අපි 'ඒ ජීවිතයේ සෙවණැලි' ළඟින්ම පටන් ගමු. මොකද්ද ඒ ජීවිතේ ? මොනවද මේ සෙවණැලි ?
මම හැමවෙලේම විශ්වාස කරන දෙයක් තමයි ජීවිතය ජීවත් වෙන්නෙ ජීවිතයෙන් එපිට කියන එක. ජීවිතයට එපිටින් ජීවත් වන ඒ ජීවිතයේ සෙවණැල්ල ජීවිතයට වැටෙන්නෙ නිකන්ම නෙමෙයි, මහ බරක් එක්ක. ඉතින් මගෙ පොත 'ඒ ජීවිතයේ සෙවණැලි' වුණේ එහෙමයි.
රූකාන්ත් සුභසිංහ කියන නම මුලින් ම අහපු දවසෙ ඉඳලා මට අල් තයන්න -ත්- එක්ක පොඩි අවුලක් තියෙනවා. මේක කිසි තේරුමක් නැති ප්‍රශ්නයක්. ඒත් මට උත්තරයක් ඕනෙ. ඔබ රූකාන්ත සුභසිංහ නොවී රූකාන්ත් සුභසිංහ වුණේ කොහොමද?
රූකාන්ත් කියන නම මට දෙන්නෙ මගෙ අම්මා. කාන්ත් කියන වචනය මම ආකර්ෂණය කියල නිර්වචනය කරගන්න කැමතියි. එතකොට ආකර්ෂණය වෙන්නෙ රූ ට ! හැම රූ ම සොබාදහමෙ. ඉතින් මම සොබාදහමට ආකර්ෂණය වෙච්ච වශීවෙච්ච මනුස්සයෙක්.
ලිවීම එහෙම නැත්නම් ලියනවා කියන එක ඔබට දැනෙන්නෙ මොන විදිහටද?
මුත්‍රා කිරීමක්, මළ පහ කිරීමක්, දාඩිය දැමීමක්, කැසීමක් එහෙමත් නැත්නම් වමනය කිරීමක්! හැබැයි ඔය ඔක්කොම වෙන්නෙ අකුරින්.
'ඒ ජීවිතයේ සෙවණැලි' දක්වා ඔබ මෙතෙක් ආ ගමන ගැන විස්තරයක් දැනගන්න අපි කැමතියි?
මම ලියන්න අරන් ඇත්තටම අවුරුද්දක් නෑ.. මුලින් මුලින් මම ලීවෙ කවිත් නොවන වැකිත් නොවන 'කවැකි'! එය මම ම හදාගත්ත නමක් මට ම සහ මගෙ වචන හරඹයට. මට ම තේරුණා ඒවා කියවන අයට එතරම් සමීප - සනීප නැහැ කියලා. ඒ හින්දම මම පොඩි කතන්දර ලියන්න ගත්තා. ඒ ලිවීමේ ප්‍රතිඵලයක් තමයි "ඒ ජීවිතයේ සෙවණැලි"!
මේ පොත ඔබේ සිහිනයද? නැත්නම් සිහිනයට තව දුරද?
නැහැ! සිහිනයක් නෙමෙයි. පොතක් කරන්න හිතුවෙ මේවා සළකුණක් විදියට කොහෙ හරි තියන්න ඕන කියල හිතුණ නිසා. සිහිනයට ඇත්තටම ගොඩක් දුරයි. මට ඕනෙ සංස්කෘතික වාහකයෙක් වෙන්න. ඒ වෙනුවෙන් තව වැඩ ගොඩක් කරන්න තියෙනවා.
උවන පුස්තකයේ ඔබ ලියන දේවල්වලට ලැබෙන ප්‍රතිචාර අපි දකිනවා. මේ සජීවී ප්‍රතිචාර ඔබ තුළ ඇති කරන්නෙ මොන වගේ ප්‍රතික්‍රියාවක්ද?
ඇත්තටම ඒක ලොකු සතුටක්. වෙලාවකට මම ඒ ප්‍රතිචාර එක්ක ඉදිමෙන්න යනවා. ඒ මනුස්ස ස්වභාවයනේ! බොහොම අමාරුවෙන් ආයෙ මම ම හිත හිත මාව පරිස්සම් කරලා තියාගන්නවා, ආයෙ ම පුරුදු තැනට මාව අරගෙන ඇවිත්.
කවිය - කෙටි කතාව - නවකතාව - ගීතය ආදී සකලවිධ සාහිත්‍යාංග අතරෙ ඔබේ පළමු ප්‍රේමය හිමිවෙන්නෙ කෙටි කතාවටද?
මම හිතන්නෙ කවිය! සොබාදහමට සමාන පදයක් විදියට ම මම කවිය දකින්න කැමතියි.
ලියන්න ඕනෙ නම් කියවන්න ඕනෙ කියල කියනවනේ! ඔබේ ලිවීම්වලටත් එහෙම බලපෑම් කරපු කියැවීම් තියෙනවද?
ඇත්තටම ඔව්! ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගෙ අකුරු තමයි මාව පිස්සු වැට්ටුවේ. ලියන්න කියන අණ මට ලැබුණෙ ඒ අකුරුත් එක්ක.
අද තරුණයෝ ගොඩක් ලියනවා. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවක්. සමස්තයක් විදියට ඔබේ පරපුරේ ලියැවිලි ගැන ඔබට තියෙන්නෙ මොන වගේ තක්සේරුවක්ද?
කවුරු හෝ ලියනවා නම් ලියන්නෙ ඒ ඒ අයගෙ මොකක් හරි හැඟිමක්. පුද්ගලිකව මම ඒ මිනිස් හැඟිම් වලට අනුකම්පා කරනවා. ඒත් එහෙම හැඟීම් ප්‍රකාශ කරලා කවියෙක් කියල හරි කතාකාරයෙක් කියල හරි ප්‍රතිරූපයක් හදාන ඒ ප්‍රතිරූපය මේන්ටේන් කරනවා නම් එතැන මොකක් හරි මට කියන්න තේරෙන්නෙ නැති එකක් තියෙනවා. ඒ දේට මම කැමති නැහැ.
හොඳයි! අපි කතාව අවසන් කරන්නයි යන්නෙ. ඔබ කැමති ආකාරයකට අපේ කතාව අවසන් කරන්න මං ඔබට අවස්ථාව දෙනවා?
කියවීම කියවගන්න පුලුවන් වන සමාජයක් දකින්න මම පෙරුම් පුරනවා. එහෙව් තැනක් වෙනුවෙන් කරන්න පුලුවන් මගේ උපරිමය මම කරනවා.
සංවාදය - කසුන් සමරතුංග
0 comments :
Post a Comment