නෙළුම්යාය, පෑඩ්මෑන්ගෙන් ඔබ්බට..

නෙළුම්යාය, පෑඩ්මෑන්ගෙන් ඔබ්බට..

පෑඩ් මෑන්ගේ කතාව

තමිල්නාඩුවේ කොයිබතූර් හි ජීවත් වූ අරුණාචලම් මුරුගනාදන් නමැති මිනිසා අඩු මිල සනීපාරක්ෂක තුවායක් හඳුන්වා දී ‘පෑඩ්මෑන්‘ බවට පත්විය. ඒ කතාව ඔහුගේ වචනවලින්ම කියනවා නම් ආරම්භ වන්නේ මෙසේ ය. ‘‘දවසක් මම දැක්කා මගේ බිරිඳ අපිරිසිදු ලේ වැකුණු රෙදි කඩ කිහිපයක් මගෙන් හංගා ගනිමින් ඒවා පිටුපසට කරගෙන එන ආකාරය..“ සිය බිරිඳ සනීපාරක්ෂක නොවන ක්‍රමයකට ආර්තව කළමනාකරණය කරන බව ඔහු වටහාගන්නේ එදින ය. සිය බිරිඳ පමණක් නොව, ඉන්දියාවේ 80% ක් ගැහැනුන් ද නිසි ප්‍රමිතියේ සනීපාරක්ෂක තුවා නොලබන බව ඔහු සොයා ගනියි.

අරුණාචලම් මුරුගනාදන්ට මුලින්ම තමන් කපු පුළුන්වලින් නිපදවන සනීපාරක්ෂ තුවාය බිරිඳට ලබා දී එහි ගුණ අගුණ විමසන්නට උවමනා වෙයි. නමුත් ඒ සඳහා බිරිඳට ඔසප් වීම සිදුවන තෙක්, එනම් මාසයක් බලා සිටීමට සිදු වේ. ඒ නිසා ඔහු වෙනත් විකල්ප සොයයි. ඒ විකල්ප අතර, නිවස අසල පිහිටි වෛද්‍ය විද්‍යාලයක සිසුවියන්ට සිය නිපැයුම ස්වෙච්ඡාවෙන් අත්හදා බලන ලෙස කරන ආරාධනයන්ද, එය ප්‍රමාණවත් නොවන තැන, ස්ත්‍රී ගර්භාෂයක හැඩය ගත් සම් පැසක් රබර්වලින් සාදාගෙන, එයට සතුන්ගේ රුධිරය පුරවා, එහි මුවවිටට සනීපාරක්ෂක තුවාය තබා සිදුකරන අත්හදා බැලීම්ද, එයින් නොනැවතී දිනපතා පාපැදියෙන් රැකියාවට යන හෙයින්, කපු පුළුන් වලින් නිර්මිත සනීපාරක්ෂ තුවා තමන් විසින්ම හැඳගෙන අත්හදා බැලීම් ද අයත් වේ. මුරුගාගෙ ව්‍යාපෘතිය, ඔහුගේ කාම රෝගයක් හෝ යක්ෂ බැල්මක් හෝ උමතුවක් යැයි තේරුම් ගත් බිරිඳ කරන්නේ ඔහුව දමා ගොස් දික්කසාදය ඉල්ලා සිටීමයි. වරක්, ඉරිදා දිනයක, භාර්යාව ඔහු දමා ගොස් ඇති නිසා නිවසේ වැඩ පළ කරදීමට පැමිණෙන ඔහුගේ මව දකින්නේ මුරුගා නිවසේ සාලයේ මේසය මත ලේ වැකුණු වාණිජ සනීපාරක්ෂක තුවායන් රාශියක් අතුරාගෙන ඒවා එකිනෙක කඩා බලමින්, ඒවා නිපදවා ඇත්තේ කෙසේදැයි පරීක්ෂා කර බලන අන්දමයි. මව මුලින් සිතන්නේ මුරුගා ඉරිදා මහ දවාලේ මේසයක් මත දමාගෙන කුකුළු මස් සුද්ද කරනා බවකි. නමුත් සත්‍යය දැනගත් විට ඇයට ඇතිවන්නේ පිළිකුළක් සහ සිය පුත්‍රයා පිළිබඳ දැඩි නොපැහැදීමකි. ඇය වහාම නිවසින් පිට වී යයි.

මෙවැනි හැල හැප්පීම් රැසක් අවසානයේ මුරුගා, සිය බිරිඳ වැනි ආර්තව දුගී බවෙන් පීඩා විඳින ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ගැහැනුන් වෙනුවෙන් අඩු මිල සනීපාරක්ෂක තුවායක් මෙන්ම ඒවා පහසුවෙන් සාදා ගත හැකි යන්ත්‍රයක් ද සොයාගනියි. ඔහු ‘තැත වරද ක්‍රමය‘ (trail and error method) ඔස්සේ ලාභදායීම නිවැරදි අමුද්‍රව්‍ය සොයාගනියි. අනතුරුව, වාණිජ සනීපාරක්ෂක තුවා නිපදවන ආනයනයික යන්ත්‍රයක මිල ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක් වන විට මුරුගා නොහොත් ‘පෑඩ් මෑන්‘ ඇමරිකානු ඩොලර් 950 කින් එවැනි සමකාර්ය යන්ත්‍රයක් නිපදවයි. අවසානයේ සිදුවූයේ ඉන්දියාවේ ග්‍රාමීය ආර්ථිකයට ද උර දෙමින්, ග්‍රාමීය දිළිඳු බව ද ආමන්ත්‍රණය කරමින් මුරුගාගේ පෑඩ් හදන යන්ත්‍රය ප්‍රාන්ත සිසාරා පැතිර යාමයි. මේ වන විට මුරුගාගේ එම යන්ත්‍ර 1500 කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව පුරා අලෙවි වී ඇති බව සඳහන් වේ. එය, ගැමි ගැහැනුන්ට සනීපාරක්ෂක තුවා නිපදවන යන්ත්‍රයක් පමණක් නොව, එයින් එහා යමින් ඔවුන්ට ස්වයං රැකියා වෙළඳපොළක් ද නිර්මාණය කර දුන්නේය. 2014 වසරේදී ජාත්‍යන්තර ටයිම් සඟරාව, ලෝකයට වැඩිම බලපෑමක් කළ පුද්ගලයන් 100 දෙනා අතරට අරුණාචලම් මුරුගනාදන් ද ලැයිස්තුගත කරයි.

ට්වින්කල් කන්නා විසින් රචිත "The Sanitary Man of Sacred Land" කෘතිය අනුසාරයෙන් නිපදවී ඇති මේ පෑඩ්මෑන් චිත්‍රපටය, මුරුගා නොහොත් පෑඩ්මෑන් ආර්තව දරිද්‍රතාවය සහ ග්‍රාමීය දරිද්‍රතාවය දික්විජය කළ අන්දම ගැන ය. ආක්ෂේ කුමාර්, සෝනම් කපූර් සහ රාධිකා අප්තේගේ රංගනයෙන් හැඩ වුණු පෑඩ්මෑන් චිත්‍රපටය, 2018 පෙබරවාරි මාසයේ පටන් ලොව පුරා තිරගත වීම ආරම්භ වන්නේ ආර්තව සනීපාරක්ෂාව සහ ආර්තව කළමනාකරණය පිළිබඳ ලොව පුරා කුණාටුවක් ඇති කරමිනි. ඉන්දීය රුපියල් කෝටි 20 ක් වැය කර නිපදවූ පෑඩ්මෑන් චිත්‍රපටය අවසානයේ ඉන්දීය රුපියල් කෝටි 120 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් ද තැබීය.

ඉන්දියාවේ පාසල් වියේ ගැහැනු ළමුන් සෑම 5 දෙනෙකුගෙන්ම එක් අයෙක් ඔසප් දිනවලදී පාසල් යන්නේ නැත. ඉන්දියාවේ ග්‍රාමීය කාන්තාවන්ගෙන් 80%ක් ආර්තව දිළිඳු බවින් පෙළෙති. අඩුම ගණනේ ඔවුන් සතුව නිවැරදි සංඛ්‍යාලේඛනවත් තිබේ. නමුත් ලංකාවේ අපි..?

පෑඩ්මෑන්ටත් මග හැරුණු තැන

ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ ලංකාවේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන මට්ටමින් වැඩසටහන් කෙරෙතත්, ඒවාද බොහෝ විට ආර්තව දිළිඳුකම හෝ ආර්තව සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන්වලට වඩා ඔබ්බට යන්නේ කලාතුරකිනි.

වසර 2010 වන විට ලංකාවේ දිළිඳුකම 8.9% කි. එම දිළින්දන් සෑම10 දෙනෙකුගෙන්ම 9 දෙනෙක් ජීවත් වන්නේ ග්‍රාමීයව සහ වතුකරය ආශ්‍රිතව ය. දැනට පවතින නිල දත්ත ප්‍රමාණය එපමණකි. ආර්තවය දිනවලට කොපමණ පාසලට නොපැමිණීම් ගණනක් ලකුණු වන්නේද, ආර්තවයට මුහුණ දුන් පසු, එනම් වැඩි විය පැමිණීමෙන් පසු පාසල් ගමන නතර කරන ලංකාවේ දැරියන් ගණන කොපමණද යනාදී වශයෙන් කිසිදු නිල දත්තයක් තවම ලංකාව සතුව නොමැත. මේ අතර නෙළුම්යාය පදනම, ලංකාවේ ප්‍රථම වරට ආර්තව දුගී බව පිටුදැකීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙන්ම පරිසර හිතකාමී, නැවත නැවතත් භාවිතා කළ හැකි සනීපාරක්ෂක පෑඩයක් හඳුන්වා දුන්නේය. ඔවුන් පසුගිය මාර්තු මාසයේ පටන් ‘ආර්තව දිළිඳුකම“ නොඑසේනම් ‘ආර්තව දුගී භාවය‘ වෙනම මාතෘකාවක් වශයෙන් ඉදිරියට ගෙන ආ විට එහි නියමු ව්‍යාපෘතියට පැවරුණු විශාල වගකීමක් වූයේ නිවැරදි දත්ත බිම් මට්ටමින් එක් රැස් කිරීමයි. එහිදී ආර්තවය හා සබැඳි සමාජ තහංචි, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඔවුහු පුළුල් කථිකාවතක් ගෙන එති.

‘‘ආර්තව දරිද්‍රතාවය සම්බන්ධයෙන් ලංකාවෙ තිබෙන තත්වය පිළිබඳ පැහැදීමක් නැහැ. විශේෂයෙන් දරිද්‍රතාවයේ එක් එක් පැතිකඩ පිළිබඳ අපි වෙන වෙනම සාකච්ඡා කළත් ආර්තව දරිද්‍රතාවය පිළිබඳ සාකච්ඡාවක් වන බව පෙනෙන්නට නැහැ. මෑත කාලීනව තමයි,  නෙළුම්යාය පදනමේ මූලිකත්වයෙන් කිසියම් ආකාරයක සාකච්ඡාවක් සිදුවනවා දැක්කේ. මේ ගැටළුව මම දකින්නේ, කාන්තාවන් තමන්ගෙ ජීවිතයේ මුහුණ පාන පීඩනයේ එක් එක් කොටසක් විදිහට. මේ පීඩනයට පිළිතුරු සොයන ආකාරයත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. සමහරවිට කාන්තාවන් තුළ අදහසක් තිබෙනවා, මම කාන්තාවක් නිසා, මේක මගේ ජීව විද්‍යාත්මක උවමනාවත් සමග විඳින්න වෙච්ච දෙයක් කියලා. නමුත් එයට වඩා එහා ගිය සමාජ මනෝවිද්‍යාත්මක පැතිකඩක් මේකෙන් මම දකිනවා. ප්‍රසිද්ධ ස්ථානයක වැඩිවිය පත්වුණාම ජම්බු ගහෙන් පැනලා කියන සමාජයක, ගෙදර ගිහින් හංගගෙන ඉඳලා විවිධ චාරිත්‍ර කරලා ඒ ගැහැනු දරුවාව සමාජ ගත කිරීමෙන් පසුව, කිල්ල කියන සංකල්පයත් එක්ක, ඇගේ මුළු ජීවිත කාලය පුරාම කාන්තාවක් විදිහට ඇය මේ ස්වභාවික සංසිද්ධිය සමග ගනු දෙනු කරන ආකාරය, එයට සමාජය විසින් විවිධ අර්ථකථන ලබා දී ඇති ආකාරය අපි සාකච්ඡා කරනවා.. තවමත් තාත්තාගෙ පරණ සරමක්, පරණ චීත්තයක් යට ඇඳුමට යටින් තබාගෙන මේ මාසික අපහසුතාවය පිළිබඳ පවුලේ පිරිමි සාමාජිකයන්ගෙන් සඟවාගෙන ගත කරන ජීවිත තමයි, ලංකාවේ කාන්තාවන් බහුතරයකට තිබෙන්නෙ..“ යැයි නෙළුම්යාය පදනම සමග ‘මිහිමව සුරකින හරිත දියණියෝ‘ වැඩසටහනට සමාජ විද්‍යාඥයෙකු සහ දේශකවරයෙකු වශයෙන් සිය දායකත්වය ලබාදෙන තුෂාර මනෝජ් මහතා පවසයි.

සනීපාරක්ෂක තුවා යැයි කියූ සැණින් අපට සිහිපත් වන්නේ වෙළඳපොළේ ඇති වාණිජ පෑඩයයි. නමුත් නෙළුම්යාය පදනම සිය නියමු ව්‍යාපෘතිවලදී හඳුනාගත් පරිදි ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්කවල, විශේෂයෙන්ම කිලිනොච්චිය වැනි ප්‍රදේශවල වාණිජ සනීපාරක්ෂක පෑඩයක් සිය ජීවිත කාලය පුරාම දෑසින් නොදුටු දැරියෝ වෙති. ඔබ විශ්වාස කළ ද, නොකළ ද යථාර්ථය එයයි. එවැනි අය පාවිච්චි කරන්නේ මොනවාද? ඔවුන් සහ මුරුගාගේ බිරිඳ ශාන්ති අතර වෙනසක් නැත. ඔවුන් කරන්නේ කිළිටි රෙදි කඩකින් යටි කය ආවරණය කර ගැනීමට වඩා වැඩි දෙයක් නොවේ

‘‘ආර්තව දරිද්‍රතාවය නැති කළ විට ග්‍රාමීය දිළිඳුබව නැති වන්නේ නැහැ. නමුත් ග්‍රාමීය දිළිඳු නැති කරන්නට නම් ආර්තව දිළිඳුබව නැති කළ යුතුයි. ඒ නිසා ග්‍රාමීය දිළිඳු බවේ ප්‍රධාන සංරචකයක් සහ පිළියම් යෙදිය යුතු තත්වයක් වශයෙන් අප ආර්තව දිළිඳුකම හඳුනා ගන්නවා.“ යැයි ‘මිහිමව සුරකින හරිත දියණියෝ‘ වැඩසටහන ලංකාව වෙනුවෙන් කළමනාකරණය කරන නීතීඥ රදිකා ගුණරත්න පවසයි. ‘‘අනෙක් අතට සංවර්ධිත යැයි කියන රටවල පවා, උදාහරණයක් වශයෙන් එංගලන්තයේ, තවමත් ඔසප් දිනවල, සනීපාරක්ෂක තුවා නොමැති කම නිසා පාසල් නොයන දැරියන් සිටිනවා. ග්‍රාමීයව නෙවෙයි, නගරබද ව පවා මේ තත්වය දැකගන්න පුළුවන්..“ යැයි ද ඇය සඳහන් කළාය.

පසුගියදා ස්කොට්ලන්තය ආර්තව දුගී බව මුලිනුපුටා දැමූ ලෝකයේ ප්‍රථම රට බවට පත්විය. ඒ, ස්කොට්ලන්තයේ ජීවත් වන වැඩිවිය පත්වූ සියලුම ගැහැණු ළමයි සහ කාන්තාවන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීම මගිනි. නමුත් ඒ සනීපාරක්ෂක තුවා, භාවිතයෙන් පසු අවසානයේ එක් වන්නේ කොතැනටද? එ්වා මේ මිහිමඬල මත කිසියම් ස්ථානයක ගොඩගැසෙනු ඇත. පෑඩ් මෑන් කරන්නේ ද එයයි. මුරුගා අඩු වියදම් සනීපාරක්ෂක තුවායක් ඉන්දියානු කතුන්ට හඳුන්වා දෙයි. ඒවා ප්‍රධාන වශයෙන්ම කපු පුළුන්වලින් නිෂ්පාදිත ය. නමුත් ඒවා නැවත නැවතත් පාවිච්චි කළ හැකි නොවේ. ඒවා පරිසර හිතකාමී වන්නේ පරිසරයට විසි කර දැමූ පසු දිරාපත් වන නිසා පමණි.

‘‘නෙළුම්යාය පදනම අපේක්ෂා කරන්නේ නැවත නැවතත් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක තුවායක්, කිසිදු වාණිජ පරමාර්ථයකින් තොරව ග්‍රාමීය දිළිඳු කාන්තාවන් වෙත හඳුන්වා දීමයි. එහිදී අවසානයේ පෑඩ් මෑන් චිත්‍රපටයේ වගේම ග්‍රාමීය කාන්තාවට තමන්ගේ සනීපාරක්ෂක තුවා තමන්ම මසා ගැනීමටත්, අතිරික්තයක් තිබේ නම් ඒවා ගම් මට්ටමෙන් අමතර ආදායම් මාර්ගයක් බවට පත් කරගැනීමටත් ඉඩ සලසා දීම අපේ අරමුණයි. මෙහි වැදගත්ම කාරණය තමයි, මේ පරිසර හිතකාමී සනීපාරක්ෂක තුවා නැවත නැවතත් පාවිච්චි කළ හැකි වීම. අපේ නියමු ව්‍යාපෘති මගින් හඳුනාගෙන තිබෙන අන්දමට කාන්තාවක් සාමාන්‍ය තත්ව යටතේ ජීවිතයෙන් අවුරුදු 30 ක් පමණ ආර්තවය සමග ජීවත් වෙද්දී ආර්තව සනීපාරක්ෂාව ගැන සිතනවා නම්, වෙළඳපොළේ ඇති වාණිජ සනීපාරක්ෂක තුවා 9000 ක් පමණ පාවිච්චි කළ යුතුයි. මේ තත්වය පවුලක් ගත්විට එම පවුලේ දියණියක් සිටියි නම් දෙගුණයක්. ගමක් සැලකූ විට, නගරයක් සැලකූ විට, එතැනින් ඔබ්බට රටම සැලකූ විට, මහා කසළ කන්දක්. දිරාපත් නොවන අපද්‍රව්‍ය කියන්නෙ අපේ රටේ තවමත් විසඳුමක් නැති ප්‍රශ්නයක්. සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන කාන්තාවන්ට බොහෝ විට එයින් සිදුවන පරිසර හානිය ගැන කිසිදා සිතා බලා නැහැ. අපේ වැඩසටහන්වලදී අපි මේ ගැන ඔවුන්ට තේරුම් කළාම ඔවුන් තමන් කරමින් සිටින දේ ගැන පුදුමයට සහ කළකිරීමට පත් වෙනවා..“ යැයි රදිකා ගුණරත්න පවසයි. ‘‘අපට අවශ්‍ය වන්නේ වාණිජ සනීපාරක්ෂක තුවායට අඩු වියදම්, පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත විකල්පයක් හඳුන්වා දීමයි.“

එය සැබෑවකි. පෑඩ් මෑන් හි මුරුගා අවසානයේ නතර වන තැන, පාවිච්චි කර ඉවත දමන සනීපාරක්ෂක තුවා කන්දකි. වෙනත් වචනවලින් පවසන්නේ නම් අපිරිසිදු කුණු කන්දකි. නමුත් නෙළුම්යාය එයින් බොහෝ ඔබ්බට යයි. ග්‍රාමීය දිළිඳුකම, ග්‍රාමීය ආර්ථිකය ගැන මෙන්ම පරිසරය ගැන ද නෙළුම්යාය සාධනීය ලෙස සිතයි. හුදෙක් අධ්‍යාපනික හෝ දැනුවත් කිරීමේ වැඩසටහකින් නොනැවතී ඒ සඳහා කදිම විකල්පයක් ද හඳුන්වා දෙයි. කිළි ගැන සිතන විටත් විළි වැදෙන රටක නෙළුම්යාය පදනම විසින් විකසිත කළ නෙළුම පිළිබඳ අප කතා කළ යුතුව තිබනේනේ එනිසා ය.

- දීපක විජේසුරේන්ද්‍ර

කියවන්න-

‘මිහිමව සුරකින හරිත දියණියෝ’ සමග නෙළුම්යාය, ආර්තව දිළිඳුකම පිටුදැකීමට මුල පුරයි.

ආර්තව දුගී බව සහ නෙළුම් යාය - සමාජ විද්‍යාඥයෙකුගේ ඇසින්

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment