හැරී කුමරුගේ මනාලියගේ පියා, හැරී කුමරුගේ පියා ය!

හැරී කුමරුගේ මනාලියගේ පියා, හැරී කුමරුගේ පියා ය!

ඒ අනුව හෙට දිනයේ යෙදී තිබෙන රාජකීය මංගල්‍යයේදී හැරීගේ පියා, මෙගන් ගේ පියාගේ භූමිකාව ඉටු කරනු ඇත.

හෙට (19) දිනයට යෙදී තිබෙන බ්‍රිතාන්‍ය රජ පවුලේ බාලයා වන හැරී කුමරුගේත් ඇමරිකානු ජාතික නිළිය මෙගන් මර්කෙල්ගේත් මංගලෝත්සවයට මෙගන්ගේ පියා වන තෝමස් මර්කෙල් හට සහභාගි වීමට නොහැකි බව මේ වන විට සනාථ වී තිබේ. නමුත් සුරූපී මෙගන් කුමරියට ඒ අඩුව නොදැනෙනු ඇත්තේ, හැරී කුමරුගේ පියා වන චාල්ස් කුමාරයා විසින් ඒ තැන පුරවන නිසා ය.

කෙන්සින්ටන් මාළිගය මේ බව අද දිනයේ නිල වශයෙන් සනාථ කළේ ‘‘වේල්ස් හි කුමාරයා මේ අන්දමින් මර්කෙල් මෙනෙවිය රාජකීය පවුල වෙත කැඳවාගෙන ඒමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මහත් සතුටින් පසුවන බව“ට නිල වශයෙන් නිවේදනය කරමිනි.

‘පීපල්‘ සඟරාව වාර්තා කළේ පියාගේ අඩුව පුරවන ලෙසට චාල්ස් කුමරුගෙන් ඉල්ලා සිටියේ මෙගන් මර්කෙල් විසින් බවයි.

මෙගන්ගේ පියා නොඑන හේතුව

මෙගන්ගේ පියා හෙවත් හැරී කුමාරයාගේ අනාගත මාමණ්ඩිය සිය දියණියගේ මංගලෝත්සවයට නොපැමිණීම, පසුගිය සතිය පුරාම එංගලන්තයේ ජනප්‍රියම වාගාලාපය බවට පත්ව තිබිණි. විවිධ අය ඒ සඳහා විවිධ හේතු දක්වා තිබිණි. කෙසේ නමුත් මේ සියලු ඕපාදූප අතරින් සත්‍ය කතාව වූයේ තෝමස් මර්කෙල් ගේ දැඩි අසනීප තත්වයයි. මේ සතියේ මුල තෝමස් මර්කෙල් හෘද සැත්කමකට බඳුන් වී තිබෙන්නේ හෘදයාබාධයක් වැළඳීම නිසා ය.

හැරී කුමරුට මේ දක්වාම සිය මනාලියගේ පියා වන තෝමස් ව මුණ ගැසී නැත. රූපවාහිනී ක්ෂේත්‍රයේ ආලෝකකරණ අධ්‍යක්ෂවරයෙක් වන තෝමස් දිවි ගෙවන්නේ මෙක්සිකෝවේ ය.

මෙගන් කුමරියගේ මව වන ඩෝරියා රැග්ලන්ඩ් කලින් සැලසුම් කළ පරිදිම මංගල රථයෙන් මෙගන්ව සාන්ත ජෝසප් දෙව්මැදුර වෙත කැඳවාගෙන ඒමට නියමිත ය. ඩෝරියා හෙවත් හැරී කුමරුගේ නැන්දම්මා සමාජ සේවිකාවක සහ යෝග උපදේශකවරියකි. ඇය ඊයේ දිනයේ ලොස්ඇන්ජලීස් නුවර සිට ලන්ඩනය බලා ආවාය. අද දිනයේ ඇයට මුලින්ම එලිසබෙත් රැජිනව මුණ ගැසෙනු ඇත්තේ, වින්ඩ්සර් මාළිගයේ සන්ධ්‍යා තේ පානයකදී ය. ඇය මේ වන විටත් කේම්බ්‍රිජ් හිදී කෝන්වෝල් ආදිපාද චාල්ස් කුමාරයා, ඔහුගේ බිරිඳ වන කෝන්වෝල් හි ආදිපාදවරිය කැමිලා පාකර් මෙන්ම හැරී කුමරුගේ අයියා වන කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් කුමරියද මුණ ගැසී අවසන් ය.

හෙට දිනයට යෙදෙන ඇගේ දියණියගේ ලස්සනම දවස උදා වන තෙක් ඇය, දියණිය මෙගන් සමග නවාතැන් ගනු ඇත්තේ ටැප්ලොව් හි ක්ලව්ඩන් හවුස් හි ය. එය බකිංහැම්ෂයරයේ, තේම්ස් නදිය ඉස්මත්තේ පිහිටා තිබෙන ඉතාලි ක්‍රමයට ඉදිකරන ලද අති සුන්දර හෝටලයකි.

හැරීගේ සීයා එයි.

මේ අතර දෙවන එලිසබෙත් මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමාරයා නොහොත් එඩින්බරෝ ආදිපාදවරයා ද හැරී කුමරුගේ මංගල්‍යයට සහභාගි නොවන බවට කටකතා රැසක් පැතිර තිබිණි. සත්‍ය වශයෙන්ම 96 හැවිරිදි එඩින්බරෝ ආදිපාදවරයා හෙවත් හැරී කුමරුගේ සීයා, සිටියේ උකුළේ ශල්‍යකර්මයකට සහභාගි වී සුවය ලබමිනි. නමුත් මේ වන විට තහවුරු වී තිබෙන්නේ එසේ සුවය ලබමින් සිටින අතරවාරයේම ඔහු සිය බාල මුණුපුරාගේ මංගලෝත්සවය සඳහා සහභාගි වන බවයි.

සම්ප්‍රදායික නොවන මංගල කේක් ගෙඩිය

මෙවර මෙගන් මර්කෙල් විසින් සිය මංගලෝත්සවය සඳහා තෝරාගෙන තිබෙන්නේ සම්ප්‍රදායික නොවන කේක් සැකසුමකි. එය තට්ටු ගණනාවකින් යුත් රාජකීය කේක් සැකසුමක් නොව සරල, තට්ටු 3 කින් යුක්ත මෙය සැරසෙන්නේ elderflower swiss meringue buttercream වලින් සහ නැවුම් මල්වලිනි. අමාල්ෆි වර්ගයේ ලෙමන් ගෙඩි 200 ක්, Sandringham elderflower කෝඩියල් බෝතල් 10 ක්, බටර් කිලෝ 20 ක්, පාන් පිටි කිලෝ 20 ක්, සීනි කිලෝ 20 ක් හා සෆෝක්ස් වලින් මේ වෙනුවෙන්ම ගෙන ආ ‘ඕගනික් බිත්තර‘ 500 ක් එය සෑදීමට යොදා ගනියි.

මේ කේක් සාදන්නිය වන ක්ලැරී ටැක් පවසන්නේ මේ සැකසුම සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය කලාත්මක නිර්මාණයක් බවයි. ක්ලැරී ටැක්, නැගෙනහිර ලන්ඩනයේ සුප්‍රසිද්ධ වයලට් බේකරියේ (Violet Bakery) හිමිකාරියයි.

දඩබ්බරයාගේ ආදරය

36 හැවිරිදි මෙගන් මර්කෙල් හැරී කුමරු සමග අතිනත ගැනීම, සුරඟන කතා පුවතක් සැබෑ වීමට සහ මහපොළොවේ සිටි යුවතියක් රාජ කුමාරිකාවක බවට පත්වීමට වඩා එහා යන දෙයකි. මෙගන්ගේ මව අප්‍රිකානු ඇමරිකානු සම්භවයකින් යුතුය. මෙගන් ද කුඩා කාලයේ පටන්ම සිය මිශ්‍ර සම්භවය සහ ජාතිකත්වය හේතුවෙන් විවිධ අවසැලකීම්වලට ලක් වූ යුවතියකි. පසුකාලීනව අති ජනප්‍රිය ඇමරිකානු රූපවාහිනී නිළියක බවට ද හොලිවුඩයටද පිවිසි ඇය, මෙයට පෙර වරක් විවාහ වී දික්කසාද වූ යුවතියකි. මේ සියල්ල තිබියදී රජ පවුලේ දඩබ්බරයා වන හැරී කුමාරයා, ඇයට පෙම් කර, එයින් නොනැවතී ඇයව සිය පතිනිය කර ගැනීම පමණක් නොව, ඇගේ පවුලට බ්‍රිතාන්‍ය රජ පවුලෙන් නිසි ගෞරවය හිමි කර දීමට සමත් වීම මේ කථාන්දරයේ කැපී පෙනෙන කතාංගයන් ය. (කියවන්න, හැරී කුමරු කැකිරි පළයි!! ) වෙනත් කාන්තාවකට පෙම් බැඳ සිටියදී එදා සුරූපී ඩයනා කුමරියව බිරිඳ කරගත් චාල්ස් කුමාරයා කිසිදිනෙක ඩයනා කුමරියව සතුටින් තැබුවේ නැත. ඩයනා කුමරියට මෙන්ම ඇගේ පවුලට ද රජ පවුලෙන් නිසි ගෞරවය ලබාදීමට ද චාල්ස් කුමරු කරදර වුණේ නැත. ඒ අර්ථයෙන් බලන විට හැරී කුමරු සිටින්නේ, සිය පියාට වඩා අතිශයින් ඉදිරියෙනි.

- අමාලි ජයවීර | OUTBOUNDTODAY.COM

කියවන්න.
හැරී කුමරු කැකිරි පළයි!!

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment