමට තරම් නිර්භීත වීමයි. අඩුම තරමේ ඔවුන්ගේ ගුරුවරුන්වත් සමීප මිතුරන්වත් නොදැන සිටි යම් යම් දේවල් මෙම කවය හමුවේ නිරාවරණය කිරීමට තරම් ඔවුන් අභිප්‍රේරණය වී තිබීම වැඩසටහනේ සාර්ථකත්වය කියාපායි. ජාතීන් අතර ඇති අර්බුදය හෝ වාර්ගික ගැටුම් පිළිබඳ වැඩිහිටි මනස වෙනස්කිරීම එක්වරම අපහසු විය හැකිය. එහෙත් දරුවන්ට කෙසේ හෝ එය කළ හැකි වනු ඇත. වර්තමානය වනවිට ශ්‍රී ලංකා සංවර්ධන මාධ්‍යවේදීන්ගේ සංසදය නාට්‍ය සංසද, තාරුණ්‍යය හා සාමය ගොඩනැංවීම පිළිබඳ අත්පොතක් සකස් කරමින් සිටින අතර එමගින් සමාජ වෙනසක් හා විවිධ අනන්‍යතා පිළිගැනීමට හා ප්‍රවර්ධනය කිරීමට හැකි පරිසරයක් නාට්‍ය කලාව ඔස්සේ ගොඩනැගීමට තරුණ ප්‍රජාවට හා දරුවන්ට අවස්ථාව සැලසෙනු ඇත. ශ්‍රී ලංකා සංවර්ධන මාධ්‍යවේදීන්ගේ සංසදය සමග ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේතුව මෙම වැඩසටන් සඳහා අත්වැල් බැඳගෙන ඇත.
- තුෂාර මනෝජ්
0 comments :
Post a Comment