රත්‍රං ආනයන සීඝ්‍රයෙන් ඉහළට : වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වෙයි.


2018 පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පුළුල් වීම මධ්‍යයේ වුවද සංචාරක පැමිණීම්හි සිදු වූ කැපී පෙනෙන වර්ධනය සහ කොටස් වෙළඳපොළ වෙත වූ අඛණ්ඩ ශුද්ධ විදේශීය ලැබීම් තුළින් විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය විදහා දැක්වුණි.

රත්‍රං ආනයනයෙහි සිදු වූ ශීඝ්‍ර වැඩි වීම ආසන්න වශයෙන් වසර තුනහමාරක කාලය තුළදී සමස්ත වෙළඳ භාණ්ඩ ආනයනයෙහි සිදු වූ වේගවත්ම වර්ධනය සඳහා මූලිකවම හේතු වූ අතර එය, 2018 පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟය තවදුරටත් පුළුල් වීම සඳහා හේතු විය.

2018 ජනවාරි මාසයේදී දක්නට ලැබුණු වර්ධන ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2018 පෙබරවාරි මාසයේදී සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වැඩි විය. කෙසේ වුවත්, ජනවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල දක්නට ලැබුණු වර්ධනයෙන් අනතුරුව 2018 පෙබරවාරි මාසයේදී එහි අඩු වීමක් පෙන්නුම් කළේය.

2018 පෙබරවාරි මාසයේදී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම තුළ කොටස් වෙළඳපොළ වෙත වූ විදේශීය ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, එය රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි වූ ශුද්ධ ගෙවීම මගින් වන බලපෑම අවම කිරීම සඳහා දායක විය. 2018 අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් සාර්ථකව නිකුත් කිරීම තුළින් ගෙවුම් තුලනය තවදුරටත් ශක්තිමත් වූ අතර, එමගින් 2018 අප්‍රේල් මාසය අවසානය වන විට දළ නිල සංචිත මේ දක්වා වාර්තා වූ ඇස්තමේන්තුගත ඉහළම මට්ටම වන එ.ජ. ඩොලර් බිලියන 9.9 ක් දක්වා වර්ධනය විය.

මේ අතර, 2018 වසරේ මැයි මස 11 දක්වා කාලපරිච්ඡේදය තුළදී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.2 කින් අවප්‍රමාණය විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2018 පෙබරවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment