ඒ මහතා මේ බව සඳහන් කළේ අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවේ තනතුරු දරමින් සිට ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් වන එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, තිලංග සුමතිපාල, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුරාධ ජයරත්න, සුසන්ත පුංචිනිලමේ, සාරානාත් බස්නායක, දයාසිරි ජයසේකර, ටී. බී. ඒකනායක, සුමේධා ජයරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිසක් මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව එම පිරිස මල්වතු මහා විහාරයේදී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක තමන් ගත් තීරණය පිළිබඳව කරුණු පළ කළෝය.
නියෝජිත කණ්ඩායම වෙනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෙනෙවිරත්න ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා,
"අපි ආණ්ඩුවක් හදලා මහත් සේවයක් ඉෂ්ට කිරීමට අපේක්ෂා කළා. ජනතාව ද ආණ්ඩුව පිළිබඳ බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් අපිට දිගින් දිගටම පැහැදිලි වුණා, රටේ ආර්ථීක තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව. අපට තිබුණේ තව අවුරුදු දෙකයි. ඒ කාලය තුළ විශාල කාර්යයභාරයක් සිදු කළ නොහැකි බව අපට පේනවා. අපට මේ කාලය තුළ වැරදි ක්‍රියාමාර්ගවල තවදුරටත් යෙදුණොත් ජනතාවට වගකියන්න සිදුවෙනවා. ඒ නිසයි ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ සිටිමින් අපගේ කාර්යභාරය ඉටු කිරීමට අප තීරණය කළේ."
අපි ජනපති ශක්තිමත් කරනවා
හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා,
"ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පැවැති සාකච්ඡාවලදී අගමැතිට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිතුමා අවස්ථා කිහිපයකදී කිවා. ඒ යෝජනාව ආවේ අපේ පැත්තෙන් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ වැඩි පිරිසක් කියන්නේ අගමැතිට ඉල්ලා අස්වන ලෙසයි. විශ්වාසභංගයේදී විශාල මුදල් ගනුදෙනු වුණා. පොඩි ගණනින් නොවෙයි, මිලියන සීයය දෙසීය වැනි අතිවිශාල ගණනින් මුදල් ගනුදෙනු වුණා. ඒ අතර පොඩි පොඩි පක්ෂ ද දායක කර ගැනීමට ඔවුන් ක්‍රියා කළා. ඉටු කිරීමට නොහැකි බොරු පොරොන්දු පවා ඔවුන් දුන්නා. අපිට ලොකුම ගැටලුව වුණේ අපේම පක්ෂයේ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්දය ලබා දීමයි. එවැනි ආණ්ඩුවක සිටීමට අපේ අපේක්ෂාවක් නැහැ.
ආණ්ඩුවෙන් ඉවත් වුවත් මන්ත්‍රීවරු 16 දෙන ජනපති හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමඟ සිටිනවා. ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එළඹෙන 08 දා විපක්ෂයේ අසුන් ගන්නවා. අපි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.
අපේ ඉවත්වීම ගැන ජනතාව සතුටු වෙනවා
හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා,
"බලයට පත්ව අපට වැඩ කිරීමට අවුරුදු දෙකක කාලයක් උත්සාහ කළත් අපට ඒ සඳහා අවස්ථාව හිමි වුණේ නැහැ. අපි හිතනවා, අපිට ඉදිරියට යන්න නම් මේ රටේ දිළිඳු බව තුරන් කිරීමට, රටේ ඒකීයභාවය රැක ගැනීමට නම් ෆෙඩරල් ක්‍රමයට යාම නොව ඒකීය පාලනයක් කරා යාමට අවශ්‍යයි. ඒ නිසා රටට හිතකර තීන්දු ගන්නේ නම් ප්‍රධාන කරුණුවලට සහය දීමට අප පසුබට වන්නේ නැහැ. විශාල කැබිනට් මණ්ඩලයක් පත්කර විශාල මුදලක් වැය කිරීමේ අවශ්‍යතාවක් රටට අවශ්‍ය නැහැ. අප ඉවත්වීම පිළිබඳව මේ වන විට ජනතාව ප්‍රසාදය පළ කරනවා. රටේ සම්පත් සුරක්ෂිත කර ගැනීම අපේ මූලික අපේක්ෂාවක්. අපට රට නිවැරැදි මාර්ගයට ගැනීමට තවත් වසර දෙකක පමණ කාලයක් තිබෙනවා.
ජාතික රජයක් ලෙස ගන්නා ප්‍රධාන තීන්දුවලදී ව්‍යවස්ථාව ආදිය පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීමට අවශ්‍යයි. ඒ සඳහා මහානායක හිමියන්ගේ ආශිර්වාද මත ඉදිරියේදි වැදගත් නිවැරැදි තීන්දු රැසක් ලබා ගැනීමට අපේක්ෂාවයි. අපේ පක්ෂය ගොඩනැගුණේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පංච මහා බලවේග යටතේයි. ඒ නිසා පක්ෂය රැකගත යුතුයි. පක්ෂය රැකගැනීම සඳහායි අප මේ තීරණය ගත්තේ"
අපේ අරගල සාර්ථක වුණේ නැහැ
හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා,
"බුදු දහම සුරක්ෂිත කර ගැනීමට සඳහා විශාල අරගලයක් කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. සමලිංගික පනත සම්මත කර ගැනීමට අවස්ථා තුනකදී යෝජනා පාර්ලිමේන්තුවට ආවා. අප එය පරාජ කළා. ඛණිජ තෙල් සම්පත වෙනුවෙන් ඛණිජ තෙල් සංකීර්ණය රැක ගැනීමට මම ක්‍රියා කළා. එහිදී සමස්ථ පාර්ලිමේන්තුවම මට ඒ සඳහා සහයෝගය ලබා දුන්නත් අග්‍රාමාත්‍යවරයා එය වැළැක්වුවා"
නදීක දයා බණ්ඩාර - මහනුවර
0 comments :
Post a Comment