
එහෙයින් ප්‍රමාද වී හෝ විශ්වාසයේ මාවතට සියල්ලන්ම හැරිය යුතුය. ජාතික,ආගමික,කුලගෝත්‍ර අනන්‍යතා පසෙකලා මනුෂ්‍ය අනන්‍යතාව පිළිගැනීමට චින්තනය වෙනස් කර ගත යුතුය. ඒ උදෙසා වූ මාධ්‍ය කාර්ය භාර්යයේ තවත් පියවරක් ලෙස අපි වල්පොළ රාහුල ආයතනයේ සභාපති කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සමඟ සම්මුඛ වූයෙමු.
බොහෝ විට ආගමික ස්ථානයකට ඇතුළු වන ස්ථානයේ අපේ ඇස ගැටෙන්නේ "පාවහන් ,හිස්වැසුම් ගලවා ඇතුළුවන්න" යන දැනුම් දීමය. මේ පොදු ව්‍යුහයෙන් ඈත් වුණු වල්පොළ රාහුල ආයතනය, ඊට ඇතුළු වන ස්ථානයේම දක්වා ඇත්තේ බොහොම අපූරු දැන්වීමකි.
"උපත් මත බොහෝ විට තීරණය වූ ජාතිය,ජනවර්ගය,ආගම,කුලය සහ ලිංගික අනන්‍යතාව වැනි අනන්‍යතාවලින් හැකි තරම් මිදී මෙම භූමියට ඇතුළු වන්න."
රාමුගත වී ඇති චින්තනය වෙනස් කිරීමට, අපිට අපි ගැන කියවා ගැනීමට මෙය කදිම මඟපෙන්වීමකි. ඒ නිසාවෙන්ම අපි අපේ සාකච්ජාවට ප්‍රවේශය උක්ත උදෘතයෙන්ම සපයා ගත්තෙමු.
මේ පීඩාව ආරම්භ වෙන්නේ අද ඊයේ නෙවෙයි එහි මූලයන් විදෙස් ආක්‍රමණික යුගය දක්වාම දිව යනවා
ඉතිහාසයේ පටන් ලද අමිහිරි අත්දැකීම්, අවිශ්වාසයන් සමාජයක් ලෙස අප පීඩාවට පත් කර තිබේ. එකී තුවාල සුවපත් කිරීම වෙනුවන් වූ වැඩපිළිවෙලක් නොවුණු නිසාවෙන්ම තවදුරටත් එම තුවාලවල වේදනාවෙන් පසුවන්නෙමු. වරින් වර මතුවන්නේ එකී වේදනාවන්ය. කන බොන දේ සිට හුස්ම ගැනීම පවා තීරණය කරන දේශපාලනය එම වේදනාවන්ට සැබෑ ප්‍රතිකාර සොයනවා වෙනුවට සිය පැවැත්ම වෙනුවෙන් තවදුරටත් එය යොදා ගනිමින් හිඳියි. මෙවන් පසුබිමක ජාතිය, ආගම මත වූ බෙදා වෙන්වීම තවදුරටත් ශක්තිමත් වීමක් මිස ඊට අභියෝගයක් එල්ල නොවනු ඇත.
මංකොල්ලකාරී අවස්ථාවාදී දේශපාලනයට මේ ව්‍යාධීන් සුවපත් කිරීමේ අවශ්‍යතාවක් නැහැ
බොහෝ පීඩාවන්, විඳදරාගැනීම් වලින් පසුව 2015 ජනවාරි 08 දේශපාලන වෙනසක් වෙනුවෙන් ජනතාව බලාපොරොත්තු රැසක් සමඟ පෙළ ගැසුණි. එහෙත් අද එය නැවත නැවතත් සංවාදයට ලක්ව ඇත්තේ එකී වෙනස වෙනුවෙන් සැබෑ වුවමනාවකින් දේශපාලන අධිකාරිය මැදිහත් වුයේද යන්න පිළිබඳවයි. නැවත වටයකින් ජනතාව දේශපාලන මංකොල්ලයකට හසු වූවා මිස බලාපොරොත්තු ඉටුවීම කෙසේවෙතත් එහි සේයාවක් හෝ නොපෙනෙන තත්ත්වයකට පත්ව තිබේ. මෙවැනි වටපිටාවක පළුදු වූ විශ්වාසයන් පිළිසකර වන්නේ කෙසේද? එය කිසිදිනෙක රජයක් විසින් නොකරන බව දැන් ප්‍රත්‍යක්ෂ කාරණයකි.
දැන් වෙන්නේ රිපෝට් හදන එක
"මට පෙනෙන්නේ නැහැ ඔය කියන වඩා හොඳ රටක් හදන්න තියෙන උත්සාහයන් අවශ්‍ය තරම් කැපවීම් සහිත උත්සාහයන් නෙවෙයි......... දැන් වැඩමුළු තියන්නේ සංහිඳියාව හදන්න නෙවෙයි රිපෝට් හදන්න...........මනුස්සයෙක් ඒකට එකතුවෙන්න ඕනේ කැක්කුමකින් අපේ ප්‍රශ්නයක් කියන හැඟීමෙන්. ඒක නෙවෙයිනේ දැන් වෙන්නේ........."
ඉස්ලාමයේත් ප්‍රශ්න තියෙනවා - වැදගත් වෙන්නේ ස්වදේශීය වීම
මේ මොහොතට අදාළව බෞද්ධාගමික අන්තවාදය මෙන්ම ඉස්ලාම් ජන කොට්ඨාසයේත් ප්‍රශ්නයක් තිබේ. ප්‍රශ්නය වටහා ගැනීමට මෙම සියලු තත්ත්වයන් අවබෝධ කර ගත යුතුය. ප්‍රායෝගිකව සියලු දෙනා වෙතින් සිදුව ඇති වැරදි නිවැරදි කර ගැනීම අවශ්‍ය වෙයි. වසර 20ක් 30ක් පුරා ගෙන ආ සැකයේ, අවිශ්වාසයේ බීජයන් ඉවතලෑමට නම් සියලු ජන කොටස් සිය දුර්වලතා, වැරදි තීන්දු තීරණ සම්බන්ධයෙන් නැවත කියවීමක් කර ගත යුතුය.
සමඟියට එහා ගිය සුවපත්විමකට යා යුතුයි
තිස් වසරක සන්නද්ධ ගැටුමක් නිමා වුවත් මතවාදී වශයෙන් බිඳුණු සිත් යා කර ගැනීමට අපට තවමත් හැකි වී නැත. අපට තවදුරටත් අවශ්‍යව ඇත්තේ පහර දී යටත් කර ගැනීමේ අවශ්‍යතාවයි. සමාජයක් ලෙස අප සැරිසරමින් හිදින්නේ සතුරන් සොයමින්ය. මේ ව්‍යාධිගත සමාජය තුළ අපි සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් තෝරා ගෙන ඇති මාර්ග නිවැරදිද? අපි චින්තනය මෙහෙයවන ආකාරය නිවැරදිද? නැවත නැවතත් සිතා බැලිය යුතු වෙයි.
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment