බොහෝ අයට ගම්වල නෑයන් ඇතත් සම්බන්ධතා දුලබ ය. එනිසා ගමට යෑම්-ඊම් සිහින අතරෙහි වත් නැත.නගරයෙන් පිටත ගමනක් යන්නේ නම් කලාතුරකිනි. එයත් බොහෝ විට වන්දනා ගමනකි.
දුර ගමන් පිළිබඳ මගේ මතකයේ දිගු දුර කෙළවරෙහි නැගී සිටින්නේ අම්මාගේ අම්මා හෙවත් මගේ ආච්චි වන පුරන්සිනාහාමිය. පරණවාඩියේ කුප්පියාවත්ත පන්සල- ජයශේඛරාරාමයේ බැතිමත් දායිකාවක වූ ආච්චි, වසරකට වතාවක් පන්සල විසින් සංවිධානය කෙරෙන වන්දනා ගමන්හි නිරතවන්නීය. එවන් එක් වන්දනා ගමනකදී එය මගේ ජීවිතයේ මා ලැබූ වැදගත්ම අවස්ථාවක් බවට පත් කරමින් ඇය ඊට මාද සහභාගී කර ගත්තීය. එය ‘දවස් හතේ වට වන්දනා ගමනකි.’ කොළඹින් ආරම්භව කුරුණෑගල රිදී විහාර වන්දනයෙන් පටන් ගෙන යාපනේ නාගදීපයත් වන්දනා කරමින් අවසන් වූ ඒ ගමන මුළු රට හරහා ගමන් කළ වන්දනා ගමනක් විය.
ආච්චි විසින් මා අතට දෙන ලද කුඩා පොතක අප වන්දනා කරන පන්සල් ආරාම ආදියෙහි නම් ලිවිය යුතු විය. මා ඉන් ලද සතුට අදත් මතකය අරා නැගී සිත සුවපත් කරන්නේ එම ක්‍රියාවෙන් මා ලද සතුට ඉමහත් වූ බැවිනි. වන්දනා ගමන අවසානයේ ආච්චි අතට පත්වන එම සටමන් පොත ඇය ආරක්ෂා කර ගත්තේ ජීවිතේ අවසාන කාලයේ ඒවා කියවා පිං සිත් ඇති කර ගන්නට බව අවුරුදු නමයක ළමයකු ලෙස සිටියදී පවා මට දැනිණ. 1974 දී මිය ගිය ඇය වයස අවුරුදු අසූ පහක පමණ ආයු කාලයක් වින්දත් මා විසින් සටහන් තබා දෙන ලද ඒ කුඩා පොත කියවනු මා කිසි දිනක දැක නොතිබිණ.
ආච්චි සමඟ ගිය එම ගමන් හැරුණු කොට අප මතකයේ ඇති ඉතා බරසාර සතුටක් රැඳුණ සංචාරය වූයේ හැටේ දශකයේ මැද භාගයේදී දුම්රියෙන් හැටන් දක්වා ගොස් එතැනින් බස් රියෙන් ශ්‍රීපාදය බලා ගිය වන්දනා ගමනයි. මෙම සංචාරය හුදු වන්දනා ගමනක් නොවීය. සැබැවින් ළමා අපට සතුටේ ද්වාරය විවර කරමින් අපූර්ව සුන්දර ලෝකයකට කැඳවා ගත් ‘විස්මිත චාරිකාවක්’ ලෙස අදටත් මතක කැඳවයි.
ඒ අවුරුද්දේ සිරිපාදේ ගමනට මව් පාර්ශ්වයේ අප ඉතා සමීපයෙන් ඇසුරු කළ පේමවතී පුංචි අම්මාගේ සහ පේමසිරි මාමාගේ පවුල්වල අයද සහභාගි වූහ. කොළඹ කොටුවෙන් පිටත්වන රාත්‍රී දුම්රියකින් ගමන ආරම්භ කෙරිණ. මාර්තු මාසය කොළඹ ජනයාගේ සිරිපාද සංචාරක මාසය වන බැවින් දුම්රියේ අසුන් වෙනුවෙන් දැඩි තරඟයක් පැවතින. අපේ තාත්තා රජයේ සේවකයකු වූ බැවින් දුම්රිය නිදහස් ගමන් බලපත්‍රවලට (වොරන්ට්ස්) හිමිකම් කීවෙන් ඔහුගේ මිතුරන්ගේද අවස්ථා ලබා ගෙන තිබුණෙන් මාමලාගේ පවුලේ ටිකට් වැය නිදහස් කර තිබුණු බව මට මතකය. කෙසේ වෙතත් එකල ගැටවුන් වූ අප වේදිකාවේ සිටියදී මරදානේ සිට පැමිණි දුම්රියට නැග ගැනීම සඳහා තරුණ වයසේ සිටි මාමා සමඟ තාත්තාත් බාප්පත් පුංචි අම්මගේ ලොකු පුතුන් දෙදෙනාත් දැඩි තරගයක නිරත වූහ.
අප දුම්රිය පෙට්ටියට ගොඩ වෙද්දී මාමා සහ තවත් අයෙක් අතින් පයින් ගහගනිමින් සිටියහ. අම්මලාත් අක්කලාත් මහ හඬින් විලාප දෙද්දී අපිදු විලාප දෙන්ට වීමු. මාමාගේ කමිසය කීතුවලට ඉරීය. එහෙත් ඔහු අතින් පහර කෑ මිනිසා දුම්රිය පෙට්ටියෙන් බැස ගියෙන් අපි සැනසුම් සුසුම් හෙළීමු. පසුව දැන ගත් පරිදි මාමා අල්ලාගත් සීට් එකක් වෙනුවෙන් අර මිනිසා හිමිකම් කීම නිසා ආරම්භ වූ කතාව ගුටිබැට හුවමාරුවක් දක්වා වැඩී තිබිණ. දුම්රිය ගමන ආරම්භ වූ පසු සියල්ල අපට අමතක වන්නට ඇත. අන්ධකාරය අතරින් ඇදී යන විස්මිත දුම්රිය ගමනේ මිහිරත් තැන තැනදී හමුවන උමං අන්ධකාරය පරයා හූ හඬ නැගීමත් සොඳුරු මතකයක්ව මේ මොහොතේත් සවන්හි ගැටෙයි.
හැටන්වලින් බැස ගත් පසු නල්ලතන්නියට දක්වා යනු පිණිස ලංගම බස් පෝලිමේ සිටිය යුතු වීම නියමයක් වූයේ අප විසින් දුම්රිය ලංගම ඒකාබද්ධ සංචාරයකට ගොනුව සිටි නිසාය. කෙසේ හෝ අලුයම සීතල විඳිමින් හැටන් සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරීම කොළඹ අපට මහරු අත්දැකීමක් විය. නල්ලතන්නියේ සිට සීත ගඟුල දක්වා පයින් ගමන් කර එහි විශ්‍රාම ශාලාවක නවාතැන් ගන්නා අප සීත ගඟුලෙහි සීතල ජලය ස්නානය කරන්නෙ මර හූ හඬ දෙමිනි.
තාත්තා සතුව එකල ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් තිබුණ අතර ඔහු මේ සියලු දුෂ්කරතා අතර එය ද සිරිපාද වන්දනය පිණිස රැගෙන විත් තිබිණ. අදටත් අප පවුලේ පැරණි පින්තූර අතර ඇති සීත ගඟුල විශ්‍රාම සාලාව ඉදිරිපිට ලෑලි බංකුවක් මත හිඳ සිටි මල්ලිත් තාත්තාත් මැදි කරගත් රේඩියෝවේ පින්තූරය එම සිරිපාද ගමනේ අපූර්වත්වය අපට යළි යළි සිහි කරයි.
අප සමනල කන්ද තරණය කිරීම ආරම්භ කළේ සවස් වරුවක ය. එහිදී කෝඩු අප කිහිප දෙනෙකු සීත ගඟුලෙන් එතෙර කෙළේ අතේ පඬුරු ගැට ගසමින් සමන් දේව ආරක්ෂාවට යටත් කරමිනි.
‘වඳින්න යන මේ කෝඩුට - සුමන සමන් දෙවි පිහිටයි..’ කියමින් ආරම්භ කළ ගමන පඩියෙන් පඩිය ඉහළට ගමන් කරද්දී විනෝද ගමනක සිරි ගනියි. සමනොල ගිරග තරණය කරන අනෙකුත් ‘නඩ’ සමඟ අන්‍යොන්‍ය සබඳතාවක් ඇති කර ගනිමින් සිදු කෙරෙන මේ ගමන විනෝදයත් බැතිමත් බවේ සංඥාත් කැටිවුණ ගමනක් බවට පත් වෙයි.
ඉහළ නගින්නෝ අපේක්ෂා සහගත ගමනක බැවින් වැඩි අපේක්ෂා සහිත වූවෝය.. හිමගිර තරණය කර පහළ බසින්නෝ ගමනේ දුෂ්කරත්වය දරමින් දැඩි වෙහෙසට පත් සිරුරු දරමින් නවාතැන් කරා ළංව සිටින්නෝය. නගින සහ බසින මේ දෙපිරිස අතර කාව්‍ය සංවාද ඇති වෙයි. ඒවා පළමුව බැතිමත් ආශිංසන ලෙස ආරම්භ වෙයි.
‘වඳින්න යන මේ නඬේට - සුමන සමන් දෙවි පිහිටයි..’ කවි විරිත මනාව රඳවමින් පහළ බසින්නෝ ඉහළ නගින්නන්ට සෙත් පතති.
‘වැඳලා බහින මේ නඬේට - සම්මා සම්බුදු සරණයි..’ ඉහළ නගින්නෝ පිළිතුරු දෙති.
වඩාත් තරුණ අයගේ සුබාශිංසන බැතිබර තානයෙන් තරමක් වෙනස්ව නැගෙන්නට පටන් ගනිද්දි අපගේ වෙහෙස පලා යයි.
‘අග්ගලකන් ඩෝන් පුතා- හෙලේ නගින් ඩෝන් පුතා..’
‘වඳින්න යන මේ නංගිට - සම්මා සම්බුදු සරණයි..’
‘වයි වයි වයි කරුණාවයි - ටයි ටයි කපුටො කොටයි..’
‘කෙකර ගාන මේ නංගිට උඩ මලුවෙදි මාල හතයි..’
ගමනේ වෙහෙස වන්දනා නඩවල ජීවය පිරුණු හඬ අතරෙහි කිඳී යයි. හැරමිටි පාන, ඉඳිකටු පාන වෙහෙස නිවන නවාතැන්ය. උණු උණු රොටි සමඟ කෝපි බී කෝඩු අප ලවා නූල් ගෙත්තම් කර ආශිර්වාදය ලබා දීමට අම්මලා ඉදිරිපත් වෙති. ලිහිණි හෙළ දෙසට හැරී ‘ලිහිණි අක්කේ..’ යයි කෑ ගසමින් මහගිරි දඹ තරණය කරද්දී රාත්‍රියෙහි මැදියම උදාව තිබෙයි. මහ මළුව මත එළුෑ රෙදි හෝ පොරෝනා මත වැතිර සීතලේ ගුළිව නිදා ගන්නා අප පසුදා ‘ඉර සේවය’ නැරඹීමට අවදි කෙරෙයි. නැගෙනහිරෙන් මතුවන රත් පැහැ ඉර දෙසට හැරුණ පිරිස අතරෙහි සාදුකාර නාදයක් නැගෙයි. බැතිබර සිතින් අවසන් පඩි තුන හතර නැග බුදුන්ගේ පාද ලාංඡනය ලෙස විශ්වාස කරන ගල් පුවරුවක ඇති විශාල මිනිස් පා සටහන වන්දනය කරද්දී ගතේ වෙහෙස දුරුවී බැතිමත් හැඟුමන් සිත පිරී යයි. අවසානයේ තමන් හිම ගිර තරණය කළ වාර ගණන දක්වමින් මහ මළුවේ ඇති සීනුව නාද කරමින් පහළ බලා ගමන ආරම්භ කෙරෙයි.
ආපසු ගමන වෙහෙසෙකාරිය. පඩි බසිද්දි දණහිස ළගින් නැමී වේදනා දෙයි. කකුලේ මස් තද වී රිදුම් දෙයි. විනෝදය අත් නොහැරි තරුණයන් අතර සිටින වැඩිහිටි අය වෙහෙසින් තැන තැන නැවතී සෙමෙන් පල්ලම් බසියි. තැන තැන නැවතෙමින් අසීරුවෙන් පඩි තරණය කරන අය දෙස බලමින් කඳු තරණයෙහි යෙදෙන්නෝ කවි පදයකින් ඔවුන් දිරිමත් කරති.
‘වැඳලා බහින මේ අම්මට- සම්මා සම්බුදු සරණයි..’
සමහර තරුණයකු අබල දුබල මාතාවක සිය දෑතින් ඔසවා ගෙන පහළ බසියි. සීත ගඟුල සීමාවට පැමිණ ඇඟ පත සීත දියෙන් නහවා ගත් පසු දැනෙන සහනය නිසා ඊළඟ වතාවෙත් එහි පැමිණීමේ සිහිනය අප සිත් තුළ තැවරෙනු දැනෙයි. නල්ලතන්නි කඩපොළෙන් කුඩා හකුරු පැකට් සහ කොට්ටකොලන්ගු මිලදී ගැනීම අනිවාර්ය චාරිත්‍රයක් බඳුය. එසේම කළු දොදොල් පට්ටා සහ වෙනත් රසකැවිලි මිලදී ගන්නා වැඩිහිටියන්ට කන්කෙඳිරි ගාමින් කිසියම් විසිතුරු භාණ්ඩයකට හිමිකම් කීමේ වරමක් ළමයින්ටත් ලැබෙයි.
ආපසු පැමිණීම යුද්ධයක් වැනි සටනක් වුවත් අප ඒ චාරිකාව ඉතා සතුටින් අවසන් කළ බව මට මතකය. අප මව් පාර්ශ්වයේ ඥාතී සමූහය සමඟ ගිය පළමු සහ අවසාන වන්දනා ගමන එය වීම නිසා අදටත් මට එය මිහිරක්ව දැනෙයි. තරුණයකු ලෙස පසුව හත් අට වතාවක් සමනල කන්ද තරණය කළත් පළමුව විඳි ළමා අත්දැකීම ඉන් අහෝසි වී නොගිය බව කිව යුතුම ය. තාත්තාගේ ට්‍රාන්සිස්ටර් රේඩියෝවත් සීත ගඟුලේ නාද්දි ගල් කුලකට පිටදී මා නිරුවතින් සිටියදී ගන්නා ලද ඡායාරූපයත් එම ගමනේ සොදුරු සිහිවටන සේ අදටත් වලංගුව පවතියි.
වඩාත් විසිතුරු සහ නීති බැඳීම් සහිත සමනොල ගිරි තරණයක් ගැන කතා කියවන්නට අසන්නට ලැබෙන මේ යුගයේත් කොළඹ මිනිසුන් ‘අග්ගලකන් ඩෝං පුතා- හෙලේ නගින් ඩෝන් පුතා..’ කියමින් සමනල කන්ද තරණයෙහි අත්දැකීම් අදත් ලබනවා විය හැකිය. වසර විසි පහකින් එහි නොගිය මට අදටත් ඇත්තේ එහි ගිය බවට වන දුර මතකයක් පමණි. නමුත් එය මතක මාවතේ අතිශය සොඳුරු මතකයක් ව මා සමඟම වැළලී යනු ඇත.
- අනුරසිරි හෙට්ටිගේ | anurasirihettige@gmail.com
0 comments :
Post a Comment