
මුස්ලිම් ජාතික දැරියන් දෙදෙනෙකු දෙමළ බාලිකාවට ඇතුළත් කර ගැනීමට නොහැකි වීම මත මෙම සිද්ධිය හට ගෙන තිබුණි. එම දරුවන් ඇතුලත් කර ගන්නා ලෙස විදුහල්පතිනියට නියෝග කරමින් මහ ඇමතිවරයා ලබා දුන් ලිපිය විදුහල්පතිනිය විසින් ප්‍රතික්ෂේප කිරීම මහ ඇමතිගේ උදහසට හේතු වී තිබුණි. සිය නිල නිවසට විදුහල්පතිනිය ගෙන්නවා ඇය වැඳ වැටෙන තැනටම මහ ඇමතිවරයා කටයුතු කර ඇත. එපමණකින් නොනැවතී මාධ්‍ය ඉදිරියේද ඇයව අසරණ කරන්නට චාමර සම්පත් ක්‍රියා කර ඇත. කෙසේ වෙතත් විදුහල්පතිනිය විසින් පසුව මාධ්‍ය හමුවේම සිදුවු සියල්ල ප්‍රකාශ කළේය. මෙහි ඌව මහ ඇමතිට සමාවක් නැත. මහ ඇමති වූ පමණින් හිතුන හිතුන දේ කරන්නට ඔහුට බලයක් දී නැත. මිනිසුන්ගේ ආත්ම ගරුත්වය බල්ලට දමන්නට මහ ඇමතිට ඒ පුටුව භාර දී නැත. එහෙයින් සිද්ධිය සම්බන්ධයෙන් මහ ඇමතිවරයාට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට බලධාරීන්ට හැකියාව තිබේ. ඊට මැදිහත් විය යුත්තේද ඔවුන්ය.
එහෙත් දැන් බදුල්ලේ සිදුවන්නේ තුවාලය සුව කිරීම නොව තව තවත් පාරා එය වනයක් කිරීමය. මහ ඇමතිවරයා විදුහල්පතිනිය දණ ගැස්සවිමේ සිද්ධිය දැන් ජාතිවාදී ගැටුමකට අර අදිමින් තිබෙන බව බදුල්ල භූමිය නිරීක්ෂණය කිරීමෙන් හදුනා ගැනීමට හැකිය. එක පැත්තකින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙකී සිද්ධියට අත දමා ඇති අතර අනෙක් පසින් මහ ඇමති සිංහල හා මුස්ලිම් ජනතාව උසිගන්වමින් හිඳියි. තවත් පැත්තකින් ශ්‍රීලනිප එජාප දේශපාලන බල අරගලයේ කට ගැස්මටද බදුල්ල දෙමළ බාලිකාවේ සිද්ධිය හේතු වී තිබේ.
මහ ඇමතිවරයාගේ ක්‍රියාවට විරෝධය දක්වමින් මුලින්ම උද්ඝෝෂණ පැවැත්වුණේ බදුලු වතුකරයේ දෙමළ ජනතාවගේ සහභාගිත්වයෙනි. ඊට වඩිවේල් සුරේෂ් මහතා මුලිකත්වය ගෙන තිබුණි. විරෝධය දැක්වීමේ ප්‍රශ්නයක් නැත. තමන්ගේ මිනිසෙකු වේදනාවට පත් විට අනෙකාටද එය දැනෙන්නට වීම හොඳ දෙයකි. එහෙත් අපි වග බලා ගත යුත්තේ මෙවන් සියුම් කාරණාවන්හිදී ජාතිවාදී හෝ ආගම්වාදී කාරණා මතු කර නොගැනිමටය.
විදුහල්පතිනියගේ සිද්ධිය කිසිදු ජන කොටසකට සිදුවූ අසාධාරණයක් නොවන අතර එහිදී සිදුව ඇත්තේ බල දේශපාලනය විසින් රාජ්‍ය සේවයට හා පොදු ජන සමාජයට කරන බලහත්කාරයයි. තාඩන පීඩනයි. මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ එතැන් සිටය. එහෙත් මේ භූමියට පත්තියන් වී ඇති ත්‍රාඩ දේශපාලනය විසින් සිය එදිරිවාදිකම් පිරිමසා ගැනීම සඳහා ජනතාවද බිල්ලට ගනිමින් හිඳියි.
වඩිවේල්ට විරෝධය දක්වමින් සිය බලය පෙන්වීම සඳහා මහ ඇමැතිවරයාද ප්‍රදේශයේ සිංහල ජනතාව පමණක් යොදා ගෙන උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එය වැලැක් වුණේ මහ ඇමතිවරයාට පොලිසියට භාර වීමට සිදු වූ නිසාය. එහෙත් ඔවුන්ගේ සැලැස්ම වඩා හොදින් කර ගැනීමට පොලිසියට භාර වීමද යොදා ගෙන තිබුණි. ඇප ලබා පැමිණි මහ ඇමතිවරයා පිළිගැනීමට සෑහෙන තරම් ප්‍රමාණයක් පැමිණ සිටි අතර ඔවුහු මහ ඇමතිවරයා පසුපස නිල නිවසටම ගියහ. නිල නිවසට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවා මහ ඇමතිවරයාට පිරිත් නූල් ගැටගැසීමක්ද සිදු විය. මේ, මේ රට දේශපාලනය වැටී ඇති තැන නොවේද?
මේ අතර තවත් සැලසුමක් පිළිබඳ වාර්තා විය. එනම් එළඹෙන සිකුරාදා දිනයේදී මහ ඇමතිවරයාට සහය පළකරමින් හර්තාලයක් පැවැත්වීමය. දෙමළ විද්‍යාලයට මුස්ලිම් දැරියන් ඇතුළත් කර නොගැනීම දෙමළ මුස්ලිම් විරෝධයක් දක්වාත් පෙළ ගැස්වීමට සැලසුම් කර ඇත්තේ එපරිද්දෙනි. මේ විරෝධතා කිසිවක් මිනිසුන්ගේ හදවතින් පැන නැගුණු ඒවා නොවේ. මේ දේශපාලන න්‍යාය පත්‍රයන්ය. නොදනුවත්කම්, සටකපටකම් සියල්ලේ එකතුවක් ලෙස එකී න්‍යාය පත්‍රයට අනුව මිනිසුන්ද නටමින් සිටියි. එය බදුල්ලට පමණක් නොව හැමතැනටම පොදුකාරණයකි.
මහ ඇමතිවරයාට එල්ල වූ දැඩි චෝදනාව හේතුවන් ඔහුගෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යධූරය ඉවත් කර සෙන්දිල් තොන්ඩමන් වෙත පැවරිණි. දැන් නැවත එයටද විරෝධය පළ වන්නේ එම පත් කිරීම කුකුළා මුගටියාගෙන් බේරාගෙන නරියාට භාර දීමක් ලෙස පෙන්වා දෙමිනි.
දේශපාලනය ඉදිරියේ කොන්ද කඩා ගත් අධ්‍යාපන බලධාරීන් නිසා බදුලු දෙමළ බාලිකාවේ විදුහල්පතිනිය මහ ඇමතිවරයා හමුවේ අසරණ වී දණ ගැසීය. දැන් ප්‍රශ්නය විසඳනවා වෙනුවට එය තවත් පතුරුවමින් හිඳියි. දේශපාලන බලය පෙන්වීමේ ක්‍රීඩාවෙන් පරාජය වීමට මේ රටේ දේශපාලකයින්ගේ අකමැත්තට ජනතාවද ඔහේ පාවිච්චි වෙමින් තිබේ. ත්‍රාඩ දේශපාලනයට එරෙහිව වැට බඳිනවා වෙනුවට සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය ගිනි ගන්නා තුරු රාජ්‍ය පාලනයද ඔහේ බලා සිටියි.
මේ අතර ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය පැළඳි දිගම්බරන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් අවධාරණය කළේ මහ ඇමතිවරයා සම්බන්ධයෙන් හා නව දෙමළ අධ්‍යාපන ඇමති ලෙස පත් කළ සෙන්දිල් තොන්ඩමන් සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් නොගන්නේ නම් 31 වැනිදා වන විට ඔවුන්ගේ විරෝධය පුළුල් ආකාරයෙන් පෙන්වන බවයි.
තමන් නියෝජනය කරන ජනතාවට ප්‍රශ්නයක් වූ කල ජනතා නියෝජිතයන් ඊට මැදිහත් වී විසදුමක් දිය යුතුය. ඊට සෙස්සන්ද සහය විය යුතුය. එලෙස එකිනෙකා පිළිබඳව වූ අවබෝධයක් තිබිය යුතුය. එහෙත් අද සිදුවන්නේ සියලුම සිදුවීම සිය බඩගෝස්තරය වෙනුවෙන් යොදා ගැනීමය. වඩිවේල් වඩිවේල්ට අවශ්‍ය ලෙස ජනාතව මෙහෙයවයි. චාමර සම්පත් ඔහුට අවශ්‍ය ලෙස ජනතාව මෙහෙයවයි. මේ තුළ තවදුරටත් ගැටුම උත්සන්න වීම හැර විසඳුමක් ගෙන නොයෙයි. චාමර සම්පත්ගේ ප්‍රශ්නය බදුල්ලෙන් අවසන් විය යුතුය. තවදුරටත් එයට පියාපත් දියයුතු නැත. දශක තුනකට ආසන්න කාලයක් අපි දෙකට බෙදී යුධ වැදුණු භූමියක මිනිසුන් වෙමු. එහෙත් තාමත් එකිනෙකාට ගරු කරන්නට, අවබෝධ කරගන්නට, මනුෂ්‍යත්වයෙන් සැලකීමට උගෙන නැති හැඩය.
දැන්, ජාතිවාදයට ආගම්වාදයට එරෙහිව කොන්දේසි රහිතව පෙනී සිටින දේශපාලනඥයින්ට වැඩක් තිබේ. ඒ චාමර සම්පත් හා වඩිවේල් සුරේෂ් යන දෙදෙනාම දණ ගැස්වීමය.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment