අලුත් කෙත්බිම් අක්කර 15,000ක් අස්වද්දන 'සෙංගල්ඔය වාරි ව්‍යාපෘතිය' 10 වැනිදා ඇරැඹේ.
අලුත් කෙත්බිම් අක්කර 15,000ක් අස්වද්දන ආණමඩුව සෙංගල්ඔය වාරි ව්‍යාපෘතිය දෙවන අදියර ආණමඩුවේදි 10 වැනිදා පෙරවරුවේ ආරම්භ වෙයි.
වයඹ පළාතේ පල්ලම සිට ආරච්චිකට්ටුව දක්වා ගොවි සංවිධාන 14ක ගොවි පවුල් 2000 කට සෙත සලසන මෙම ව්‍යාපෘතිය මඟින් වයඹ පළාතේ ම සංවර්ධනයට මහ මෙහෙයක් ඉටුවන බව වාරිමාර්ග ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ ඇමැති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
දැදුරු ඔය පල්ලමදි හරස්කර එම ජලය කිලෝ මීටර 17ක් දිග ඇළක් ඔස්සේ මයියාව දක්වා යවා ඒ මඟින් කුඹුරු බිම් අක්කර 15,000ක් යළි අස්වැද්දීමත් ජෛව විවිධත්වයෙන් පොහොසත් ආනවිලුන්දාව තෙත් බිමට ජලය ලබාදීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වේ.
රුපියල් කෝටි 500 ක වියදමින් මෙම ව්‍යාපෘතිය ඉදිවන අතර ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය නව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආණමඩුවේදි පැවැත්වෙන බවත් ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරි චාමර ද මෙල් මහතා පවසයි. 1966 වසරේ ආරච්චිකට්ටුව මයියාව විහාරාධිපතිව වැඩ සිටි අතිපූජ්‍ය සද්ධාතිස්ස මහනාහිමියන්ගේ වීර්යෙන් ඉදිකෙරුණු මෙම ව්‍යාපෘතිය මුල් අදියර ද දැන් මුළුමනින් ම අඩපණ වී තිබේ. ඒ අනුව එම අදියර යළි බල සම්පන්න කර එය වයඹ පළාතේ ප්‍රධාන ගොවි ජන ව්‍යපෘතියක් ලෙස ඉදිකිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවද ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරිවරයා පවසයි.
0 comments :
Post a Comment