ජාතික රූපවාහිනියේ නව සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සමග ඉරිදා පුවත්පතක් වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ මාධ්‍යවේදිනියක් ඇයට පිරිමින් සමග වැඩ කිරීමේ අපහසුතාවක් තිබේදැයි අසයි. තවද ඇය පළමු දිනයේ සාරියක් හැඳ වැඩට ආවේ නැත්තේ ඇයිදැයි අසයි. නොහොත්, පළමු දිනයේ කලිසමක් හැඳ වැඩට ආවේ ඇයිදැයි අසයි.
දැන් මෙතැන මේ මාධ්‍යවේදිනිය කිසියම් වරදක් කර තිබේද? ට්වීට්, රීට්වීට් සහ ෆේස්බුක් පෝස්ට් හරහා සමාජ මාධ්‍යවල මෙහිදී තලු මරමින් ඉස්මතු කරන කාරණා දෙකක් තිබේ. එකක් නම් සම්මුඛ සාකච්ඡාව සිදුකරන්නේ මාධ්‍යවේදියෙක් විසින් නොව මාධ්‍යවේදිනියක් විසින් වීම ය. ‘‘පිරිමියෙක් මේ ප්‍රශ්න ඇහුව නම් කමක් නෑ..“ යැයි ඇතැම්හු කියති. අනෙක නම්, ලිංගිකත්වය අරබයා මතය හෝ ආකල්පය ඉනෝකා සත්‍යාංගනීගේ මුවින්ම පිට කරවා ගැනීමට දරන උත්සාහයයි.
‘‘බොහෝ අවස්ථාවල ස්ත්‍රීවාදිනියක් ලෙස පෙනී සිටින ඉනෝකාට පිරිමි එක්ක වැඩ කරන්න බැරිලු?“
එයට ඇය ලබාදෙන පිළිතුර සමාජ මාධ්‍ය ජාලවල පිනුම් ගසන්නන්ගේ අවධානය යොමු වී ඇති බවක් නොපෙනේ. එම පිළිතුර මෙසේ ය.
‘‘මම මගේ තියෙන පෞද්ගලික ව්‍යාපෘති මෙතැනදි ක්‍රියාත්මක කරන්නෙ නෑ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ගැටුම් හෝ වෙනත් මා දරන මගේ සංස්කෘතික සමාජ මතයක් මෙතැන පැළ කරන්න මට පුළුවන් කමක් නෑ... මං ආවෙ මගේ මත පැළ කරන්න නෙවෙයි... මම ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද කියන එක කවදාවත් මගේ වෘත්තීයභාවයට අදාළ කරගත්තෙ නෑ. මම කරන වැඩේදි මම පිරිමියෙක්ද ගැහැනියක් ද කියන එක අදාළම නැහැ... මගේ ස්ථාවරයේ ඉන්න වෙලාවට මගේ ස්ත්‍රීතාවය මම කිසිසේත්ම ඔළුවට ගන්නෙ නෑ..“
නගන පැනයට වඩා ලැබෙන පිළිතුර මසුරන් වටියි. නමුත් පැනයට ලැබෙන ප්‍රචාරණය ඒ පිළිතුරට ලැබෙන්නේ නැත.
අවුල තිබෙන්නේ කොතැනද? ඉනෝකාගේ කලිසමේද, නැතිනම් සමාජ මාධ්‍ය ජාලවලින් ඉලිප්පෙන්නට යත්න දරනවුන්ගේ ඔළුගෙඩියේද?
සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් වේලාවන් වෙන් කරගෙන සිදුකරන සම්මුඛ සාකච්ඡාවලදී එවේලේ ආස හිතෙන, හිතට නැගෙන ප්‍රශ්න අහන්නේ නැත. බොහෝ විට ඒ ප්‍රශ්න පෙර සූදානම් කර ගත් ඒවා ය. මේ ආන්දෝලනාත්මක යැයි සෙස්සන් තලුමරන ප්‍රශ්න දෙකද, එසේ පෙර සූදානම් කර ගත් ප්‍රශ්න බව, ‘පිළිවෙළකට ප්‍රශ්න අසන ආකාරයෙන්‘ පෙනී යයි.
දැන් මෙතැන තිබෙන අවුල කුමක්ද?
ගැහැනියක් කලිසමක් හැඳගෙන වැඩට ඒම ‘මැජික්‘ එකක් වන ආයතන මේ ‘අමුතු ඇටයේ‘ අනන්ත තිබේ. විශේෂයෙන්ම බහුතර රාජ්‍ය ආයතනවල ‘ඩ්‍රෙස්කෝඩ්‘ එක සාරියකි. සාරියක් හැඳගෙන වැඩට ඒම නිසා රාජ්‍ය යාන්ත්‍රණය සාරි පොටෙන් සවිබල ගැන්වෙනවා වත්ද..? සාරිය අඳින්නෝ පමණක් එය සිරුරට කොතරම් පහසුද, අපහසු ද යන්න හොඳින් දනිති. එය ස්ත්‍රීන් නියැළී සිටින වෘත්තියට කොතරම් බලපෑම් සහගත ද යත්, දැනට මාස කිහිපයකට පෙර ලංකා කාන්තා නීතීඥ සංගමය ද තීන්දු කළේ සාරිය අධිකරණයේ පෙනී සිටීමට අනිවාර්ය නොවන බවයි. කලිසම සහ කළු කබාය එයට වඩා සුදුසු බවයි. නමුත් කාන්තාවක් සාරියක් නොඇඳීම මේ සිවිල් සමාජයට තවම ‘මාර‘ ප්‍රශ්නයකි. එය කොතරම් ‘මාර‘ ද යත්, ඒ ගැන ඇසීම ද ඒ නිසා ඉතාම ‘මාර‘ ය. කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පුරුෂාධිපත්‍යය මුල් බැසගෙන ඇති ලාංකේය සමාජයට, ලිංගික කුහකත්වය සහ ලිංගික ඊර්ෂ්‍යාව දෝරෙ ගලා යන සිවිල් සමාජයට, sex යන වචනය වැඩිපුරම ගූගල් කළ රට වශයෙන් පිට පිට තුන් වන වතාවටත් කප් ගැසූ ලාංකේය සමාජයට ඉනෝකාගේ කලිසම ගැන ඇසූ ප්‍රශ්නය, ‘මාර ප්‍රශ්නයක්‘ වීම විමතියට කාරණයක් නොවේ. එනිසා ඉරිදා පුවත්පතේ පෙර කී මාධ්‍යවේදිනිය අසන්නේ ඇගේ පුද්ගලික ප්‍රශ්නයක් නොවේ. සමාජය විසින් ඉනෝකාලාගෙන් අසන්නට බල කරන පැනයයි. එය තවදුරටත් පැනයක් ලෙස ඉතිරි වී පවතින තාක් කල්, එ් පැනය ඇසීම වරදක් ද? මේ අනුව ප්‍රශ්නය තිබෙන්නේ ඉනෝකාගෙන් කලිසම ගැන විමසූ මාධ්‍යවේදිනියගේ නොව, එවැනි පැනයක් ඇගෙන් අසන තැනට මාධ්‍යවේදිනිය පත්කළ සමස්ත සමාජයේ ය.
ඒ නිසා ඇතැමුන් කියනා පරිදි මෙය සිංහල මාධ්‍යයේ පරිහානිය සලකුණු කරන්නක් ද නොවේ. ඉංග්‍රීසි මාධ්‍ය භාවිතාව තුළ ද ‘ඇඩ්වාන්ස්‘ අන්දමින් මාධ්‍ය ආයතන තුළ ‘සෙක්සිසම්‘ ක්‍රියාත්මක වන බව අවදියෙන් පසුවන ඕනෑම අයෙක් දන්නා නිසා ය.
අප සැබවින්ම ජීවත් වන්නේ, ස්ත්‍රීවාදිනියක් වන ඉනෝකා කලිසමක් හැඳ වැඩට ඒම පමණක් නොව, ඇයව එවැනි තනතුරකට පත්කිරීමම, ප්‍රශ්නකාරී වූ සන්දර්භයක් තුළ ය. ඊනියා සිවිල් සමාජය තුළ ‘මාර රැඩිකලුන්‘ හා ‘සමානාත්මතාවය ගැන උද්වේගයෙන් කතා කරනවුන්‘ රූපවාහිනී ආයතන දෙකක මුල් පුටුවලට ‘‘කාන්තාවක්ම පත් කළ යුතුව තිබුණාද?“ කියා ඇහි බැම රැළිගන්වමින් පැයක් හමාරක් වාද කරන සිවිල් සමාජයක් තුළ ය. ‘‘ඇයි ඔය පුටුවට දාන්න පිරිමියෙක් හිටියෙම නැත්ද?‘‘යි ජුගුප්සාජනක ලෙස විමසන සමාජයක් තුළ ය. අප හොඳින්ම දන්නා පරිදි පසුගිය කාල වකවානුවල මේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට ආ ගිය පිරිමි උදවිය, ගණනින් අනන්ත ය. සමාජය විටෙක ඔවුන්ගේ නමක් ගමක්වත් දන්නේ නැත. ඒ, ඔවුන් හුදෙක් පිරිමින් වූ නිසාද? නමුත් මුල් පුටුවට ගැහැනියක් පත් වූ විට තත්වය වෙනස් ය. ‘‘එයා කවුද? කාගෙ කවුද? මිස් ද මිසිස්ද? දැන් හස්බන්ඩ් කවුද? මිසිස් වුණාට හස්බන්ඩ් වෙනමද ඉන්නෙ..!“ යනාදී වශයෙන් ප්‍රශ්න රැළක් සිවිල් සමාජය විසින් නගනු ලබයි. අප ජීවත් වන සමාජය එබඳු ය. කුණු රසයට ඉතා ලොල් ය.
ඒ අනුව මෙතැන තිබෙන සැබෑ ප්‍රශ්නය, ඉනෝකා ගැහැනියක වීම හැර අන් දෙයක් නොවේ. ඉතිහාසයේ පළමු වරට ගැහැනියක රූපවාහිනියේ මුල් පුටුවට පැමිණීම මෙතැන ඇති සැබෑ ප්‍රශ්නයයි. සෙසු සියලු ආනුශංගික ප්‍රශ්න බිහිවන්නේ ඒ වටා ය.
මෙසේ ඇය ගැහැනියක් වීම ප්‍රශ්නයක් කරගන්නා ඊනියා ‘පිරිමි‘, විදේශිකයන් හමුවේ ලංකාවේ ගැහැනු ගැන පාරම් බාන්නේ මෙසේ ය. ‘‘අපේ රටේ ජාත්‍යන්තරයට ගිය ගෑනු ගොඩා...ක් ඉන්නවා.. අපේ රටෙන් තමයි ලෝකෙ පළවෙනි අගමැතිනිය බිහි වුණේ.. අපේ රටේ අගවිනිසුරුවරියකුත් හිටියා.. අපේ රටෙන් බිහිවුණු ලෝක විවාහක රූ රැජින තමයි දැන් කොළඹ නගරාධිපතිනිය..!!!“ ඔවුන් ලෝකයට මේ පවසන්නේ කුමක්ද? මේ රට සමානාත්මතාවය පදනම් කරගෙන දැහැමෙන් සෙමෙන් පාලනය වන බව ය. ගැහැනු පිරිමි කියා වෙනසක් නැතිව දක්ෂයාට-සුදුස්සාට තැන දෙන බව ය. අපේ රට මේමයි, අපි ගෑනුන්ට නිසි තැන දෙනවා‘ කියා පාරම් බාන්නට උදාහරණ අවශ්‍ය වූ විට පමණක් ඔවුන්ට ගෑනු කීප දෙනෙක් අවශ්‍ය වේ! අහෝ ඛේදයකි, ඉරකි, තිතකි.
වරක් එක්සත් රාජධානියේ පළවන කීර්තිමත් ගාඩියන් පුවත්පත ලෝක දේශපාලනයේ ලිංගිකත්වය උළුප්පා දැක්වූ අවලස්සනම අවස්ථා 10 ලැයිස්තු ගත කළේය. (කියවන්න,Top 10 sexist moments in politics:) එහිදී හිලරි ක්ලින්ටන් හා ඔස්ට්‍රේලියාවේ එවකට අගමැතිනී ජුලියා ගිලාඩ් ද පරදවා 6 වන තැනට ආවේ, ක්‍රියාකාරී දේශපාලනයේ 20 වසරකට වඩා අත්දැකීම් ඇති, කොළඹ වත්මන් පුරපතිනී රෝසි සේනානායක විසින් නැගූ ප්‍රශ්නයකට එවකට ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම පිළිතුරු දුන් අසභ්‍ය සිදුවීමයි. ඇය බියුටි ක්වීන් කෙනෙකු බවත්, බියුටි ක්වීන් කෙනෙක් තමන්ගෙන් ප්‍රශ්න ඇසීම තමන්ට ලොකු දෙයක් බවත්, ඇය ගැන පහළ වෙන හැඟීම් පාර්ලිමේන්තුවෙන් පිටතදී හමුවුවහොත් කියන බවත් කුමාර වෙල්ගම කීවේය! එහිදී සිය නිළි පෙම්වතිය වෙනුවෙන් කෝච්චියක් පවා නම් කර තිබූ වෙල්ගමට පෙනුණේම ඇගේ ගැහැනු කම විනා, ඇය නගන පැනයේ බැරෑරුම් කම හෝ වැදගත්කම නොවේ. උත්තරීතර යැයි පොතේ සඳහන් වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එවකට කතානායක චමල් රාජපක්ෂ ද කාන්තාවන් සම්බන්ධයෙන් ඓතිහාසික ප්‍රකාශයක් සිදුකර තිබේ. මොනවා කරන්නද? නායකයන්ගෙන් පෙනෙන්නේ ඒ රටේ ජනතාවගේ හැටි යැයි කියමනක් තිබේ.
ලිංගිකත්වය ගැන ඉනෝකාගේ කලිසම නිසා ඇදී ආ සංවාදය අප අගය කරන්නේ මේ පසුබිම තුළ ය. අප නම් කියන්නේ, ඉනෝකලාගෙන් මෙවැනි ප්‍රශ්න වැඩි වැඩියෙන් ඇසිය යුතුය. ප්‍රශ්න තිබේ නම් නොඅසා නොසිටින්න. දිගටම අසන්න..! ඉනෝකලා එයට ලබාදෙන පිළිතුරුවලට පබ්ලිසිටි දීමට ඔබේ ‘පිරිමිකම‘ පසුබට වන්නේ නම් අඩුම ගණනේ ඒ ප්‍රශ්නවලටවත් පබ්ලිසිටි ලබාදෙන්න. මේ වැඩේ දිගටම කරගෙන යන්න. එවිට දිනෙක ඉනෝකාගෙන් අසන ප්‍රශ්නවල සිටින ‘සැඟවුණු අමුත්තා‘ ඔබට සොයාගත හැකි වේවි. අනතුරුව කැඩපතක් ඉදිරියට යන්න... ප්‍රශ්නය එතැනින් අහවර ය..!
- ක්‍රිෂාන්ති රාජපක්ෂ
0 comments :
Post a Comment