ඒත් මනුෂ්‍යා ශිෂ්ටාචාරගත වීමත් සමග ක්‍රම ක්‍රමයෙන් ජීවිතයේ සත්‍යය තේරුම් ගන්න ඇති. ඉපදීම පිටුපසින් හෙමිහිට වැඩෙමින් මරණය දක්වා යන ගමන ජීවිතයේ සත්‍යය බව... කොහොම වුනත් මේ හැම කාලයකම මරණයට තිබූ භීතියේනම් හිඟයක් තියෙන්නට නැහැ. ඒ නිසානේ තවමත් පවත්වාගෙන යන බොහෝ ඇදහිලි, විශ්වාස, වතාවන් බිහිවෙලා තියෙන්නේ! ඒ අතරම ඉතාම නිර්භීතව මරණයට මුහුණ දුන් ගැහැනුන් හා මිනිසුන් ගැන අපිට ඇති වෙන්න අහන්නත් තියෙනවා.
නූතන ලෝකයේත් නොබියව මරණය බාරගත් අය හිටියා. බොහෝ නව සොයා ගැනීම් සඳහාත් ඒ වෙනුවෙනුත් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වූ මිනිසුන් කොතෙක්ද! දේශ ගවේෂණයේදීත් ආපසු ඒමක් පිළිබඳ කිසිම සාංකාවකින් තොරවම කොතෙක්නම් මිනිසුන් ඒ සඳහා පෙරමුණ ගන්නට ඇතිද? මේ අපේ කුඩා ශරීරය හා ජීවත්වන කුඩා ප්‍රදේශයෙන් එහාට මහා විශාල ලෝකයක් හා පුදුමාකාර දේ ඇති බවට වන අදහසත් එක්ක මේ ශරීරය පිළිබඳ ඇති අධිතක්සේරුව හීන වෙලා ලෝකයේ විසල් බව තේරුම් ගැනීමට, එය ජය ගැනීමට, සාමූහික ජයග්‍රහණයන් සඳහා තම ශරීරය අත් හැරීමට බොහෝ විට ඒ හරහා වීරයන් වීමට පවා මිනිසුන් ආශා කරන්නට ඇති!
ආදි ශිෂ්ටාචාරයන් ගැන හොයද්දී තේරෙන දෙයක් තමයි ඔවුන් බොහෝ අවස්ථාවල මරණය ආපසු ගෙදර යාමක් ලෙසට සැලකිලා තිබෙන බව. ගමන නිමාකොට හැරී නිවසට යනවිට කිසිවෙක් ඊට විරුද්ධ වන්නේ නැහැ. කිසිවෙක් විලාප දෙමින් හඬන්නෙත් නැහැ. ඒ නිසා වෙන්නැති ලෝකයේ පැරණි සිරිත් රකින සමහර ප්‍රදේශවල තවමත් මළ ගෙවල්වල අඬන මිනිසුන් නැත්තේ. කුරසාවාගේ චිත්‍රපටයකත් දැක්කා මතකයි වයසක මනුෂ්‍යයෙක්ගේ අවමඟුල් පෙරහරේ නටමින් යන ඔහුගේ මිත්‍රයන්. ඒ අය මියගිය කෙනාගේ ගුණ ගයන්නේ ඔහු/ඇය ජීවත් වූ කාලය පුරා අන් අයට දුන් සතුට, සේවය, යහපත් දේ වෙනුවෙන් ස්තූති කිරීමට පමණමයි. වයසට ගිය කෙනෙක් පමණක් නෙවෙයි, කවුරුන් මියගියත් මේ මිනිස්සු කරන්නේ ඒ අය අප සමග ගත කළ ජීවිතයේ සුන්දර බව සැමරීම. ඒ වෙනුවෙන් සතුටුවීම!
මේ වන විට අපේ ලෝකයේ නම් කෙනෙක් මිය ගිය බව දැනගත් වහාම අපි කරන්නේ යාළු මිත්‍රයන් හා නෑදෑයන් සමග මුලින්ම අපට වන පාඩුව සඳහන් කිරීම. මළ කෙනාගේ ගුණ කියල අපි කියවන්නේම අපි වෙනුවෙන් ඔහු හෝ ඇය කළ දේ! සමීපතමයෙක් මිය ගියාම අපි අඬන්නේ (අපි නොදන්නවා වුවත්) අපි ගැනම හිතලා.. අපි අහිමි වීමක් ගැන කතා කරන්නේ ජීවත්වීමට සාපේක්ෂවනේ. එහෙමනම්, අනිවාර්යයෙන්ම අහිමි වීම වන්නේ මියගිය කෙනාට නොවෙයි, ජීවත්වන අපට!
මගේ යාළුවෙක්ගේ පුතෙක් මැරුණා ඔළුවේ නහරයක් පුපුරලා. මෘත ශරීරය නිවසට ගෙනෙන මොහොතේ මම හිටියේ යාළුවා සමග ඇගේ කාමරයේ. ඈ මට කිව්වා එය බැලීමට යා නොහැකි බව. මගේ පිළිතුර වූයේ එතැනට නොගියාට ප්‍රශ්නයක් නැති බවත්, වෙනත් වෙලාවක ඇයට හිතුනොත් ගොස් බැලීමට හැකි බවත්. ඒත් මෘතදේහය සමග මුළු ගමම ගෙට ඇතුල් වුනා. කෑ ගසා හඬා වැළපෙන්නට කිසිවෙක්ම නොසිටි බැවින් කනස්සල්ලට පත් වූ ගම් වැසියන් මගේ මිතුරිය සොයා ඇගේ කාමරයට පැමිණියා. 'කෝ මේ?' ඒ තමයි ඔවුනට කියන්නට තිබූ එකම දේ! අපි පොඩි කාලේ කුලියට අඬන ගැහැනුන් පවා හිටියා. මියයාම මහා ඛේදවාචකයක් ලෙස ගැනීම අපේ කාලේ සමූහ අවශ්‍යතාවයක් බවට පත්වෙලා!
බලාගෙන ගියාම ලෝකය දියුණු වෙනවා කියලා වෙලා තියෙන්නේ මිනිසා බරපතලවම ස්වභාවිකත්වයෙන් ඈත්වීමයි. අපි මැරෙන්න බය වෙනවා විතරක් නෙවෙයි, අපිට පහසු වූ අප ආදරය කළ කිසිවෙකු මියයනවාටත් අපි විරුද්ධයි. අබලන්වූ සිරුරක් සමග කෙළවරක් නැති ජීවිතයක් කොහොමද සුන්දර වෙන්නේ? ඇස් පෙනීම දුර්වලව, කන් ඇසීම හීනව, ඇවිදගන්න බැරිව, කිසි කෑමක් හරියට හපා කෑමට නොහැකිව... ඒත්, මොනවා හරි කරලා ජීවත්වීමට හෝ තවකෙකු ජීවතුන් අතර තබා ගැනීමට අපිව පුරුදු කරලා තියෙන්නේ මේ දියුණුව විසින්ද? මේ දියුණුව ස්වභාවධර්මයට පවා විරුද්ධ දෙයක් බව, ප්‍රශ්න සහිත එකක් බව අපට නොතේරෙන්නේ ඇයි? අපිත් ඔහේ තියෙන විදියටම දේවල් බාරගන්නවා. ඒක තමයි විදිහ. එහෙමයි අපි ඒක ලේසියට බාරගන්නේ. එතකොට කවුද කොහොමද මේ 'විදිහ' තීන්දු කළේ? ඇයි අපිට ඒ 'විදිහ'ට වඩා වෙනස්ව හිතන්න අඩුම වශයෙන් උත්සාහ කරන්න බැරි?
මියයාමට ආසන්න බව දැන දැනත් විවිධ දේ කරමින් පවත්වා ගැනීමට උත්සාහයන් දරනා සිරුරු අපට ඕනෑ තරම් මුණගැසෙනවා. හොඳට බැලුවොත් තේරෙනවා ඒ පැවතීම ඒ ජීවිතයටමත් බරක් බව! මරණය කල්දැමීම සඳහා, දිරාපත්ව හෝ සිරුරු පවත්වාගෙන යාම සඳහා වෙළෙන්දන් අපට කොතෙක් දේ යෝජනා කරනවාද? ඒ විතරක්ද, එය එසේ පවත්වා ගැනීමට යහමින් මුදල් අවශ්‍ය බැවින් කෙතරම් ප්‍රමාණයක්, නොයෙක් මාදිලියේ රක්ෂණයන් අපට යෝජනා වෙනවාද? සැබවින්ම ඒ කුමක් සඳහාද? මේවා පිටුපස අන්ධයන් මෙන් යන අපට අමතකව යන කාරණය තමයි ඒ මොනවා කළත් කොයි මොහොතේ හෝ අපි මිය යාමට නියමිත බව! මේ සියල්ල කොට අප ජීවත්වන්නට බලාපොරොත්තුවන්නේ කෙතරම් කාලයක්ද කියන එකත් හිතලා බලනවානම් තමයි හොඳ! මොකද මේ සියලු යෝජනා කරන්නන් කැමතිම කාරණය තමයි අපට මරණය අමතකව යාම. එතකොට අපි අර යෝජනා කරන සියල්ලමත් කරන්න උත්සාහ කරනවා. හදිසියේවත් මළොත් ඒ මියගිය සිරුර වෙනුවෙනුත් වෙළෙන්දන් යෝජනා කරන සියල්ලමත් කරනවා. මුදල් පරිහරණයේනම් කිසිම අඩුවක් නැහැ.
තායිලන්තයේ අජාන් චා යටතේ පුහුණුව ලබමින් සිටි එංගලන්ත ජාතික තරුණ හිමිනමක් බරපතල ලෙස රෝගාතුර වුනා. ඒ එක්දහස් නමසිය හැත්තෑ ගණන්... මේ හාමුදුරුවන්ව ළඟම තිබූ රෝහල වෙත ගෙන ගියා. ඒක රෝහලක් වුනාට බටහිර රටවල රෝහල්වල ඇති බෙහෙත් කිසිවක්ම නැති තරම්. එන සියලු ලෙඩුන්ට යම් එන්නතක් ලබා දීම තමයි ප්‍රධානම කාර්යය. හැබැයි එන්නත් කටු තිබුනේ රෝහලටම හතරක් හෝ පහක්. මීට පෙර ඒ කටු කාට, මොන රෝගයකට පාවිච්චි වුනාද කාටවත් එතරම් අදාළ වුනේ නැහැ. තරුණ භික්ෂුවට මර බිය ඇති වුනේ මේ සියලු හේතු නිසයි. පීඩාවේ කිසිත් වෙනසක් නැතිව ගෙවී ගිය දින කිහිපයකට පසු ඔහුට ආරංචියක් ආවා අජාන් චා ඔහුගේ සුව දුක් විමසීමට රෝහලට පැමිණෙන බවට. ඔහුට ඇති වූයේ නිම්හිම් නැති සතුටක්! අජාන් චා රටේ පිළිගත්, සියල්ලන් ආදරය කරන ගුරුවරයෙක්. ඔහු ආ පසු ඔහුට ලබාදෙන සැලකිලි වෙනස් වේවි. භික්ෂුව බලාපොරොත්තු වුනා. එදා දහවල් අජාන් චා මේ භික්ෂුව වෙත පැමිණියා. හැරී යාමට පෙර ඉතා ආදරයෙන් දයාවෙන් ඔහු දෙස බලා සිටි මේ ගුරුතුමා ඔහුට කීවේ එක් වාක්‍යයක් පමණමයි. ‘කනස්සලු වෙන්න දෙයක් නැහැ, ඉක්මනින් දෙකින් එකක් වේවි. එක්කෝ ඔබ සුව වේවි, නැතිනම් මිය යාවි!’
සොඳුරු මරණය පෙර ලිපි:
සොඳුරු මරණය 01 - ජීවිතය සහ මරණය
සොඳුරු මරණය 03 - අලුත් මොහොතක් සෙවීමේදී මෙතැන මිස් වීම!
සොඳුරු මරණය 04 - කටු පඳුරට ආදරය කිරීම
0 comments :
Post a Comment