
එකම බලාපොරොත්තුව ගොවිතැන
බදගිරියේ බොහෝ දෙනකුගේ ජීවනෝපාය වෙන්නේ ගොවිතැනයි. එහෙත් 2017 වර්ෂයේ යල කන්නයේදී බදගිරිය වැව ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් ගොවිතැන් කටයුතු සිදු කරගැනීමට නොහැකි විය. නමුත් එම දුෂ්කරතා මධ්‍යයේ වුවද ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වූයේ 2017/2018 මහ කන්නයේ හෝ වගා කටයුතු කර තමන්ගේ ගොවිතැන සරු කරගැනීම තුළින් ආර්ථිකය ශක්තිමත් කරගැනීම බව එම ගොවීහු පවසති.
පොහොර සහනාධාරය තවමත් නැහැ
ඔවුන් පවසන්නේ එවැනි පසුබිමක සිය ගොවිතැන් කටයුතු සඳහා රජයෙන් ලැබෙන පොහොර සහනාධාරය ශක්තියක් වන බවයි. එහෙත් මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු සිදුකර අස්වනු නෙළා අවසන් වන තුරුත් බදගිරිය අංක 03 ගොවි සංවිධානයේ කුඹුරු අක්කර 200කට වඩා අස්වද්දන ගොවීන් 64 දෙනකුට පමණ මේවන තෙක් තමන්ට ලැබිය යුතු පොහොර සහනාධාරය නොලැබුණ බව ඔවුහු කියා සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදගිරිය ගොවි සංවිධානයේ ගොවීන් මෙසේ අදහස් දැක්වීය.
පොහොරත් නැහැ සහනත් නැහැ
ආරියසේන ගොවි මහතා,
"පොහොර සහනාධාරය අහිමි වූ ගොවින් අතර කෙනක් තමයි මම. අපිට ගිය යල කන්නයෙත් ගොවිතැන අහිමි වුණා. දැන් මේ මහ කන්නයේ අපි ගොවිතැන් කළත් පොහොර ටික ගන්න අපිට මුදල් නැහැ. අපි ණය වෙලා තමයි පොහොර ටික ගත්තේ සහනාධාරය බලාගෙන. නමුත් ඒකත් අපිට අහිමි වුණා. අපෙන් පොඩි වරදක් හරි වුණානම් ඔය නිලධාරින් අපිට නොයෙක් කරදර කරනවා. නමුත් නිලධාරීන්ගෙන් ජනතාවට සිදුවන අසාධාරණ ගැන ඉහළ නිලධාරින් සොයා බලා දඬුවම් දෙන්නේ නැහැ.''
නිලධාරීන්ගේ වරදට වන්දි ගෙවන්නේ අපි
ඩබ්ලිව්.ඒ. විලින්ටන් ගොවි මහතා,
''අපිට අවශ්‍ය පොහොර සහනාධාරය ලැබෙන්න තිබුණේ මිට මාස කීපයක කලින්. නමුත් දැන් ගොයම් කපන්නත් ළඟයි. පොහොර සහනාධාරය අපිට ලැබුනේ නෑ .අපි අපේ පොහොර සහනාධාර ඉල්ලුම් පත්‍රය 2017.12.12 දින ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරියට ලබා දුන්නා. එතුමිය බදගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අදාළ නිලධාරීවරයාට එම ඉල්ලුම්පත් යොමු කර තිබෙනවා. නමුත් අමතක වෙලා එය ඒ ඉල්ලුම්පත් ලාච්චුවේ තියාගෙන ඉඳලා. එතකොට පොහොර සහනාධාරය ලබා දිය යුතු කාලය නිමවෙලා. එම නිලධාරීන්ගේ වරදට අද වන්දි ගෙවන්නේ අහිංසක අපි''
හැමදාම ගොවියා රවට්ටනවා
කේ.ජි. ඇල්බට් ගොවි මහතා,
"අපි බැංකුවෙන් පොලියට අරන් කඩවලට ණය වෙලා තමයි පොහොර ටික ගහ ගත්තේ. අපිට අවශ්‍ය මේ මුදල් ටික පුළුවන් ඉක්මනට ලබාදෙන්න කියල තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි දිසාපති ගාවටත් ගියා. ගොවිජන සේවා කාර්යාලයට ගියාම ඉක්මනට ලබාදෙනවා කියලා ඒ අය කියනවා. ඒත් හැමදාම ඒ අය එහෙම කියලා ගොවියා රවට්ටනවා.''
අතපසුවීම වුණේ අපෙන් නෙවෙයි
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඩී.සී.ඒ. ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කර සිටියේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී මේ පිළිබඳව තීරණයක් ගත් බව සහ පොහොර ලේකම් කාර්යාලයට ඒ ගැන යොමු කිරීමට කටයුතු කළ යුතු බවයි.
එසේම ඒ අයුරින් අතපසුවීම් නිසා ගොවින් 163 තුනක් පමණ හම්බන්තොට සිටින බවද ඇය අවධාරණය කළේය. මේ ආකාරයෙන් නිලධාරීන්ගෙන් සිදුවන අතපසුවීම් ගැන තමන් අමාත්‍යංශ නිලධාරිනයක බැවින් තමන් හට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් එය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සිදු කළ යුතු කාර්යයක් බව ඒ මහත්මිය පවසා සිටියාය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
0 comments :
Post a Comment