අල්ලස් කොමිසමේ රාජකාරියට නාගරික සංවර්ධන අධිකාරිය බාධා කරයි!

අල්ලස් කොමිසමේ රාජකාරියට නාගරික සංවර්ධන අධිකාරිය බාධා කරයි!

එය සාමූහික මැදිහත් වීමක් වන අතර රට ගොඩ නැගීමට නම් අල්ලස, දූෂණය වැලැක්වීම අත්‍යාවශ්‍ය කාරණයක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මෙම කාරණය 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ප්‍රමුඛතම දේශපාලන ප්‍රතිඥාවද විය. ජනතාවගේ දේශපාලන තෝරා ගැනීමෙන්ද එම අවශ්‍යතාව අවධාරණය විය.

පොරොන්දු වූ පමණින්, ප්‍රතිඥා දුන් පමණින් සියල්ල විසඳෙන්නේ නැත. ඉබේම වාගේ දූෂණ චෝදනා,අල්ලස් ගැනීම් අනාවරණ වන්නේද නැත. ඒවා අනාවරණ කර ගැනීම සඳහා නිත්‍යානුකූල ක්‍රමවේදයක් වෙයි. අල්ලස, දූෂණය තුරන් කිරීමට නම් සියල්ලට ප්‍රථමයෙන් එම යාන්ත්‍රනය ශක්තිමත් කළ යුතුය. එම යන්ත්‍රණය තුළ ප්‍රමුඛතම කාර්ය භාරය ඉටුකරන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමයි. පසුගිය කාලය තුළ විශේෂයෙන් 2015 පසු මෙම කොමිසම වෙත පැමිණිලි ඇති විශාල සංඛ්‍යාවක් ගලා ආ අතර ඒවා පිළිබඳ විමර්ශන කිරීම මන්දගාමී තැනක පසුවන බවට නිරන්තර චෝදනා එල්ල විය. පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ මෙකී ආයතනය ඇද වැටි තිබුණද 2015 දේශපාලන පෙරළියත් සමඟ යම් බලාපොරොත්තුවක් ඇතිවිය. පොදු සමාජය තුළ එවන් පිබිදීමක් පැවතියද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තුළ එවන් පිබිදීමක්,සුදානමක් තිබුනේද යන ප්‍රශ්නය මතු වන්නේ දිගින් දිගටම ඊට එල්ල වූ චෝදනා නිසාය. එදා වගේම අදත් සියල්ල හමස් පෙට්ටිටය යන චෝදනාව නිසාය.

හිතේ වේගය තිබුණත් යාන්ත්‍රණය වේගවත් නොවන්නේ නම් හිතන තරම් ලේසියෙන් වැඩ වෙන්නේද නැත. ඒ නිසාවෙන්ම පසුගිය කාලය තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ස්ථාන ගත වී සිටි තැන පිළිබඳ විමසීමක් කළෙමු.
හොරු අල්ලන තෙක් ඇඟිලි ගනිමින් සිටි ඔබ නොදත් බොහෝ දෑ අද අපි අනාවරණ කර ගෙන ඇත්තෙමු. එය අල්ලස් කොමිසම තුළම පරළ නොවිය යුතු බවට අපි විශ්වාස කරන අතර එය ඔබද අනිවාර්යයෙන් දැන සිටිය යුතු යන විශ්වාසයත් නිසා සියල්ල දිග හැරීමට අපි තීරණය කළෙමු. මේ එහි පළමු අදියරයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද පිහිටි ස්ථානයෙන් ඉවත් කර (කොළඹ නාගරික බලප්‍රදේශයෙන් ඉවත් කර) වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා හා ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසා තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරිම පිළිබඳ ප්‍රශ්නයක් මතුව තිබේ. මෙම ප්‍රශ්න ද්විත්වය හමුවේ අල්ලස් කොමිසමට දැඩි අපහසුතාවන්ට පත් වන්නේ කරන්නට දහසක් රාජකාරි අතරය. අල්ලස්, දූෂණ චෝදනා විමර්ශනය කිරීම වෙනුවට ඔවුන්ට සිදුව ඇත්තේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් එම ප්‍රශ්න නිරාකරණය සඳහා මැදිහත් වීමටය. ශ්‍රී ලංකාවේ එවන් නුහුගුණ තත්ත්වයන් පවතින නිසාම අල්ලස් කොමිසමට අත්විදීමට සිදු වූ දෑ එක් අතකින් අරුම පුදුම දේවල්ද නොවේ. එහෙත් ප්‍රශ්නය වන්නේ ජනතාව ඒවා ගැන හරි හැටි නොදන්නාකමය. ඒ නොදන්නාකම කෙළවර වන්නේ දෙස් දෙවොල් තැබීමෙනි.

2015 ආණ්ඩු මාරුවත් සමඟ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූයේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියයි. එම නව පත්වීමෙන් පසු අගමැතිවරයා අල්ලස් කොමිසමට පැමිණෙන්නේ එහි කටයුතු නිරීක්ෂණය සඳහාය. ඒ වන විටත් ඉඩකඩ සීමිත වීම නිසා අල්ලස් කොමිසම බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙමින් ඉඳ තිබේ. ඊට විසඳුමක් ලෙස කොමිසම ආසන්නයේම පිහිටි පර්චස් 60ක රජයේ ඉඩම අල්ලස් කොමිසමට භාර දීමට ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක කමිටුව තීරණයක් ගෙන ඇත. ඒ වන විට එම ඉඩමේ පැවති නිවස බන්ධනාගාර කොමසාරිස්වරයා සිය නිල නිවස ලෙස භාවිතා කර තිබේ. අල්ලස් කොමිසමට එම ඉඩම පැවරිය යුතු හෙයින් බන්ධනාගාර කොමසාරිස්වරයාට විකල්ප විසඳුමක් ලබා දී එම ඉඩම නිදහස් කර ගෙන ඇත. මේ අතර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්‌ වන අතර එම ධූරයට පත්වන්නේ සරත් ජයමාන්න මහතාය.

සරත් ජයමාන්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීමෙන් අනතුරුව ඔහු වෙත නාගරික සංවර්ධන අධිකාරියෙන් ලිපියක් ලැබෙන්නෙ නව වැඩපිළිවෙල අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹින් පිට ස්ථානයකට රැගෙන ය යුතු හෙයින් ඒ සම්බන්ධයෙන් මැදිහත් වී නව ස්ථානයක් පිළිබඳව සොයා බලන ලෙසයි. අඩුම තරමේ රාජපක්ෂ පාලන සමය තුළදී හෝ ක්‍රියාත්මක නොවුණු මෙම තීරණය පිළිබඳව අල්ලස් කොමිසම එවකට ජනාධිපති ලේකම්ව සිටි පී.බී.අබේකෝන් මහතා සමඟ සාකච්ජා කර තිබේ. එම තීරණය ගැනීමට පෙර අඩුම තරමේ අල්ලස් කොමිසමේ රාජකාරී ස්වභාවය පිළිබඳව හෝ සලකා නොමැත. නිරන්තරයෙන් කොටුව අළුත් කඩේ අධිකරණයට යෑමට තිබීම, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු නිරන්තරයෙන් ගණුදෙනු කිරීමට සිදුවන ආයතන පිළිබඳ හෝ එහිදී සැලකීමක් කර නැත. එපමණක් නොව සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව හෝ මායිම් කර නොමැත. දැනට එම කොමිසම පිහිටි ස්ථානය එකී සියල්ලට පහසු ස්ථානය යන්න හෝ දැකීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාවක් තිබී නැත. 2015 ප්‍රමුඛතම පොරොන්දුව ඉටු කිරීමට "රාජ්‍ය සේවය" අල්ලස් කොමිසමට සහය දීමට සුදානම් වන්නේ එලෙසය. ඒ අනුව මේ පිළිබඳ සාකච්ජා කිරීමට අල්ලස් කොමිසම විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හමුවට ගොස් තිබේ. අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ එහි කිසිදු ප්‍රශ්නයක් නොමැති අතර රජයේ ඉඩම තුළ අවශ්‍ය ගොඩනැගිල්ල සාදා ගන්න ලෙසය.

අනතුරුව අල්ලස් කොමිසම එය ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දෙන අතර ඔහු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කැඳවා උපදෙස් දී තිබුණේ අල්ලස් කොමිසමට අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිකිරීමට වන අනුමැතිය හැකි ඉක්මණින් ලබා දෙන ලෙසය. කැබිනට් මණ්ඩලයෙන් එය අනුමත කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය හිමි විය යුතු හෙයින් එම කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලැබී තිබුණද ඊට ප්‍රතිචාර ලැබී තිබුණේ නැත. මේ අතරතුර පසුගිය නොවැම්බරයේ නැවත අල්ලස් කොමිසමට නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් කමිටුවෙන් දැනුම් දීමක් කරන්නේ අල්ලස් කොමිසම කොළඹින් පිට ස්ථානයකට ( බත්තරමුල්ල ) ගෙන යා යුතු බවයි.

මෙම ලිපිය අල්ලස් කොමිසමට ලැබෙන විට ජනාධිපති ලේකම්වරයා ලෙස පත්ව සිටියේ ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ මෙම හතර බීරි වැඩ ගැන ජනාධිපති ලේකම්වරයා දැනුවත් කිරීමට අල්ලස් කොමිසම ක්‍රියා කර තිබුණි. එහි ප්‍රතිපලයක් ලෙස ජනාධිපති ලේකම්වරයා අගමැති ලේකම් සමන් ඒකනායක, නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් හා අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීන් සාකච්ජාවකට කැඳවා තිබුණේ ගෙවුණු ජනවාරියේය.

නාගරික සංවර්ධන අධිකාරියේ උක්ත තීරණය කුමන පදනමකින් ගත්තේද යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ 2008 චක්‍රලේඛයකට අනුව පරිපාලන ගොඩනැගිලි කොළඹින් පිටතට ගෙන යාමේ තීන්දුවක් ගෙන ඇති අතර ඒ අනුව අල්ලස් කොමිසමටද එය දැනුම් දුන් බවයි. මේ අවස්ථාවේදී අල්ලස් කොමිසම පෙරළා නාගරික සංවර්ධන අධිකාරියෙන් ප්‍රශ්න කර ඇත්තේ පරිපාලන ආයතනයක හා අල්ලස් කොමිසමේ කාර්ය භාර්ය ගැන ඔවුන්ට අවබෝධයක් නැතිද යන්නයි. යුක්තිය පසිඳලීම සඳහා වන අධිකරණමය රාජකාරී සිදු කරන අල්ලස් කොමිසම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වාරි මාර්ග දෙපාර්තමේන්තුව වැනි ආයතන ව්‍යුහය තුළට නොගන්නා ලෙස අල්ලස් කොමිසම නාගරික සංවර්ධන අධිකාරියට අවධාරණය කර තිබේ. තීරණ ගැනීමට පෙර අදාළ ආයතනයේ ව්‍යුහය හා ස්වභාවය පිළිබඳ හදාරන ලෙසත් මහත්මා ස්වභාවයට අනුව අදාළ ආයතනයෙන් ඒ පිළිබඳ විමසීමක් කරන ලෙසත් කොමිසම නාගරික සංවර්ධන අධිකාරියට පවසා ඇත.

ලංකාවේ හතර කොනෙන්ම අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ඉදිරිපත් කරන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වන අතර නඩු විභාග වන්නේද කොටුව මහේස්ත්‍රාත් හා මහාධිකරණයේ වන අතර අඩුම තරමේ බත්තරමුල්ලේ ඒ සඳහා වන පහසුකම කුමක්ද යන්න නාගරික සංවර්ධන අධිකාරියෙන් කොමිසමේ නිලධාරීන් විමසා තිබේ.

එහිදී නාගරික සංවර්ධන අධිකාරිය අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ තීරණයට එරෙහිව අභියාචනයක් ලබා දෙන ලෙසය. රාජ්‍ය යාන්ත්‍රණයේ ස්වභාවය අල්ලස් කොමිසමත් හොදින්ම දන්නා හෙයින් ඔවුන් එම අභියාචනය සකස් කර ගෙනම සාකච්ජාවට ගොස් ඇති අතර එය ඒ මොහොතේම නාගරික සංවර්ධන නිලධාරින් වෙත එය භාර දී ඇත.

මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කර ඔවුන්ගේ මැදිහත් වීමක් අනවශ්‍ය බව පවසා සෘජුව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන ලෙස අල්ලස් කොමිසමට පවසා තිබේ. එහෙත් එහිදී ඔස්ටින් ප්‍රනාන්දු මහතා මැදිහත් වී අල්ලස් කොමිසමේ අභියාචනය අනුව ඔවුන්ට කඩිනමින් දැනුම් දීමක් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඔවුන්ගේ නම්බුවද යාන්තමින් හෝ බේරා දීමට කටයුතු කර තිබේ. එම සාකච්ජාවෙන් දින 3කට පසු අල්ලස් කොමිසමට ලියන නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ අල්ලස් කොමිසම කොළඹින් පිටතට ගෙන යාමට ගත් තීන්දුව ඔවුන් අතින් වැරදීමකින් සිදුවූවක් වන බවයි.

එහෙත් අල්ලස් කොමිසමේ නව ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා වන බාධා එතෙකින් නිමා වී නැත. අල්ලස් කොමිසම සැලසුම් කර තිබුණේ භූමිය සීමිත හෙයින් ඉඩකඩ උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් නව ගොඩනැගිල්ල තට්ටු 18ක් සහිතව ඉදිකිරීමටය. එයට විරෝධය දක්වන නාගරික සංවර්ධන අධිකාරිය නව ගොඩනැගිල්ල තට්ටු 10කට සීමා කරන ලෙස දන්වන්නේ එය ඉක්මවීමට රෙගුලාසි නොමැති බවයි. එම රෙගුලාසි තමන් වෙත දන්වන ලෙස අල්ලස් කොමිසම නාගරික සංවර්ධන අධිකාරියට දන්වා ඇති ඇති අතර ඊට රෙගුලාසි දැක්වීමක් නොකර උදාහරණයක් ලෙස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පෙන්වා තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි දැක්වීම එසේ වන නමුත් අල්ලස් කොමිසමට තට්ටු 18 ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා කිසිදු නීතිමය බාධාවක් හෝ ප්‍රමිතියේ බාධාවක් හෝ නොමැත. එහෙත් නාගරික සංවර්ධන අධිකාරිය හැසිරෙමින් සිටින්නේ තොත්ත බබාලා මෙන් වීම නිසා තවමත් එම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට හැකි වී නැත.

මෙවන් තත්ත්වයක් රාජපක්ෂ පාලනයේ හෝ නොතිබීම විශේෂත්වයකි. අල්ලස් කොමිසම හතරගාතෙන් ඇද වැටි තිබූ එසමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ම කැබිනට් තීන්දුවක් ගෙන අල්ලස් කොමිසම පවතින භූමිය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දිය යුතුය යන්න එවකට ගෙන තිබූ තීන්දුවෙන්ද කොමිසම නිදහස් කර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර දී තිබුණි. එපමණක් නොව 2010 වසරේදී නැවතත් ඔහු කැබිනට් මණ්ඩලයේදී තීරණය ගෙන මහල් දෙකකින් ඉදිකිරීමට යෝජිත එම ගොඩනැගිල්ල මහල් 5ක් දක්වා වැඩි කර ගන්නා ලෙසද අනුමැතිය දී තිබුණි. මොනවා වුනත් ඒ එදාය. මේ මෙදාය.

මේ අනුව අල්ලස් කොමිසමේ මුඛ්‍ය රාජාකාරි වලට අමතරව මෙවන් සිද්ධි නිරාකරණය කර ගැනීමටද සිදුව තිබේ. මේ එක් සිද්ධියක් පමණි. තවත් දෑ පසුපසින් පෙළ ගැසෙමින් තිබේ. ඉතින් අපි බොහෝ දෙනා අල්ලස් කොමිසමට දෙස් දෙවොල් තිබ්බේ හොරු ඇල්ලීම එදා වගේම මේ කපෙත් නොවන දෙයක් ලෙසය. මෙවන් තත්ත්වයන් තුළ මුඛ්‍ය අරමුණු කාර්යක්ෂමව ඉටුකිරීමේ බාධා වෙයි. එහෙත් සමාජය මෙකී කාරණා ගැන අඹ මල් රේණුවක දෙයක් දන්නේද නැත. දැන් හෝ දත යුතුය. රාජ්‍ය සේවයේ මේ නුහුගුණ අනාවරණය වන තරමට ඒවා නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාව හෝ මතු වනු ඇත. එහෙත් මේ සියලු බාධක මැද අල්ලස් කොමිසම විත්තිකරුවන් වැඩි ප්‍රමාණයක් වරදකරුවන් ලෙස තීන්දු කර තිබුණේද පසුගිය වසරේදීය. ඒ පිළිබඳවද අපි ඔබට ඉදිරියේදී කරුණු අනාවරණ කරන්නෙමු.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment