මිල්කෝ සමාගමෙන් ලක්ෂ අටසීයක පොල්ලක් - කිරි ගොවියෝ පාරට බසිති

මිල්කෝ සමාගමෙන් ලක්ෂ අටසීයක පොල්ලක් - කිරි ගොවියෝ පාරට බසිති

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව, කහටස්දිගිලිය, හොරොව්පතාන, මැදවච්චිය, විලච්චිය ඇතුළු දියර කිරි සපයන බලමණ්ඩල හතක ගොවි ගෙවිලියෝ තුන් සියයකට අධික පිරිසක් වර්ෂාව නොතකමින් විරෝධතාවය සඳහා එක්වී සිටියහ. කිරි ගොවියන් විසින් ඔවුන්ට හිමි විය යුතු මුදල් වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවය දියත් කළ අතර දියර කිරි රැගෙන ආ ගොවියෙකු විරෝධතාවය අතරතුර කිරි බාල්දි ඔළුවේ හලා ගනිමින් විරෝධතාවයේ නිරත විය.

milk 3

විරෝධතාවය සංවිධානය කළ කිරි ගොවින් සුරැකිමේ ජනතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු සුසන්ත කුමාර නවරත්න මහතා විරෝධතාවයට එක්වෙමින් මෙසේ පැවසූහ.

"අද වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවි බලමණ්ඩල හතක හත්දහසක් පමණ ගොවි ගෙවිලියන් මිල්කෝ ආයතනයට කිරි ලබාදීමෙන් ලැබිය යුතු වාරික මුදල් නැතුව අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. 2012 ඉදලා තිබුණු සෑම ආණ්ඩුවක් නිසාම කිරි ගොවියන් වළ පල්ලට ගිහිල්ලා තියෙන්නේ. පසුගිය මැයි මස 01 සිට 15 දක්වාත් අප්‍රේල් මස 15 සිට 30 දක්වාත් වාරික මුදල් තවම ලැබිලා නැහැ.

ගොවියන්ගේ දරුවෝ බඩගින්නේ. ඔවුන්ට පාසල් යවන්න විදියක් නෑ. මේ වනවිට මිල්කෝ සමාගමට කිරි ලබා දුන් ගොවියන්ට මිල්කෝ සමාගම රුපියල් ලක්ෂ අටසීයක් විතර දළ වශයෙන් ගෙවන්න තියෙනවා. මා ළඟ තියෙනවා කිරි ගවයන් ආනයන ව්‍යාපෘතිය පිළිබඳ විගණකාධිපති විශේෂ වාර්තාව. පසුගිය ආණ්ඩුව සමයේ බැසිල් ඇමතිවරයා හොරා කෑවා කියලා තියනවා තොන්ඩමන් ඇමතිවරයා හොරා කෑවා කියලා එහි ඔප්පු කරලා තියෙනවා. වර්තමාන ආණ්ඩුවේ හැරිසන් ඇමතිවරයත් හොරා කෑවා කියලා තියෙනවා.

මේ වාර්තාවේ නිර්දේශ මොනවද? නිගමනයන් මොනවද? අටේ (1) වගන්තියේ සඳහන් වෙනවා. විධිමත්ව පිළිය‍ෙල කර තිබෙන ජාතික වැඩපිළිවෙළට අනුගත නොවී පසුගිය වර්ෂ හතක පමණ කාලය තුළ එනම් 2017 දෙසැම්බර් 31 දිනට කිරි ගව ආනයන සඳහා ඇමරිකානු ඩොලර් හාරකොටී තිස් ලක්ෂ 23,637ක් වියදම් කර තිබෙනවා. ලංකා මුදලින් රුපියල් බිලියන 7.9ක මුදලක් යොදා ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියෙන් නිසි ප්‍රතිපල නොලැබුණු බව විගණකාධිපති වාර්තාවෙන් ඔප්පු කර තිබෙනවා. ඒ අනුව ඇමතිවරු හොරා කෑවා කියලා ඔප්පු කරලා තියෙනවා.

විදේශයකින් කිරි ගවයන් විශාල ප්‍රමාණයක් රටට ගෙන්වලා. මේ සතුන්ට දැන් ලෙඩ. උන්ව රුපියල් 240,000 ගානේ අපේ ගොවියන්ට දෙන්න හදනවා. අපේ කිරි ගොවි සම්පත රැකගෙන කර්මාන්තය ගොඩ ගන්න කටයුතු කරන්න කියලා අපි අලුත් ඇමතිවරයට කියනවා. ඔය හරක් ගාල අයිති වර්තමාන ඇමතිවරවට කියනවා, අපි ළඟදීම ප්‍රශ්නය විසඳගන්න අමාත්‍යංශය වටලන්න එනවා.

ඊට ඉස්සෙල්ලා වහාම අසරණ ගොවින්ගේ මුදල් ටික ගෙවන්න කියලා රජයට බලකරනවා එහෙම නොවුණොත් අපි අධිකරණයේ නඩු දාලා හරි සල්ලි ගන්නවා කියලත් කියන්න කැමතියි."

පැයකට වැඩි කාලයක් පැවති විරෝධතාවය හේතුවෙන් අනුරාධපුර කඩ 12 ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් අවහිරවී තිබූ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ මගී බස් රථයක් විරෝධතාවය මැඩගෙන යාමට දැරූ උත්සාහය නිසා ගොවියෙකු බස් රථය ගමන් කළ මාර්ගයේ වැතිරී විරෝධය පෑ අතර පිරිසක් බස් රථයට පහරදීමට උත්සාහ කළහ.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

milk 1

milk 2

milk 4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment