‘‘දේශපාලන සොහොනට යන්නට අපි සූදානම් නැහැ.’’ - ඇමති චම්පික


ජාවාරම්කාර පිරිස් සමග දේශපාලන සොහොනට යන්නට අපි සූදානම් නැති බව ඇමති චම්පික රණවක පවසයි.

ජාතික හෙළ උරුමයේ මහලේකම් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළ කළේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි දිනයට එක් වෙමිනි. මෙහිදී දැය නැගුමට වෙහෙසෙමින් වැඩකරනා ශ‍්‍රමිකයින් සඳහා රක්ෂණාවරණ 1000ක් පිරි නැමීමද මෙහිදී සිදු කෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා, අප පසුගිය වසරේ ආරම්භ කලා මෙරට වැඩකරන, දහදිය හෙළන සමාජයේ අන්තම පීඩාවට පත් වෙලා ඉන්න අපේ ජනතාව වෙනුවෙන් නිශ්චිත රක්ෂණාවරණයක් ලබාදීලා ඔවුනගේ ජීවිත සුරක්‍ෂිත භාවය ආරක්‍ෂා කර ගැනීම සඳහා වන වැඩසටහනක්. එම වැඩසටහන මේ වසරේදීත් ඉදිරියට ගෙනයන්න කල්පනා කළා. මේ මහා කොළඹ නගරයේ අද 70% ක් ජීවත් වන්නේ පැල්පත්වල. විවිධ ආණ්ඩුවල විවිධ වැඩපිළිවෙලවල්, වැඩසටහන් තිබුණත් මෙම ජනතාවගේ ගැටලූව සදහටම 100% කින් විසඳන්න කිසිම වැඩපිළිවෙලක් වැඩසටහනක්, කිසිම ආණ්ඩුවකින්, කිසම දේශපාලනඥයෙකුගෙන් දියත් වුණේ නැහැ. අද අපි ප‍්‍රධාන නගර පහක් කොළඹ නගරය ඇතුළත ගොඩනගමින් තිබෙනවා. ඒවයේ ප‍්‍රතිපළ මෙම වසරේ, ලබන වසරේ අපට ලබා ගන්න පුළුවන්. උතුරු කොළඹ පැල්පත්වල ජීවත් වූ මඩවගුරුවල ජීවත් වූ, මත්ද්‍රව්‍ය, දුරාචාරයන්ට සම්බන්ධ වෙමින් තමන්ගේ ජීවිත විටින් විට සෑම අවස්ථාවකදීම මැයි දිනයේදී දේශපාලකයින්ගේ පෙළපාලිවලට, අරක්කුවලට, බුරියානි පැකට් එකට විකුණපු ජනතාවගේ ජීවිත වෙනස් කිරීම සඳහා අපි අද විශාල නගරයක් උතුරු කොළඹ ඉදිකරමින් යනවා. ඒ නගරයේ අරමුණ අනාගතයේ පැල්පත්වාසීන්ගෙන් තොර සුන්දර උතුරු කොළඹක් ඇති කිරීමයි. අපි මෙම වසර අවසන් වන විට නිවාස 9000 ක් පමණ හේනමුල්ල නව නගරයේ ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. එහි වැදගත්කම මෙයයි, මෙරට නාගරික නිවාස සංවර්ධනයේ ප‍්‍රමුඛයෝ හැටියට එදා පීටර් කෙනමන් මැතිතුමා වගේම ආර්. පේ‍්‍රමදාස මැතිතුමා වැනි අය කි‍්‍රයා කළා. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩානායක මැතිණියගේ කාලයේ සහස්පුරය ගොඩනැගුණා සේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයෙත් මිහිදුසෙන්පුර ආදී නාගරික ව්‍යාපෘති ගොඩනැගුණා. මේ සියල්ල එකතු කළත් කොළඹ නගරයේ නිවාස සෑදී ඇත්තේ 1600 යි. අපි මේ 2020 වන නාගරික සංවර්ධන අධිකාරියෙන් කිසිඳු ප‍්‍රචාරයකින් තොරව අපි අපේ ජනතාවට නිවාස 20000 ක් ලබාදෙන්න කටයුතු කරනවයි කියන එක අපි කියන්න  ඕනේ.

එය තමයි අපි මෙරට නාගරික පීඩිතයාට කරන ලොකුම මෙහෙය. ඒ වගේම ඔහුට උතුරු කොළඹ පමණක් නෙමෙයි, දෙමටගොඩ ප‍්‍රදේශයේ තව නගරයක් ගොඩනැගෙනවා. කොළොන්නාවේ තව නගරයක් ගොඩනැගෙනවා. මාලිගාවත්ත, වගේම නැගෙනහිර කොළඹ නාවල ප‍්‍රදේශයේ තවත් නගර ගොඩනැගෙනවා. එම නගර පහ ආවට පස්සේ කොළඹ නගරයේ දුම්රිය මාර්ගයේ ගෙවල් සාදාගෙන සිටින අය තෙල් නලය උඩ ගෙවල් අල්ලාගෙන සිටින අය, ජලනල උඩ, බේරේ වැව ආදී ස්ථානවල වැසිකිලි කැසිකිලි නැතිව වතුර පාරවල්වල එම කටයුතු සිදුකරන ජනතාවගේ ජීවිත වෙනස් කරන්න අපි කටයුතු කර තිබෙන බව අපි මතක් කළ යුතුයි. මෙම නිවාස ඉදිකිරීම් කටයුතු සිදු කළ පසුගිය කාලයේ සියළු නායකයින්ට රාජ්‍ය මූල්‍ය අනුග‍්‍රහය ඇති තරම් ලැබුණා. නමුත් අවාසනාවකටප අද ආණ්ඩුව පත්වී තිබෙන පැරණි ණය බරේ ගැටළු නිසා අපට අරමුදල් නොතිබුණත් අරමුදල් සම්පාදනය කරගෙන කාටවත් නහයෙන් හඬන්නේ නැතිව එම කටයුත්ත දියත් කර තිබෙනවා. 2023 වන විට පැල්පත් නැති නගරයක් බවට කොළඹ නගරය පත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එම පරිවර්ථනයක් සමගම අප නගරයේ  වැර වෑයමෙන් ජීවත්වන එම ජනතාවගේ ජීවිතත් පරිවර්ථනය විය යුතුයි. එම ජනතාව අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන්, ජීවිත රැුකවරණයෙන් වර්ධනය වී ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අවශ්‍යය කරන පියවර තමයි අපි මේ පියවරෙන් පියවර තබාගෙන යන්නේ.

ඒ වගේම කොළඹ නගරයේ විසඳන්න බැහැයි කියල තිබූ කැළි කසළ ගැටළුවට විසඳුම් ලබාදීමට අපට හැකිවී තිබෙනවා. පසුගිය කාලයේ හමුදාවෙන් යොදවලා කොළඹ කැළි කසල එකතු කරලා මීතොටමුල්ල නගරයේ ගොඩගහලා කුණු කන්දක් හදලා කොළඹ ලස්සන කළා. පසුගිය වසරේදී එයින් මහා ඛේදවාචකයක් සිදුවුණා. දැන් එය මේ රටට මතක නැහැ. අද අපි කොළඹ නගරයේ 95% ක් කැළි කසළ අද වෙන් කරලා විධිමත් සැලසුම් කරණයට අනුව ලබාදෙනවා. ඒ කැළි කසල එකතු කරන පුද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ එම ජනතාවට ධෛර්යමත් ජීවිතයක් අපි සහතික කරලා ලබාදී තිබෙනවා. ඒ වගේම කැළිකසල වලින් අප අමාත්‍යාංශය මගින් කෙරවළපිටියේ කොම්පොස්ට් පොහොර හැදෙනවා. එමගින් මෙරට පොල්වලට, තේවලට, රබර්වලට පොහොර ලබාදෙනවා පමණක් නෙමෙයි, අනාගතයේ අපි ගොඩනගන වරාය නගරයේ, එහෙම නැත්නම් සාගර නගරයේ උදාකරන මේ අපේ විහාර මහාදේවී උද්‍යානය වගේ කිහිප ගුණයක් විශාල උද්‍යානයේ අනාගතයේ වැවෙන රූස්ස ගස්වලට පොහොර සපයන්නේ අද ඒ කොළඹ කැළි කසළවලින් කියන එක.

අද මේ නගර සභාවට කරන්න දෙයක් නැහැ. මේ නගර සභාවේ සෑම ප‍්‍රශ්නයක්ම විසඳන්න කටයුතු කරලා තිබෙනවා. අපි ඒ ගැන ලොකුවට මාධ්‍යවල ප‍්‍රචාරය කරලා නැහැ. අපගේ පුංචි ප‍්‍රශ්නයක් තිබුණත් සමහර මාධ්‍යවලින් ලොකුවට විවේචන කරන්නේ. මේ ලබලා තිබෙන ජයග‍්‍රහණ ගැන හුඟ දෙනෙක් නිහඬ උනාට මෙරට අපේ ජනතාව දැන්නවා මේ නගරය විධිමත්ව පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි කියන එක පිළිබඳව සියුම් හද ගැස්මක්, යම් පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ නිසා තමයි අද ගෙවල් කඩන කොට මිනිස්සු පාරට එන්නේ නැත්තේ. පසුගිය කාලයේ ගෙවල් කඩන කොට පාරට පෙළපාලී ආවා. ගෙවල් කඩලා ඉඩම් ටික හිතවතුන්ට ලබාදුන්නා. හිතවතුන්ට එම ඉඩම් ලබාදී තමන්ගේ  විදේශීය ගිණුම්වලට කොමිස් දා ගත්තා. දාගෙන කියනවා අපි තමයි කොළඹ පිරිසිදු කලේ, අපි තමයි කොළඹ හැදුවේ කියලා.

මිත‍්‍රවරුණි කොළඹ තිබෙන වටිනාම ඉඩම් විකුණලා අද වෘත්තීයවේදීන්ගේ පෙරමුණු හදාගෙන රට හදන එක ගැන කතාකරනවා දැක්කාහම අපට හිනා යනවට වඩා කේන්ති යනවා මිත‍්‍රවරුණි. කොළඹ කොම්පඤ්ඤවීදියේ, පිටකොටුවේ, ගාලූමුවදොර ඉඩම් හිතවතුන්ට නොමිලේ ලබාදී තමන්ගේ කුස පුරෝගත් යුගය අද අපි අවසන් කර තිබෙනවා. මේ දකුණු ආසියාවේ වැඩිම දොඹකර ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක වන්නේ මේ කොළඹ නගරයේ. මේ හැම ඉඩමක්ම අපි තරඟකාරී පදනමකින් ලබාදී මේ රටේ ජාතික ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබාදී තිබෙන එකත් අප අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම ඒ හැම නාගරික පහසුකමක් මගින්ම අපේ ජනතාවගේ සෑම බලගතු ගැටළුවක් විසඳීම සඳහා අපි පියවර තබලා තිබෙනවායි කියන එකත් අපි ප‍්‍රකාශ කරන්න  ඕනේ.

ඒ වගේම පසුගිය කාලයේ විශාල ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ එකක්වත් අපි ආපසු හරවන්න හොඳ නැහැ. අද හුඟක් දෙනෙක් නිදහස් අධ්‍යාපනය ගැන කතා කළාට සී.ඩබ්.ඩබ් කන්නන්ගර මැතිතුමත්, මෙරට ගෞරවනීය මහා සංඝරත්නයත් පමණයි එදා ඒ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටියේ. ඒ අධ්‍යාපන අපේ ඓතිහාසික උරුමයක්. අපේ විහාරස්ථානයෙන් අපේ ස්වාමීන් වහන්සේලා ඒ 64 ක් ශිල්ප ශාස්ත‍්‍රය රජ දරුවන්ටත්, සාමාන්‍ය ජනතාවට ලබාදුන්නේ සේවයක් කොට සලකලයි. පරාර්ථචර්යාවෙනුයි. කිසි කෙනෙක් මුදලට අධ්‍යාපනය නමැති දායාදයක ලබාදුන්නේ නැහැ. අනාගත ජීවිතය සඳහා, අනාගත රට ගොඩනැගීම සඳහාවන නිදහස් අධ්‍යාපනයේ මුල තිබුණේ කොහේවත් නෙමෙයි මෙරට අපේ විහාරස්ථානයෙයි. ඒ නිසා තමයි අවුරුදු 70 ක් මෙරට නිදහස් අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව ලැබී තිබෙන්නේ. එහි ප‍්‍රතිඵලය කුමක්ද 100% ක් සාක්ෂරතාවය තිබෙන දැනුමෙන් සන්නද්ධ ජනතාවක් මේ රටේ පහල වීම. අවට කලාපයේ කොහේවත් රටවල්වල නැති අද ලෝකයේ ඇතැම් දියුණු යැයි සම්මත රටවල්වල පමණක් තිබෙන ශක්තිමත් අධ්‍යාපනයක් අපි ඇති කරගෙන තිබෙන්නේ එහි ඇති ශක්තියෙන්.

ඒ වගේම සෞඛ්‍ය සේවය, අද මේ රටේ සාමාන්‍ය මිනිසෙකුගේ ආයු කාලය අවුරුදු 80 ක් පමණ සීමාවකට අප ගෙනවිත් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයෙත් අනෙකුත් දියුණූ රටවලවත්  ආයු කාලය එතැයි. අපි බෝ නොවන රෝගයන් බොහොමයක් මේ රටින් තුරන් කර තිබෙනවා. අලූත් අභියෝග ඇතිවී තිබුණත් අද මේ රටේ සෞඛ්‍ය සේවය ලෝකයේ අනෙක් සෞඛ්‍ය සේවයන්ට වඩා ඉතාමත්ම බලගතු තත්වයක් තිබෙන බව අපි බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරන්න  ඕනේ. වෙන රටවල්වල, ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැුක් ඔබාමා රජය දුප්පත් ඇමරිකානුවන්ගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් දායක වෙන්න  ඕනෙ කිව්වා. ඔබමා කෙයා නමින් වැඩපිළිවෙලක් ගෙනාවා. මොකද උනේ පසුගිය මැතිවරණයේදී ඔබාමාගේ ඩිමොක්‍රොටික් පක්ෂයට එරෙහිව ගෙනාපු ප‍්‍රධාන චෝදනාව තමයි ඇයි මගේ මුදල්වලින් අනුුන්ගේ රක්ෂණාවරණයකට ගෙවන්නේ කියන එක ඇහුවා. ඇයි මගේ මුදලින් අනුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කියලා. මෙය තමයි ඇමරිකානු මෙන්ම යුරෝපයේ ජනතාවගේ ප‍්‍රශ්නය. ඒ වගේම ලෝකයේ අනෙකුත් දියුණු යැයි පවසන රටවලත්, සමාජවාදී යැයි පවසන රටවලත් ගැටළුව ඇයි අපේ මුදලින් අනුන්ගේ දරුවන්ට සෞඛ්‍ය ලබාදෙන්නේ, අධ්‍යාපනය ලබාදෙන්නේ කියන එක. මේ රටේ එම ප‍්‍රශ්නය කවුරුවත් අහන්නේ නැහැ. එය විමසන්නේ නැත්තේ මෙරට බෞද්ධ සාරධර්ම වලින් මතු වූ නිසයි මිත‍්‍රවරුනි. අද ප‍්‍රංශයේ ජනාධිපතිට එරෙහිව පෙලපාලි. එංගලන්තයේ  අගමැතිතුමිය මැතිවරණයෙන් අන්තපරාජයක් අත් වුනේ අධ්‍යාපනයට අත තියන්න ගිහිල්ලයි. ඒ නිසා මෙම ආණ්ඩුවේද සමහර ඔලමොට්ටල පිරිස්, බටහිර ලෝකයේ ඇති ඇතැම් අදහස් විකෘති කරලා අරගෙන තමන් නොදන්න දේවල් කි‍්‍රයාත්මක කරන්න ගිහිල්ලා අනවශ්‍ය ප‍්‍රශ්න මෙරට අධ්‍යාපනයේ ඇති කර ගත්තා. කෙසේ වෙතත් අධ්‍යාපනයේ කන්නංගර මැතිතුමත් අපේ රටේ ගෞරවනීය ස්වාමීන්වහන්සේලාත් මේ රටේ සමස්ථ ජනතාවටට ආගම්, කුල, ස්ත‍්‍රී -පුරුෂ බේදයෙන් තොරව ලබාදී මේ අධ්‍යාපන උරුමය අපි ඉදිරියට රැගෙන යායුතු වෙනවා මිත‍්‍රවරුණි.

2007 වර්ෂයේදී කොළඹ නගරයේ ප‍්‍රවාහන අමාත්‍යාංශයත් සමග එකතුව වායු විමෝචන කි‍්‍රයාවලිය ආරම්භ කළහම නොයෙක් විවේචන ආවා. නමුත් අද ආඩම්බරයෙන් කිව යුතුයි ලෝකයේ නගර බොහොමයක් දූෂණයෙන් දූෂණයට යද්දී දූෂණය අඩු කර ගත් එකම නගරය බවට  කොළඹ නගර පත් වුනේ එදා අපි දූර දර්ශීව ගත් කි‍්‍රයා මාර්ගය නිසයි මිත‍්‍රවරුණි. අද කොළඹ නගරයේ මධ්‍යම පාන්තික නිවෙස්වලට අවට කලාපයේ පිරිස් අද විවෘතව පැමිනෙන්නේ මෙය ජීවත් වීමට හැකි නගරයක් බවට හඳුනාගත් නිසයි. මේ වරාය නගරය හදන ආයෝජක සමාගමේ ප‍්‍රධානියෙක්ගෙන් මම ඇහුවා ඇයි මේ ලොකු ආයෝජනයක් කරන්නේ කියලා. ඔහුගේ ඉතාම කෙටි පිළිතුර වූයේ මගේ බාල සහෝදරයා බීජිං නගරයේ හුස්ම ගැනීමේ ගැටළුවක් මත මිය ගියා. මගේ ජීවිතය එයින් වෙනස් උනා. පිරිසිදු වායුව ජලය තිබෙන මේ වගේ රටක් මේ කලාපයේ නැහැ. මේවට කොපමණ ධනයක් ආයෝජනයක් කළත් කමක් නැහැ. පිරිසිදු වතුරයි, පිරිසිදු වායුවයි රැ‍කගත්ත ලංකාවට අපි ආදරෙයි කියලා. අපි අපේ මතු පරපුර වෙනුවෙන් මේ උරුමය රැකගෙන ඉදිරියට යා යුතුයි.  ජලපද්ධති විනාශ කරලා, පරිසර පද්ධති විනාශ කරලා අපේ වායු පද්ධති විනාශ කර අපට ගමනක් නැහැ. කැළි කසළ පාලනය කළා වගේම අපේ ජලපද්ධතිය රැුක ගැනීමේ වගකීමත් අප ඉදිරියේ තිබෙනවා.

අද මේ රටේ දුගීකම, අපි කිව යුතුයි, නොයෙක් ආකාරයෙන් අපේ දුගී කම වෙනස් වෙලා තිබෙනවා. ආහාරවේලක්, වස්ත‍්‍රයක් නැති කම තමයි ඉස්සර දුගී කම කිව්වේ. නමුත් අද දුරකතනයක් නොමැතිකම, විදුලිය නොමැති කම, මෝටර් සයිකලයක්, වාහනයක් නොමැතිකම දුගී කම බවට පත්වෙලා තිබෙනවා. අද මේ රට මධ්‍ය ආදායම් ලබන රටක්. නමුත් තවමත් අපේ රටේ සමහරුනුත්, දේශපාලකයනුත් එම තත්වයට උචිත ආකාරයෙන් නෙමෙයි හැසිරෙන්නේ. මේ රටේ ඉතාමත්ම සීමා සහිත පිරිසක් ඉන්නවා අන්ත දුප්පත් කමින්. 6% ක පිරිසක් අන්ත දුප්පත් කමෙන් ඉන්නේ. නමුත් සමෘද්ධි සහනාධාරය ලැබෙනවා රටේ 1/3 කට විතර. නමුත් 6% යි අන්ත දුප්පත් කමෙන් ඉන්නේ. අප කුමක්ද කළ යුත්තේ. අපි කළ යුත්තේ හරියටම අන්ත දුගී පිරිස තෝරාගෙන එම පිරිස දුගී කමෙන් මුදවා ගැනීම තමයි අප කළ යුත්තේ. එදා රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ජනසවිය ගෙනෙන වෙලාවේ මෙරට 33% ක් දුගී කමේ පත්ලේ ජීවත් උනා. එනිසා දුගියා මුල්කරගත් එවැනි සහණාධාර ක‍්‍රමයකට ශක්තියක් තිබුණා. අද අපට මේ 6%  ගොඩදාගන්නට කටයුතු කල යුතුයි. අපි අද කොළඹ නගරයේ හදන නිවාස ජාතික හෙළ උරුමයට බෙදන්නේ නැහැ. ඒවා බෙදන්නේ නිවාස නැති අයට පමණයි. ඒ වගේම අනාගත සමෘද්ධි ක‍්‍රමය ගොඩනැගෙනවානම් ගොඩනැගිය යුත්තේ ශ‍්‍රී ලංකා කාරයින්ට, එක්සත් ජාතික පක්ෂිකයන්ට සමෘද්ධි බෙදන ව්‍යාපාරය් හැටියට නෙමෙයි මේ රටේ අන්තම දුගී පිරිසට සදහටම දුගී භාවයෙන් මුදා ගැනීමේ ව්‍යාපාරයක් හැටියටයි එය ගොඩනැගිය යුත්තේ කියන එක අපි කියන්න  ඕනේ.

අද මේ රටේ හැම තැනම කතා වෙනවා විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක්, විද්‍යාත්මක ආණ්ඩුකරණයක් ගැන. මේ ලෝකයේ ආණ්ඩු කරණ ක‍්‍රම තුනක් තිබෙනවා. එකක් තමයි විද්‍යානුකූලව, බොහොම සුහුරු විදිහට. ඒ වගේම බොහොම කල්පනාකාරී, බුද්ධිමය ආකාරයට රටවල් පාලනය කිරීම. සමහර රටවල් එසේ පාලනය වෙනවා. ඒ වගේම බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, ආණ්ඩු පක්ෂයේ ඇත්තන්ගේ අදහස් උදහස් අනුව, විපක්ෂයේ ඇත්තන්ගේ යෝජනා අනුව සමාජයේ ආගමික නායකයින්ගේ උපදෙස් අනුව රටේ ප‍්‍රමුඛතා හඳුනාගෙන ආණ්ඩුකරණය කිරීම. තුන්වන ක‍්‍රමය තමයි ඡන්දයේදී මිනිසුන් අල්ලා ගැනීම සඳහා බොරු ෂෝක්වාදී ආණ්ඩු ක‍්‍රමය. මේ රටේ ඉතිහාසය පුරාම කි‍්‍රයාත්මක උනේ ඔය බොරු ෂෝක් වාදී ආණ්ඩු ක‍්‍රමය. ජනතාවට විවිධ දේවල් ලබාදීමට දෙනු ලබන පොරොන්දු වලින් ජනතාව රැවටීමට ලක්කර ඡන්දය ලබාගැනීම තමයි බොරු ෂෝක්වාදී ආණ්ඩු ක‍්‍රමය. අපි ඒ වෙනුවට විද්‍යාත්මක ක‍්‍රමයකට මෙරට ආණ්ඩු ක‍්‍රමය ගෙන ආ යුතුයි. රටේ අවශ්‍යතාවය මොකක්ද කියන එක පිළිබඳව විද්‍යාත්මක හඳුනාගැනීමක් කළ යුතුයි. මොකද්ද මේ විද්‍යාත්මක හඳුනාගැනීම. අද බලශක්ති ක්‍ෂෙත‍්‍රයේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ වැඩ වර්ජනයේ. ඇයි තමන්ගේ බලශක්ති සැලැස්ම කි‍්‍රයාත්මක කළේ නැහැ කියලා. 2015 දී අපි මේ රටට විධිමත් බල ශක්ති සැලැස්මක් හඳුන්වා දුන්නා ඉංජිනේරු ක්‍ෂෙත‍්‍රයේ සියළු දෙනාගේම එකඟතාවයෙන්. නමුත් මේ තැන් තැන්වල ඉන්න තුන් හතර දෙනෙක් එකතු වෙලා නොයෙක් නොයෙක් ආකාරයේ විවිධ කතා පවත්වලා ඒ සැලසුම විකෘති කිරීමේ ප‍්‍රතිපළය මොකක්ද අද එකම බලාගාරයක් හැදිලා නැතිව රට අර්බුදයකට ගමන් කර තිබෙනවා. එදා ලංකා විදුලිබල මණ්ඩලය අතිශය ශක්තිමත් මූල්‍ය ආයතනයක් හැටියටයි 2015 සැප්තැම්බරයේ  ලබාදුන්නේ. නමුත් අද මේ රටේ තිබෙන නරකම මූල්‍ය ආයතනයක් බවට, කඩා වැටිච්ච මූල්‍ය ආයතනයක් හැටියට ලංකා විදුලි බල මණ්ඩලය පත්වී තිබෙනවා. අනාගතයේදීත් ඒ තත්වය තවත් වර්ධනය වීමට තිබෙනවා. ඒ මොකවත් නෙමෙයි විද්‍යානුකූලව තේරුම් අරගෙන කටයුතු කරන්නේ නැති නිසා. අපි හදන බලාගාර ගල් අඟුරු, ගෑස්, සූර්ය බලය, සුළං බලාගාර කොයි කොයි අනුපාතවලින් ද ගන්නේ. මණ්ඩලයට කෙසේද අරමුදල් එන්නේ කියන  කිසිම ඇගයීමකින් තොරව, ඞීල් කාරයෝ තැනින් තැනින් දාන ඞීල්වල ප‍්‍රතිපලයක් හැටියට තමයි පසුගිය දශක දෙකක කාලය තුළ විදුලි බල මණ්ඩලය ඇදුනේ. අපි පාලනය කළ කෙටි කාලයේදී විතරයි විද්‍යානුකූල ලංකා විදුලි බල මණ්ඩලයක් තිබුණේ. හය මාසයකින් ලංකා විදුලි බල මණ්ඩලය ගොඩ ගියේ ඒ නිසයි.  එයයි විද්‍යාත්මක ක‍්‍රමය.

ඊ ළ`ගට මහා මාර්ග ක්‍ෂෙත‍්‍රය. අද මේ රටේ බදු මුදල්වලින් විශාලතම ආයෝජනය සිදු වුනේ මාර්ගවලට. අධිවේගී මාර්ගද හදන්නේ, මහා මාර්ගද, ග‍්‍රාමීය මාර්ගද, උමං මාර්ගද හදන්නේ. ඒවයින් ලැබෙන ආර්ථික ඵල ප‍්‍රයෝජන මොනවාද, ණය ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳව කවදාවත් තක්සේරු කර නැහැ. හොඳම උදාහරණයක් මධ්‍යම මාර්ගය. අද කුරුණෑගලට යනවා මධ්‍යම මාර්ගය. පොතුහැර ඉඳන් ගලගෙදරට රුපියල් බිලියන 200 ක් වැය කර මාර්ගයක් හදනවා. මහනුවරට කිසිම අධිවේගී මාර්ගයක් නැහැ. ගලගෙදරින් අධිවේගී මාර්ගය ඉවර වෙනවා. කුරුණෑගලට කොහොමත් අධිවේගී මාර්ගය එනවා. ඒ වෙනුවට එතන ඉඳන් ලේන් හතරක මාර්ගයක් හැදුවොත් හැදුවොත් යන්නේ බිලියන 20 යි. මෙන්න මේකයි අපි කියන්නේ අධිවේගී මාර්ග, පැයෙන් අපට නුවරට යන්න  ඕනේ. ආදී වශයෙන් බොරු ෂෝක් දේශපාලනය කරන්නේ නැතිව, අධිවේගී මාර්ගයද, නැත්නම් ප‍්‍රධාන මාර්ගය ද කියලා ආර්ථික සමාජීය විද්‍යානුකූල භාවයක් අරගෙන  ඕනේ මහා මාර්ග අමාත්‍යාංශය ඉදිරියට යන්න. ජල අමාත්‍යාංශයත් එහෙමයි. සමහර ප‍්‍රදෙශවල එක නිවසකට ජලය දෙන්න ලක්‍ෂ තිහ හතලිහ වියදම් කරනවා. නිවසක් හදලා දෙන්න පුළුවන්. ජලය තිබෙන තැනකින් නිවාස 10 ක් හදලා දෙන්න තිබුණා. විද්‍යානුකූල භාවය අවශ්‍යයි ජල සම්පාදනයටත්.  ජලනල පද්ධතිය අවුරුදු 150 ක් 200 ක් පරණයි. එය නඩත්තු කරන්නේ නැතිව අද 40% ක් කොළඹ නගරයේ ජලය අපතේ යනවා. එයට වියදම් නොකර රටපුරා ජලය ලබාදී වැඩක් නැහැ. එහෙමනම් මේ නල ජලය ලබාදෙනවාද, කොයි මට්ටමින් කාටද ලබාදෙන්නේ කියලා, මොකක්ද එහි තිබෙන ආර්ථික ප‍්‍රයෝජනය කියන එක ගැන විධිමත් වැඩසටහනක් නැතිව ජල මන්ඩලයට තමන්ගේ සල්ලි තමන් හොයා ගනිල්ලා කියලා පුද්ගලික කෙනෙකුට දුන් පමණින් රට ඉදිරියට යන්නේ නැහැ මිත‍්‍රවරුණි.

අධ්‍යාපනය අරන් බලන්න අපි කාටද ආයෝජනය කරන්න  ඕනේ. ප‍්‍රාථමික අධ්‍යාපනයටද, ද්වීතීයික අධ්‍යාපනයටද, විශ්ව විද්‍යාල අධ්‍යාපනයටද, කාර්මික අධ්‍යාපනයට, පර්යේෂණ ක්‍ෂෙත‍්‍රයටද කියන එක අපි වියදම් කරන්න  ඕනේ කියන එක අපේ තියනවාද වාදයක්, සංවාදයක්, විද්‍යානුකූල ක‍්‍රමවේයක් නැහැ. ඒ ඒ දේශපාලකයාට හැගෙන බොරු ෂෝක් දේශපාලනය ඉදිරියට එනවා. සමහරු විශ්ව විද්‍යාල හදාගෙන යන්න  ඕනෙයි කියා සිතනවා. සමහරු ඉස්කෝල හදන්න  ඕනේ කියා හිතනවා. සමහරු පාසල්වලට පරිගණක දෙන එක හොඳයි කියලා හිතනවා. සමහරු කැලෑවල හරි කමක් නැහැ විද්‍යාගාර හැදුවට කමක් නැහැ කියලා හිතනවා. රටේ ගණිත ගුරුවරු 800 යි ඉන්නේ. ගණිත විද්‍යාගාර 1000 ක් හදන්න යනවා ගුරුවරයා හදන්නේ නැතිව. ඒ වගේම එතනට අවශ්‍ය කරන මානව සම්පත වැඩිදියුණු කරන වැඩිපිළිවෙලක් නැතිව නම ගහ ගන්න ගොඩනැගිලි හැදුවට පාසල් අධ්‍යාපනයේ ඊ ළඟ පිම්ම පනින්ට බැහැ. කන්නංගර මහත්මයාගේ ඊ ළඟ විප්ලවය කරන්න බැහැ මිත‍්‍රවරුණි. විද්‍යානුකූල ආණ්ඩුකරණය කියන්නේ ඒකයි. ඒකයි සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය ගත්තොත් මොකක්ද කළ යුත්තේ සුලූ සේවකයෝ දියුණු කරන එකද වැඩියෙන් දොස්තරලා බිහි කරන එකද, වැඩියෙන් ඉස්පිරිතාල හදන එකද, බෝ නොවන රෝග වර්ධනය කරන එක නවතන එකද, මොකකද්ද අපේ අපේ ප‍්‍රතිපත්තිය. මෙන්න මේ ප‍්‍රතිත්ති තීරණය කර ගැනීමේදී මේ හැම කි‍්‍රයාමාර්ගයකටම ආර්ථිකයට ඇතිවන දායකත්වය, ණය බරට ඇතිවන දායකත්වය, සමාජයට ඇතිවන ආයෝජනය, සමාජයේ ඊ ළඟ ආර්ථික ප‍්‍රතිපල ලැබෙන්නේ කොහොමද කියන එක පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයකින් ඉදිරියට යන එක තමයි මිත‍්‍රවරුණි විද්‍යානුකූල ආණ්ඩු ක‍්‍රමය.

සමහරු මගෙන් අහනවා කොහොමද ඇමතිතුමා අමාත්‍යාංශ සාර්ථක කර ගන්නේ කියලා. එක උත්තරයි තිබෙන්නේ විද්‍යානුකූල ක‍්‍රමවේද අනුගමනය කළ නිසයි අපි පාලනය කළ සෑම අමාත්‍යාංශයක්ම ණය බරෙන් තොර ආයතන බවට පත් කරන්න හැකිවුනේ. ඒ නිසා මේ රට තවදුරටත් මේ බොරු ෂෝක් දේශපාලන නියුතු විය යුතු නැහැ. අපි හැමදෙනාගේම අදහස් අහන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයකට යා යුතුයි. අපි හැම කෙනාම අඩුම තරමින් තරමක් දුරට හරි විද්‍යානුකූල ආණ්ඩුවක් ඉදිරි කාලයේදී ඇති කර ගන්න සුහුරු ආණ්ඩුවක්, කුසලතාවය මුල්තැන දෙන ආණ්ඩුවක් බිහි කර ගන්න කටයුතු කළ යුතු කාලය දැන් උදා වී තිබෙවා මිත‍්‍රවරුණි. ඒ බල පරාක‍්‍රමයෙන් යුතු පවුල් වාදී පවුල්වල පිරිස්, පැරණි පාසල්වල පිරිස්, තමන්ගේ හිත මිතුරන්ගේ පිරිස්, මේ රට යම් යම් ආකාරයෙන් සූරා කාපු පිරිස්වලින්ම මේ රට ඉදිරියට තවදුරටත් යන්නට බැහැ. මේ රටේ අලූත් පරම්පරාවක් අද ඇතිවී තිබෙනවා.

පසුගිය සාමාන්‍යපෙළ විභාගයේ අංක එකට පැමිණියේ ගම්පහ රත්නාවලී විද්‍යාලයේ දරුවෙක්. රාජකීය විද්‍යාලයේවත්, විශාඛා විද්‍යාලයෙවත්, ආනන්දු විද්‍යාලයේවත් දරුවෝ නෙමෙයි. අද ගම්බද විද්‍යාල අද විප්ලවකාරී ආකාරයේ පරිවර්ථනය සිදු කරමින් ඒ දරුවන් ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ විප්ලවකාරී පාරිවර්ථනය අද සිදුවෙමින් තිබෙනවා මේ සමාජයේ සිදුවෙමින් තිබෙන දැන උගත් දරුවන්ගේ දේශපාලනයක් අද අත්‍යාවශ්‍යයි. ජාතික හෙළ උරුමය 2020 දි පවුල් රකින්නෙත් නැහැ, ගජමිතුරො රකින්නෙත් නැහැ. නව පරපුරටකට  රට ඇත්තටම බාරදෙන වැඩපිළිවෙලකට අපි ගෙනයනවා කියන එක අපි මේ අවස්ථාවේදී ඔබ හැමට මතක් කරනවා. සමහරු හිතන් ඉන්නවා පවුල මොන මොනවා හරි බොරු ටිකක් කියලා රටේ ජනතාව අනාරක්‍ෂිතයි කියලා බොරු කරලා රට ආරක්‍ෂා කරන්න පුළුවන් කියලා ඒක පෙන්නලා බලයට එන්න වලිකනවා. අමතක කරන්න හොඳ නැහැ අද ඔය රට බේරගත්ත කියන අය මාවිල් ආරු සොරොව්ව වහපු වෙලාවේ කකුල් වෙව්ල වෙව්ල මේස යට හිටපු හැටි අපි දන්නවා මිත‍්‍රවරුණි. ඒ වගේම ජනාධිපතිවරණයට කොටින්ට සල්ලි දීපු පිිරිස් හරහා කොටින්ට සල්ලි ටිකක් දීලා මාවිල්ආරු සොරොව්ව විවෘත කර ගන්න කටයුතු කළ හැටි අපි දන්නවා. නමුත් අපි එදා අධිෂ්ඨානශීලිව මැදිහත්වීම නිසා තමයි ත‍්‍රස්තවාදය පරාජය උනේ. ත‍්‍රස්තවාදය පරාජය උනාහම මේ ගොල්ලො අද ඉදිරියට ඇවිල්ලා අපි තමයි රට බේරාගතත වීරයෝ කියලා කියන්නෙ. කමක් නැහැ. අපි මතක් කරනවා 2006 ජූනි 18 වෙනිදා ත‍්‍රස්තවාදය මුතූර්වලට පහර දෙද්දි කකුල් වේව්ල හිටපු හැටි විතරක් ඒ අයට අපි මතක්කර ගන්න කියනවා. අපට මඩ ගහන්න වෙනම සේනාංක, රූපවාහිනි නාලිකා සංවිධානය කරගෙන හිටියට කමක් නැහැ. මතක තියා ගන්න අපේ දෙපා එදත් කෙළින් ශක්තිමත්, හෙටත් කෙලින් ශක්තිමත් ඔය අසූචිවලින් පහර දෙන පිරිස් වලට බොහොම පැහැදිලිව මතක් කරන්න  ඕනේ.

ඒ වගේම මිත‍්‍රවරුණි අපි  කිසිම අවස්ථාවක නාස්තිකාරී වියදම් වලින් මේවා කරලා වැඩක් නැහැ. අද මේ සමහර දේවල්වලට කර තිබෙන වියදම් පූර්ණය කර ගන්න තව පරම්පරා ගණනකට බැහැ. බලන්න මේ යුධ හමුදා මූලස්ථානය, රටේ වටිනම ඉඩම තුට්ටු දෙකට විදේශිකයන්ට සින්නක්කරව විකුණලා ඒ මුදලින් යුධ හමුදා මූලස්ථානය හදනවා කිව්වා. ඒ පිරිස් අද ඉන්නේ මහපාරේ. අවුරුද්දකට කෝටි 500 ගණනේ යනවා. යුද හමුදා මූලස්ථානය පටන් ගත්තේ මිලියන 8000 කින් හදනවා කියලා. දැන් අද වන විට මිලියන 64 000 ක් ගිහිල්ලා. මේකේ වැඩ ඉවර වෙන විට බිලියන 100 කටත් වඩා ගිහිල්ලා. තව මේ රටේ පරම්පරා ගණනක් නෙමෙයි මේක ගොඩනගන්න මහද්වීපයක්  ඕනේ වෙනවා මේ රටේ මේ කරපු විනාශකාරී ඉදිකිරීම් ටික නඩත්තු කරන්න මිත‍්‍රවරුණි. අපිත් හදනවා ගොඩනැගිලි, ඒ ගොඩනැගිලි මේ අපේ ජනතාවගේම ඊ ළඟ අවුරුදු 12 දී රටට ලාභ දෙන ගොඩනැගිලි බවට අපි පරිවර්ථනය කරනවා. යුධ හමුදා මූලස්ථානය වගේ කිහිප ගුණයක් විශාල ගොඩනැගිලි අපි බත්තරමුල්ලේ ඉදිකරගෙන යනවා මිත‍්‍රවරුනි. අපේ වෙනස එයයි. පරම්පරා ගණනකටවත් ණය ගෙවලා ඉවර කරන්න බැරි වගාඩම්බරපර අවතාරවලට ඉන්න පුළුවන් ගොඩනැගිලි හදලා, රට ණය කරලා, පරම්පරාව ණය කරලා මහද්වීපයක්වත් අවශ්‍යයි ඒවා ගෙවන්න තත්වයේ ව්‍යසනකාරී ඉදිකිරීම් නෙමෙයි රටට ඔරොත්තු දෙන ජනතාවට ඔරොත්තු දෙන වැඩපිළිවෙලකුයි රටට අද අවශ්‍ය කරලා තිබෙන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න කැමැතියි අපි නොයෙක් දෙනාව පරීක්‍ෂා කර බැලූවා. ඇතැම් අයගේ දක්ෂකම් අදක්ෂකම් අපි දක්කා. දැන් අපි එකක් මතක තබා ගත යුතුයි. අපි බොහොම කැපවීමෙන් 2015 ඒ කැපවීම කළේ. සමහර තක්කඩි කිහිප දෙනෙකුට ජීවිත කාලයටම එකකාලයක් ලැබෙන මහා ජාවාරමක් හොරකමක් කර ගන්න සමහර තක්කඩි පිරිසක් එය යොදා ගත්තා. එයට ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දඬුවම් ලබාදුන්නා. හැබැයි එයින්වත් පාඩම් ඉගෙන ගෙන නැතිබව අපි බොහොම කණගාටුවෙන් ප‍්‍රකාශ කළ යුතුයි. නමුත් අපි ලැහැස්ති නැහැ එවැනි ජාවාරම්කාර පිරිස් සමග දේශපාලන සොහොනට යන්න. ඒ නිසා මේ වසරේ නව ගමනක්, අලූත් මගක් ඇති කරන්න සෑම ප‍්‍රගතිකාමී, ජාතිකකාමී, මේ රටට ආදරය කරන සෑම ජනකණ්ඩායමක් සමගම අත්වැල් බැඳගෙන, උතුරේත්, දකුණේත්, නැගෙහිරත්, බටහිරත්  අපි සියළු දෙනාම එකම ධජයක් යටතේ වැඩකරන ජනතාවත්, ඒ වගේම අපේ රටට ආදරය කරන වෘත්තීයවේදීනුත් ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයනුත් මේ සියළු දෙනාම එක ධජයක් යටතට එන නව වේදිකාවක් නව යුගයක් මේ වසරේදී නිර්මාණය කරනවා, යැයි පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment