සෝභිත හිමිගේ ඇලපත්ගම සිහිනයට කතානායක ජීවය දෙයි

සෝභිත හිමිගේ ඇලපත්ගම සිහිනයට කතානායක ජීවය දෙයි

කථානායකවරයා මේ බව සඳහන් කළේ පසුගිය 27 වන දින මහවිලච්චිය හැලඹවැව ඇලපත්ගම ප්‍රදේශයේ ඉදිවන එම නව නිවාස ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි ඇතුළු මහා සංඝරත්න‍යේ අනුශාසකත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

මාදුළුවාවේ සෝභිත නාහිමියන් යුද තර්ජනය, දැඩි නියඟය සහ වන අලි තර්ජන හේතුවෙන් ස්වකීය සම්ප්‍රදායික ගම්බිම් අත්හැර දමා යමින් සිටි විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනාන්තරය මැද හුදකලා වූ ඇලපත්ගම ප්‍රදේශය බලා වැඩම කළේ 1985 වර්ෂයේදීය.

එම ප්‍රදේශයේ ජනතාව දිරිමත් කර තමන්වහන්සේට පෞද්ගලිකවම ලැබුණු පරිත්‍යාගයන්ගෙන් ඔවුන් හට උපකාර කරමින් එම ගම්මානය යළි ගොඩනැගීම උන්වහන්සේ ආරම්භ කළහ. එම ප්‍රදේශයේ පැල්පත්වල විසූ පවුල් 153 ක් සඳහා නව නිවාස සාදා දීම සෝභිත හිමියන්ගේ අපේක්ෂාවක් විය.

සෝභිත හිමියන් වෙනුවෙන් එම වගකීම ඉටුකිරීම උන්වහන්සේට කරන කෘතගුණ දැක්වීමක් ලෙස සලකා කතානායක කරු ජයසූරිය මහතා එම ගම්මානය ගොඩ නැගීම යළි ආරම්භ කර තිබේ.

2016 වසරේ සෝභිත හිමියන්ගේ උපන් දිනය යෙදුණු මැයි මස 29 වෙනිදා එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කරු ජයසූරිය මහතා මූලිකත්වය ගෙන තිබුණි. රජයට බරක් නොවී නව නිවාස 153 ක් සඳහා යන සම්පූර්ණ වියදම ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට පසුගියදා කරු ජයසූරිය මහතා සමත් වූ අතර එම නිවාස සඳහා මුල්ගල තැබීමට සමගාමීව එම ප්‍රදේශයේ ඉඩම් හිමියන් සඳහා සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමටද ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කර තිබිණි.

ශ්‍රී සෝභිත හිමි අනුස්මරණ ගම්මානයේ නව නිවාස සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක, නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස, සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීම් ඇමති පී. හැරිසන්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුභසාධන ඇමති දයා ගමගේ යන මහත්වරු සහ විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දියානු මහ කොමසාරිස් ආචාර්ය අරුන්දන් බග්චි යන මහත්වරුද එක් වී ඇත.

මෙහිදී කථානායකවරයා සඳහන් කළේ සෝභිත නාහිමියන් මහා සමාජ ප්‍රතිසංස්කාරකයෙකු ලෙසත් බෞද්ධ ලෝකය වසඟ කළ විචිත්‍රවත් ධර්ම කථිකයෙකු ලෙසත් සංඝ සමාජය බැබලවූ මහා තෙර නමක ලෙසත් සමාජය හඳුනා ගනු ලැබුවද උන්වහන්සේ තුළ තිබූ මානව දයාව පිරි චරිතය ඇලපත්ගම වැනි හුදකලා ගම්මානයක දුෂ්කර ජීවිත ගෙවූ ජනතාව සොයා ගොස් ඔවුනට පිහිටවීමෙන් විද්‍යමාන වන බවය.

සෝභිත හිමි වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජාතියට කළ හැකි විශාලම යුතුකම උන්වහන්සේ ප්‍රාර්ථනා කළ නිදහස් සාධාරණ යුක්තිගරුක සමාජය බිහි කිරීම බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.

"දශක තුනකට ආසන්න කාලයක් උන්වහන්සේ මෙවන් ගම්මානයක් ගොඩනගමින් සිටි බව බොහෝ දෙනෙක් දැන සිටියේ නැහැ. කෝට්ටේ නාග විහාරයේ සැප පහසු ලෙසින් වැඩ සිටින්නට හැකි වුවත් තමන්ට ලැබුණු දෙයක් කරපින්නාගෙන දුරකතර ගෙවා වන දුර්ග මැදින් ඇලපත්ගමට වැඩම කළ උන්වහන්සේ මේ ජනතාව සමග දුෂ්කර ජීවිතය අත්දකිමින් ඔවුන් සමග කාලය ගත කිරීම සැපතක් යැයි සැලකුවා. උන්වහන්සේ මෙහි ජනතාව සමග එක්ව වන අලි සහ ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දුන්නා. සෝභිත හිමි නොවන්නට මේ ගම ජන ශුන්‍ය වී බොහෝ කල් විය හැකියි. උන්වහන්සේ සමග එකම මාවතක පැමිණි අපට එදා නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා සමාජ ව්‍යාපාර හරහා මේ රට වෙනස් කිරීමට හැකි වුණා. උන්වහන්සේගේ අහිංසක සිහිනයක් වූ ඇලපත්ගම ගම්මානය යළි ගොඩ නැගීම එම ගමනේ කොටස්කරුවන් වූ අපගේ යුතුකමක් බව අපි කල්පනා කළා. ඒ සඳහා අපට යෝධ ශක්තියක් ලබා දුන් ඉන්දියානු රජයත් ඉන්දියානු මහ කොමසාරිස්තුමා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ සියළු නිලධාරිනුත් දැක්වූ උනන්දුව පැසසිය යුතුයි."

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දියානු මහ කොමසාරිස් අරුන්දන් බග්චි මහතා සඳහන් කළේ ලෝකයේ සෑම රටක් සමගම ඉන්දියාව පවත්වන සබඳතාවය ඉක්මවා ගිය ඓතිහාසික සංස්කෘතික බැඳීමක් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති බවයි. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බුදු දහම කෙරෙහි දක්වන භක්ත්‍යාදරය පිරිසිදු බුදුදහම ස්ථාපිත වූ ශ්‍රී ලංකාව කෙරෙහිද දක්වන බවයි. බුදු සසුන පෝෂණය කළ මෙරට භික්ෂු සමාජයේ අද්විතීය චරිතයකට ගෞරව දක්වන්නට ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටට පත්වන බවත්ය. 

සෝභිත හිමි ගම්මානයේ ඉන්දියානු ආධාරයෙන් ඉදිවන නව නිවාස 153 ව්‍යාපෘතිය නිවාස අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණයෙන් සිදු වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment