පැණි රහ උනත් නීරසයි වැඩියෙන් කෑම !

පැණි රහ උනත් නීරසයි වැඩියෙන් කෑම !
ඔබ මේ ලිපිය කියවා, එහි අඩංගු කරුණු සියලු ශ්‍රී ලාංකිකයන්ගේ දැනගැනීමට සුදුසු දෙයකැයි සිතන්නේ නම් එළඹෙන උත්සව සමයේ 'නොසිතා වස පානය කරන' බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඔබ තුමන්ලා ගේ හා තුමියන්ලාගේ බ්ලොග් අඩවි හා අනෙකුත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න.
 
ස්තූතියි...........
 
අවුරුද්දත් කිට්ටු කිට්ටු.... එරබදු මල් පොට්ටු පොට්ටු... කියල කිව්වට මොකද ආයිබොවන් මම නං තාම එරබදු මලක් දැක්කේ නෑ ඕං මේ අවුරුද්දේ. ඒ විතරක්යැ කොහාත් තාම නං අපේ ගංකරේට ඇවිල්ල නෑ වගේ. හැබැයි අපේ ජාතික ක්‍රීඩා දෙක ඒ කියන්නේ බූරුවා ගැහිල්ලයි, කැට ගැහිල්ලයි නං පටං ඇරගෙන සතියක් විතර වෙනවා. ඊයේ බූරුවා ගහලා පැරදිච්ච පල්ලෙහා ගෙදර මාමා ඒ දුකට කරපට් වෙන්ඩ නැටුං තෙල් බීලා. ඒ මදිවට ලේ වල සීනි මට්ටම හොඳටෝම වැඩිවෙලා කියල කියනව මං අහගෙන. මම දන්න තරමින් උන්දැ සීනි දාල ප්ලේන්ටියක් වත් බොන්නේ නැති චරිතේ. ඉතිං මං ඇහුව මෙහෙම.
 
"කොහොමද මාම සීනි වැඩි උනේ?මොකද ඊයේ අරක්කු වෙනුවට පැණි බෝතලයක් වත් බිව්වද?"
 
"නෑ පුතේ මාත් මේ කම්පනා කරන්නේ කොහොමද සීනි වැඩි උනේ කියල. අම්මප මම සීනි කට හරියේ තියන්නැති මනුස්සයනේ උඹලා දන්නවනේ ඉතිං!"
 
"අපොයි මොකද නොදන්නේ? මාම ඉතින් සීනි තියන මොකවත්ම කෑවේ බිව්වේ නෑ කියලද කියන්නේ?"
 
"අම්මප පුතා නෑ නෑමයි. අය බොරු කියල තෑගි ගන්ඩයැ?"
 
"හරි කියමු බලන්ඩ මොනවද මාම ඊයෙ දවසට් කෑවෙ බිව්වෙ?"
 
"කොහෙ කන්ඩද පුතා උදේම බූරු පොලට ගියාම නැගිටිද්දි හතරයි"
 
"ඒ කියන්නේ උදේට කෑවෙත් නෑ දවල්ට කෑවෙත් නෑ?"
 
"ම්හ්...රුපියල් අටදාහක් පරාදයි ඒ වෙනකොට. තව අතේ තිබ්බේ පැන්ෂන් එකෙන් ඉතුරු වෙච්ච රුපියල් දෙදාහක් විතරයි. ඒකෙන් ගෑනිටයි ළමයින්ටයි අවුරුද්දට මොනවත් අරන් දෙන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්න කොට ගුණපාලය එක්ක සෙට් උනා. අපි දෙන්න බෝතල් දෙකක් ගෙනල්ල ඒක ඉවර කරල නැගිට්ටෙ රෑ නවයට!"
 
"ඉතිං?"
 
"ඊට පස්සෙ ගෙදර ගියාම ගෑණි බැන්න කියහංකෝ. උඹලට ආය අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ අපේ උන්දැගෙ කට ගැන"
 
"ඉතිං මාම බනින එකත් සාධාරනයිනේ. මොනවද රෑට කෑවේ?"
 
"මොනවා කන්ඩද පුතා ගෑණි බයින කොට? එහෙම්ම ඇඳට වැටිලා නිදා ගත්තා!"
 
"ඒ කියන්නේ ඊයේ දවසටම කෑවේ නෑ?"
 
"හ්ම්"
 
"බිව්වේ මොනවද?"
 
"සංස්ථා බෝතලෙයි සැන්ඩි විදිහට .......... කෝලා මෙගා බෝතලෙයි විතරමයි. තව ඕන්නං  වීදුරු තුන හතරක් බොන්ඩ ඇති උදේ වරුවේ!!!"
 
ඔය කියන විදිහට පල්ලෙහා ගෙදර මාමා මුළු දවසටම බීලා තියෙන්නේ අරක්කුයි අහවල් වර්ගයේ කෝලා ලීටර් එක හමාරකුයි විතරයි. 
 
මම ගෙදර ඉන්න ගමං බැලුව කොහෙන්ද මේ තරං සීනි ඇගට ආවේ කියල. අරක්කු බෝතලයක් හොයා ගන්ඩ නැති හිංද ගෙදර තිබ්බ පැණි බීම බෝතල් කීපෙක විස්තර හොයල බැලුව.  ටවුමෙ කඩේක තිබ්බ පැණි බීම එක එක වර්ග ගැනත් හෙව්වා මේ ඒ විස්තරේ.
 
එක තේ හැන්දක සාමාන්‍යයෙන් සීනි ග්‍රෑම් 4 අඩංගුයි. එක මේස හැන්දක සීනි ග්‍රෑම් 12.5 ඒ කියන්නේ ආසන්න වශයෙන් තේ හැඳි තුනක් ප්‍රමාණයක් අඩංගුයි.  
 
ඇමරිකානු හෘද සංගමය (American Heart Association) අනුමත කරන්නේ එක දවසකට පිරිමි කෙනෙක් සීනි ග්‍රෑම් 37.5 විතර ප්‍රමාණයකුත් ගෑණු කෙනෙක් සීනි ග්‍රෑම් 25 විතර ප්‍රමාණයකුත් ආහාරයට ගැනීම සෞඛ්‍යයට හිතකරයි කියලා. ඒ කියන්නේ පිරිමි කෙනෙක් තේ හැඳි 9 කුත් ගෑණු කෙනෙක් තේ හැඳි හයකුත් කෑවම හොඳටම ඇති. මේ ගාණ  අනුවත් හොඳින් ව්‍යායාම කටයුතු වල යෙදෙන නොයෙදෙන ආකාරය අනුවත් වෙනස් වෙන බව අපි මතක් තියා ගන්ඩ ඕන. 
 
මම මෙතෙන්දි උපකල්පනය කරන්නේ බල්ලෙක් පිටි පස්සේ පැන්නුවොත් හරි තරහ කාරයෙක් පිහියක් අරං එලෙව්වොත් හරි මිසක්ක වෙන කිසිම දිවිල්ලක් හෝ හැල්මේ ඇවිදිල්ලක් සිරිතක් විදිහට නොකරන මේ අපි වගේ කට්ටිය ගැන හොඳේ. එහෙව් අපිට තේ බීමෙන් විතරක් නං සීනි හම්බ වෙන්නේ, එක තේ කෝප්පෙකට තේ හැඳි තුනක් සීනි දානවා නං දවසට තේ තුනක් බිව්වම හොඳටම ඇති. හැබැයි ඔය අතරට කේක්, බිස්කට්, ටොපි, චොකලට්, රස කළ කිරි, අයිස් ක්‍රීම් වගේ දේවල් එක්ක පැණි බීමත් බොනවනං ඒකට හරියන්ඩ වැඩිපුර ව්‍යායාම කරන්ඩ වෙනවා. එහෙම නැත්තං නොයෙකුත් රෝග හදා ගන්ඩ කැමති වෙන්ඩත් වෙනවා. ඒ ලෙඩ මොනවද අරව මෙව්වා විස්තර මම කියන්ඩ යන්නෙ නෑ. දොස්තර කෙනෙක් හම්බ වෙච්ච වෙලාවක අහ ගන්ඩකෝ. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ සංවිධානය කරපු එක ප්‍රදර්ශනේකදී මම දැක්කා එක ප්‍රදර්ශන පුවරුවක්. මම ඒකෙන් හිතට ගත්ත දේ තමයි එක ග්‍රෑම් එකක් සීනි ඕන ප්‍රමානෙට වඩා කෑවොත් එක විනාඩියක් හැල්මේ ඇවිදිමින් ව්‍යායාම කරන්ඩ ඕන බව. එහෙම නැත්තං විනාඩි බාගයක් දුවන්ඩ ඕන කියල. අයියෝ ඕක මොකද්ද කියල හිතෙනවා නං මතක් කර ගන්ඩ අපි වැඩිපුර කන හැම ග්‍රෑම් එකකටම ව්‍යායාම කරන්ඩ වැය කලයුතු කාලය එන්ඩ එන්ඩ වැඩි වෙනවා කියන එක. ඊට වඩා ලේසියි කට පරිස්සං කර ගන්න එක. 
 
ඉතිං ඒ විස්තර පොඩ්ඩකට පැත්තකින් තියල කරගෙන ආපු කතාවට හැරෙමු. මේ මම ඉදිරිපත් කරන්නේ බීම වර්ග කීපයක විස්තර විතරයි. තව එව්වා දැන ගන්න විදිහට ලිපිය අලුත් කරන්ඩයි බලාපොරොත්තුව. අනික කිසිම බීම සමාගමකට පහර ගහන බලාපොරොත්තුවකුත් මගේ නෑ. මම මේ ඉදිරිපත් කරන්නේ ඔවුන් තම තමන්ගේ බීම ඇසුරුම් වල ඉදිරිපත් කරලා තියන ගණන් මිනුම් ම  තමයි.
 
sugerඑක බීම වීදුරුවක, මිලි ලීටර් 250 බීම ප්‍රමාණයක්  තියනවා කියලත් මම හිතනවා.
 
වැඩේ පැහැදිලියි නේද? මෙතන තියන හුගක් වර්ග වල  වීදුරුවක් දවසකට බිව්වොත් එදා මුළු දවසට ම ඕන සීනි ප්‍රමාණය ඇඟට ඇතුල් වෙලා ඉවරයි. අපි එක වීදුරුවකින් නවතිනවද? ......නෑ හුගක් වෙලාවට මේ අධික සීනි සාන්ද්‍රණය  හිංදා අපේ තිබහ තව වැඩි වෙනවා. එතකොට තව වීදුරු එකක් දෙකක් බීලා දාන්ඩ තියන ඉඩ වැඩියි. අනික් පැත්තෙන් මේ අධික පැණි රහ ගතිය හිංදා පොඩි දරුවෝ මේවට ඇබ්බැහි වෙන්ඩ තියන ඉඩත් වැඩියි. අනිත් පැත්තෙන් මේ දවස්වල තියන අධික රස්නය හින්දත් පැණි බීම බොන්ඩ තියන ඉඩකඩ වැඩියි. 
 
suger 2දැනට මම දැක්ක වැඩිම සීනි සාන්ද්‍රණය සහිත බීම බෝතලය
 
ඉස්සරහට එන්නේ උත්සව සමය. අමුත්තන්ට සංග්‍රහ කරන්ඩ කියල අපි හුගක් වෙලාවට මේ වර්ග වල හෝ වෙනත් සාන්ද්‍ර  පැණි බීම - කෝඩියල් වගේ- දෙන්ඩ තියන ඉඩ වැඩියි. යාලුවන්ට, ගෙදරට අමුත්තන්ට ඒ විදිහට පිළිගන්වන්නේ ඇඟට අහිතකර වසක් බව අපි හිතන්නේ නෑ නේද?       
 
මේ ග්‍රෑම් ගණන් මීට ඉස්සරත් මම අහල තිබ්බ. ආණ්ඩුව අලුතින් අඳුන්වලා දීපු වර්ණ සංකේත ක්‍රමය හිංද බීම වර්ග වල තියන සීනි ප්‍රමාණය දැන ගන්ඩත් ලේසියි. හැබැයි අපේ හිතට වදින්නේ නෑ. ඒක හිංද මම පොඩි වැඩක් කියන්නං. ඇත්තටම මම ඒක දැක්කෙත් අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදර්ශන කුටියෙදීම තමයි. පල්ලෙහා තියන චායාරූපයේ විදිහට සීනි ටිකක් අරං කිරල බලන්ඩ එක වීදුරුවක් පැණි බීම බොනකොට සීනි කොච්චර ඇඟ  ඇතුලට යනවද කියල. ඔන්න එතකොට තමයි වැඩේ බරපතල කම තේරෙන්නේ.
 
suger 3මම හිතාගත්තා මේ අවුරුද්දේ අපේ ගෙදරට පැණි බීම වර්ග ගේන්නේ නෑ කියල. මොකටද දැන දැන සල්ලි දීල වහ බොන්නේ ඊට වඩා හොඳ දේවල් ඕන තරං බොන්ඩ තියෙද්දි? ......නැද්ද මං අහන්නේ?
 
සිංහල අවුරුද්දෙදි අපි ප්‍රාර්ථනය කරන්නේ රෝග පීඩා දුරු වෙලා සෞභාග්‍යය උදා වෙන්ඩ, එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වෙන්ඩ කියල. එහෙම හිත හිත පැණි බීම බිව්වොත් නං ගොයියෝ එකසිය විස්ස, තිහ හතලිහට අඩු වෙන්ඩ බැරි නෑ. ඉතිං ඒ ගැනත් හිතල මේ අවුරුද්දට සූදානං වෙමු!!!.
 
හැමෝටම ආවඩා ආයු බෝ වේවා!!! 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment