
මේ වන විට රන් පදක්කම් 33ක් රිදී පදක්කම් 26ක් හා ලෝකඩ පදක්කම් 28ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගන්නනට සත්කාරක ඕස්ට්‍රේලියානුවන් සමත්ව හිඳියි. එංගලන්තය දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ රන් පදක්කම් 19ක් රිදී පදක්කම් 20කා ලෝකඩ පදක්කම් 12ක් තමන් සතු කරගනිමිනි. අසල්වැසි ඉන්දියානුවන් රන් පදක්කම් 08ක් රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 05ක් දිනා ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 03 වන ස්ථානයේ රැඳී සිටින්නේ ආසියානු කලාපයේ ඉදිරි පෙළ අත්පත්කර ගනිමිනි.
ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විට රිදී පදක්කම් 01ක් හා ලෝකඩ පදක්කම් 02ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 17 වැනි ස්ථානයේ පසුවෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය දරන රටවල් 71ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි ක්‍රීඩා ගම්මානයේදී එකිනෙකා හමුවන අතර ක්‍රීඩා 19ක ඉසව් 275ක් එහිදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේය. කෙසේ වෙතත් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අපේක්ෂා කළ පරිදි චින්තනට පදක්කමක් ලබා ගැනීමට නොහැකි වූ අතර ඔහු 05 වෙනි ස්ථානයට පත් විය.
ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 132 ක් එසවූ චින්තන, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 166 ක් එසවීය. එහිදී ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 298 කි. චින්තනට පදක්කමක් කරා යෑමට නොහැකි වූයේ ස්නැච් ක්‍රමයට කිලෝගෑම් 135 එසවීමට ගත් උත්සාහය මෙන්ම ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 168 ක් එසවීමට ගත් උත්සාහය අසාර්ථක වීමය.
එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දියවේ සතිෂ් කුමාර් (කිලෝ ග්‍රෑම් 317) සමත් වූ අතර රිදී පදක්කම එංගලන්තයේ ජැක් ඔලිවර් (කිලෝ ග්‍රෑම් 312) දිනා ගත්තේය. ලෝකඩ පදක්කම හිමි වූයේ සත්කාරක ඕස්ට්‍රේලියා ක්‍රීඩක ෆ්‍රැන්සිස්කෝ එටොවුන්ඩි හටය. ඔහු එසවූ බර කිලෝග්‍රෑම් 299කි.
චින්තන 2006 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 62 බර පංතියේ රන් පදක්කම දිනාගත් අතර 2010 වසරේ ඉන්දියාවේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 69 බර පංතියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට සමත් වූයේ බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල්ය. කිලෝග්‍රෑම් 56 බර පන්තියෙන් තරඟ කළ චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 114ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 134ක් ඔසවා ඇත. ඒ අනුව චතුරංග ලක්මාල් ඔසවා ඇති සමස්ත බර කිලෝග්‍රෑම් 248කි. මෙම ඉසව්වෙන් රන් පදක්කම මලයාසියාව දිනාගෙන ඇති අතර රිදී පදක්කම හිමිකර ගත්තේ ඉන්දියාවයි.
බර ඉසිලීමේ ඉසව්වේ කාන්තා කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරඟ කළ දිනුෂා ගෝමස් ක්‍රීඩිකාවද ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 70 ක් එසවූ දිනුෂා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 85 ක් ඔසවා තිබේ. ඇය විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 155 කි. එම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ චානු සයිකොම් දිනාගත් අතර රිදී පදක්කම මුරුසියේ රෝලියා රනයිවසෝවා දිනා ගෙන ඇත.
මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා ගනු ලැබුවේද බර ඉසිලීමේ ඉසවකිනි. කිලෝග්‍රෑම් 69 බර පන්තියෙන් තරඟ ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 137 ක් එසවූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 160 ක් ඔසවා තිබේ. ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 297 කි.
කිලෝග්‍රෑම් 163ක අවසන් උත්සාහයන් දෙකම අසාර්ථක වීම නිසා ඉන්දිකට එම ඉසව්වේ රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදු විය. ඔහුට එම ඉසව්වේ රන් පදක්කම අහිමි වූයේ කිලෝග්‍රෑම් 2 ක වෙනසකිනි.
එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට වේල්සයේ ගැරිත් එවන්ස් සමත් වූ අතර ඉන්දියාවේ දීපක් ලතීර් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මෙතෙක් කාලයක් ස්කොෂ් ක්‍රීඩකයෙකු අවසන් තරඟයකට සුදුසුකම් ලබා නොතිබිණි. එම ඉතිහාසය වෙනස් කරමින් ස්කොෂ් ක්‍රීඩිකා මිහිලියා මෙත්සරණි 21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් අවසන් තරඟයට සුදුසුකම් ලබා තිබේ.
මෙරට ක්‍රීඩා ඉතිහාසයේ අමරණීය සටහනක් තැබීමට බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත් විය. ඒ 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං කාන්තා ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වෙමිනි. ඊයේ (08) පැවති අර්ධ අවසන් පූර්ව වටයේදී අනුෂා කොඩිතුවක්කු හමුවේ පරාජයට පත් වූයේ කේමන් දූපත්හි බ්‍රැන්ඩි බාන්ස් නම් ක්‍රීඩිකාවයි. මෙම තරඟය ජයගත් අනූෂා කොඩිතුවක්කු අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත් අතර ඒ අනුව එම ඉසව්වෙන් මේ වන විටත් ශී‍්‍ර ලංකාවට පදකක්මක් හිමිකර ගෙන ඇත.
බොක්සිං කාන්තා ඉසව්වෙන් 45-48kg බර පන්තියෙන් අනුෂා කොඩිතුවක්කු තරඟයට ඉදිරිපත් විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව බොක්සිං ක්‍රීඩා ඉසව්වකින් ලබා ගන්නා පළමු පදක්කම මෙය වන අතර එම අවස්ථාව හිමිව ඇත්තේ වසර 80කට පසුව වීම විශේෂත්වයකි. අවසන් පූර්ව වටය එළඹෙන 11 වැනිදා පැවැත්වීමට නියමිත අතර එහිදී අනුෂාගේ ප්‍රතිවාදීයා වන්නේ ඉන්දියාවේ ප්‍රබල බොක්සිං ක්‍රීඩිකාවක වන මේරි කොම් ය. එම තරඟය ඉතා උණුසුම් තරඟයක් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයන් දැනටමත් මත පළ කර ඇති අතර 2016 සාග් ක්‍රීඩා උළෙලේදී ඉන්දියාවේ මේරි කොම් හමුවේ අනුෂා කොඩිතුවක්කු පරාජය වූයේ ඇයව රෝද පුටුවට යවමිනි. එදා මේරි කොම් ක්‍රීඩා නීති උල්ලංඝනය කරමින් ජයග්‍රහණය ලබා ගෙන තිබුණද නැවතත් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් බොක්සිං වළල්ලේදී මේරි කොම් ට අනුෂා හමුවීමට නියමිතය.
ඉන්දියාවේ මේරි කොම් සහ අනුෂා කොඩිතුවක්කු අතර පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයේ තරඟය පිළිබඳ දැනටමත් මාධ්‍ය හා ක්‍රීඩාලෝලීන් ඉතා උණුසුම් අන්දමින් පිළිගෙන අවසන්ය.
එළඹෙන 15 වැනි දින ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් ක්‍රීඩා ගම්මානයේදී ඇති උත්කර්ෂවත් අන්දමින් 21 වැනිපොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්තිය සටහන් වනු ඇති.
- ආශිකා බ්‍රාහ්මණ

0 comments :
Post a Comment