තඹුත්තේගම, නොච්චිකුලම ගම්මානයේ අනංගටින්නා මහතා පාරම්පරික නයි නටවන රැකියාවේ නිරත වන්නෙකි. අභාවයට යමින් තිබෙන සිය පාරම්පරික වෘත්තීය සම්බන්ධයෙන් හද කැකෑරෙන වේදනාව ඔහු අප සමඟ වචන බවට පෙරළුවේ එසේය. ඔහුගේ හඬ වේදනාකාරීය. වචනයක් වචනයක් පාසා සුසුම්ලන්නේ අද ඔවුන් පත්ව ඇති ඛේදජනක ඉරණම මතක් කරමිනි.
මේ සුසුම් අප වෙනුවෙන් නොවේ
අහිකුණ්ඨක කුලය ලෙස හඳුන්වන මෙම ජනතාව ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් සංක්‍රමණය වූ තෙළිගු ජාතිකයන්ගෙන් පැවත එන ජන කොටසකි. මෙරට ඔවුන්ගේ මුල්ම ජනාවාසය වන්නේ කුඹුක්වැව ජනපදයයි. එහි තෙලිගු ජාතික පවුල් 50ක් පමණ මුලින්ම ජනාවාස පිහිටුවාගෙන තිබේ. ජනාවාසගත වූ මේ වැසියන් වෘක්ෂ වන්දනාව, ගිනි දෙවියන් පිදීම, පර්වත වන්දනාව වැනි ස්භාවික වස්තූන් වන්දනා කරමින් ජීවත් වේ. කාලයත් සමඟ විවිධ ආගම් අදහන මොවුන් බුද්ධාගම, කතෝලික ආගම වැනි ආගම් ඇදහීමට යොමුවන මොවුන්ගේ මුල්කාලීන ජීවනෝපාය වන්නේ ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශනය කර මුදල් උපයා ගැනීමයි. බූරුවෙකු පිට බැඳී තවලමක ආධාරයෙන් ගමින් ගමට ඇවිද යන මොවුන් එක් ගම්මානයක ඉදිකරන කූඩාරමක් සිය වාසස්ථානය බවට පත්කර ගනී. එකී කූඩාරමේ දින හතක් රැඳී සිටිමින් අවට ගම්මාන වෙත ගොස් සතුන් ප්‍රදර්ශනය කර දෛනික ආදායම සොයා ගැනීමට පුරුදු වී තිබේ.
ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශනයද අපූරු කතාවකි. ඒ සඳහා ඔවුන් විෂඝෝර සර්පයන්, නාගයන් යොදාගන්නට පුරුදු වී ඇත. රජ කුලය, බමුණු කුලය, ගොවි කුලය, ගැරඩි කුලය, බෙරවා කුලය ආදී කුලවලට අයත් නාගයන් කැලයෙන් අල්ලා ගන්නේ සුදු එළවරා නැමති ඖෂධීය ශාකය උපයෝගි කරගෙන බව ද සඳහන්ය. එසේම පොළගා, පිඹුරා, රිළවා ආදී සතුන්ද ප්‍රදර්ශනය කිරීමට යොදාගත් සතුන් වේ. සතුන් දර්ශනය කිරීම සඳහා යොදාගන්නා නලාව තිත්ත ලබු ගෙඩියක ආධාරයෙන් සාදා ගන්නා මොවුන් එය නයි නලාව නමින් හඳුන්වනු ලබයි. නයි පෙට්ටිය කල වැල් ආධාරයෙන් නිමවා ගන්නා අතර, සියලුම සතුන් එම පෙට්ටිය තුළ බහාගෙන මෙලෙස ප්‍රදර්ශනය කර ඇත.
එතෙක් කාලයක් ස්ථිර බිම් කඩක් නොවූ මෙම වැසියන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිත 1971 වසරේ තඹුත්තේගම කුඩාගම ප්‍රදේශයේ ජන උදා ගම්මානයක් බිහි වන්නේ දිවංගත ආර්.ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවය. ඒ අනුව වර්තමානය වන විට කුඩාගම ඇතුළුව පාඩුපංචියාව, වව්නියාව ඉරට්ටුකලම්, අක්කරෙයිපත්තුව අලිගම්පෙ, මිහින්තලේ, කලාවැව ආදී ප්‍රදේශවල පදිංචි පවුල් 10000ක් පමණ පිරිසක් ජීවත් වේ.
එහි පදිංචියට පැමිණෙන මොවුන් පසුකාලීනව විවිධ තරාතිරම්වල රැකියා තෝරා ගැනීමත් සමග පාරම්පරික සත්ත්ව ප්‍රදර්ශන රැකියාව සීඝ්‍රයෙන් විනාශයේ හිංපෙත්තට ළඟා වෙමින් තිබෙන බව පාරම්පරිකව සත්ව ප්‍රදර්ශන වෘත්තියේ නියැළෙන වැඩිහිටියන් පවසයි. දැනට පවුල් 200ක් මෙම වෘත්තියේ නියළෙමින් ආදායම් උත්පාදනය කර ගන්නා බවද ඔවුන් අපට පැවසීය. සිය පාරම්පරික වෘත්තියේ අනාගත ඉරණම පිළිබඳව අනංගටින්නා මහතා අප සමඟ මෙසේ පැවසීය.
මුල අමතක කරන්නෙ කොහොමද?
"අපි දන්න දා ඉඳලා කළේ සත්තු නටවලා ජීවත්වෙන රස්සාව. මම දැන් බැඳලා, ලොකු දරුවො ඉන්නවා. එයාල සමහර තැන්වලදී වෙනස් තීරණ අරගෙන මිශ්‍ර විවාහ කරගෙන ජීවත් වෙනවා. දැන් දරුවො අපිට නිතරම කියන්නෙ මේ රස්සාව නවත්වන්න කියලා. එයාලට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා කියලයි කියන්නෙ. හැබැයි එයාලා දන්නෙ නෑ, එයාලා කුඩා කලේ පාසල් යැව්වෙ කැව්වෙ පෙව්වෙ මේ රස්සාව කරලා කියලා. ඔන්න ඔතනයි අපේ අයට වැරදුන තැන. අද අපි ජීවත් වෙන්නෙ, අපේ තාත්තලා සීයලා ජීවත් වුණේ මේ රස්සාව කරලා, එයාලා එදා හොඳ ආදායමක් ලැබුවා. ඒ වගේම මේ රස්සාවට හොඳ ඉල්ලුමක් තිබුණා. අද ඒ තත්ත්වය මේ සමාජයෙන් වෙනස් වෙලා මේ රස්සාව තඹයකටවත් ගණන් ගන්නෙ නැහැ."
කුඩාවැව පදිංචි පාරම්පරික වෘත්තිකයෙකු වන එගටංගේ පොඩි මහත්තයා ජීවත් වූයේ, දරු මල්ලන් පෝෂණය කළේ, කුස පුරවා ගත්තේ සත්තු ප්‍රදර්ශනය කරන රස්සවෙනි. එහෙත් තමාගේ බඩවියත රැකදුන් රස්සාවට අද සමාජයෙන් ලැබෙන පිළිකුල්සහගත බැල්මක් බව ඔහු පවසන්නේ දුක දෑසේ සඟවාගෙනය.
අපිව පිළිකුල් කරනවා
"ඉස්සර මේ රස්සාවට හොද ඉල්ලුමක් තිබුණා. නමුත් අද වෙද්දි මේ රස්සාව හැමෝම පිළිකුල් එකක් කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි, අද අපිට සත්තු නඩත්තු කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. රජයෙන් සත්තුන්ට බල පත්‍රයක් ගන්න ඕනෙ. ඒකට ලොකු මුදලක් දරන්න සිද්ධ වෙනවා. තව පැත්තකින් සත්තුන්ට ලෙඩ රෝග හැදුනාම වෙදකම් කරන්න ඕනෙ. එව්වටත් විශාල මුදලක් යනවා. සතෙක් ප්‍රදර්ශනය කරලා අපිට ලොකු ගාණක් අතට එන්නෙත් නැහැ. අනෙක් කාරණේ...." යැයි පවසමින් ඔහු සිය කතාව මදකට නතර කළේය.
"අනෙක් කාරණේ.." කුමක්දැයි මම නැවතත් ඔහුගෙන් විමසා සිටියෙමි.
"දැන් අපේ ළමයි ලොකු ලොකු රස්සා කරනවා. තව සමහර ළමයි ඉගෙන ගන්නවා. ඉතිං අපි නයි නටවන ඒක එයාලට ලොකු අවනම්බුවක්. ඒ වගේම ලොකු ලැඡ්ජාවක්. මොකද අපේ ජාතියෙ අය එක්ක නෙමෙයි අපිට අද ගැටෙන්න වෙලා තියෙන්නෙ. එක එක අය ඉන්නවා. එයාලා රස්සාව බාල්දු කරනවා. තව සමහරු අපිට අහිකුණ්ඨකයන් කියනවා. මෙන්න මේ වගේ වැඩ නිසා අද අපිට රස්සාව එපා වෙලා තියෙන්නෙ. ඒ නිසා අපි දැන්වෙන වෙන රස්සා හොයාගන්න වෙලා තියෙනවා. දැන් ඉන්න කොල්ලන්ට කීවොත් නයි නටවලා හම්බකරන්න කියලා උන් හිනා වෙනවා. මොකද එයාලට මේක ලොකු ලැඡ්ජාවක්. තව අවුරුදු තුන හතරකින් අපිත් මැරිලා ගියාම මේ රස්සාව මෙතනින්ම සදහටම නවතීවි."
නොච්චිකුලම පදිංචි පාරම්පරික වෘත්තිකයෙකු බිරිඳක් අප සමඟ දොඩමලු වූවාය.
"අපිට කන්න බොන්න කියලා ලොකු ආදායමක් නැහැ ඉස්සර අපේ මහත්වරු පිට පළාත්වලට ගිහිල්ලා සත්තු නටවලා ලොකු ආදායමක් ගත්තා. හැබැයි ඒක දැන් වෙනස් වෙලා. මේ රස්සාව කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ දරුවො කැමැති නැහැ. තව දෙයක් තමයි මේ රස්සාව අද සමාජයෙන් පිළිකුල් කරනවා. ඔය හේතු නිසා අද අපිට ජීවත් වෙන්න බැරි පසුබිමක් හැදිලා තියෙනවා. අපි බලධාරින්ගෙන් ඉල්ලන්නෙ අපිට අපේ නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න කියලා."
අවසනදී අප ගොඩවැදුනේ සියඹලාගස්වැව පදිංචි කාලිඅම්මාගේ නිවසටයි. එදා යුද්ධයෙන් අසරණ වූ ඇය අද ඉන්න හිටින්නට තැනක් නොමැතිව අසරණව සිටී. මේ ඈ අප සමඟ පැවසූ දෑය.
දුක මිස සතුටක් නැති ජීවිතේ
"අපි යුද්ධෙ කාලේ හොදටම අසරණ වුණා. දැන් අපි තවත් අසරණ වෙලා ඉන්නෙ. අපිට ඉන්න ගෙයක් දොරක් නැහැ, කන්න බොන්න විදියක් නැහැ, කාටවත් ස්ථීර රස්සාවක් නැහැ, ඒ විතරක් නෙමෙයි බොන්න වතුර ටිකක් නැහැ, වැසිකිළියක් නැහැ, ළමයෙකුට ඉස්කෝලයක් නැහැ. අපි ජීවත් වෙන්නෙ තාමත් ගල් යුගයෙ මිනිස්සු වගේ. අපිට අපේ අයිතීන් ලබා දෙන්නෙ නැති හේතුව අපි දන්නෙ නැහැ. මොකද අපිත් කැමතියි මේ සමාජයෙ අනෙක් අයට ලැබෙන අයිතිවසිකම් අපිටත් ලැබිලා අනෙක් මිනිස්සු වගේම ජීවත් වෙන්න. ඒකට මේ සමාජයෙ අපිට ඉඩක් නැහැ. කවුරුත් අදටත් අපිට කියන්නෙ අහිකුණ්ඨකයො කියලා. අපි ඒ නමට කොහෙත්ම කැමති නැහැ. මොකද අපි ඉන්දියාවේ ඉඳලා පැවතගෙන එන ජාතියක් ඒ තමයි තෙලිගු ජාතිකයන්. අද අපි මේ සමාජයෙන් කොන් වෙලා ඉන්නෙ. අපිට මේ ගැන දුකක් මිස සතුටක් නැහැ.
සටහන සහ සේයා රූ
කේ.ප්‍රියංකර - පුත්තලම
0 comments :
Post a Comment