මිල සූත්‍රය විසිවෙයි : තෙල් යළි වැඩිවෙයි?


ඉදිරි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය 25 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ මාධ්‍යවේදීන් හා පැවැති සුහද හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය ජනතාවට පීඩාකාරීව බලපා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් බොහෝ විවේචන ඉදිරිපත් වී ඇතැයි කී හෙතෙම ලබන අයවැයට පෙර ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක් සිදුකිරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළේය.

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමද ඉන්ධන මිල ඉහළ යාමට බලපා ඇතැයි කී ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකාවට පමණක් අදාළ වන කාරණයක් නොව ලෝකයේ තවත් බොහෝ රටවල මුදල් අවප්‍රමාණය වෙමින් පවතින බවද කීය.

මේ නිසා පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කළ යුතුව ඇති බවද ඔහු සඳහන් කළේය.

තෙල් යළි වැඩිවෙයි

පසුගිය සතියේ මැද භාගය වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 81.8 දක්වා ඉහළ ගොස් තිබිණි. 

2014 වසරේ නොවැම්බර්වලින් පසු වාර්තා වූ ඉහළම මිල මෙය බවත් නුදුරු අනාගතයේදී බොරතෙල් බැරලය ඩොලර් 85 දක්වා ඉහළ යනු ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව පවරා ඇති සම්බාධක දැඩි කිරීම සහ බොරතෙල් නිෂ්පාදනය ඉහළ දමන ලෙසට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සෞදි අරාබියෙන් සහ රුසියාවෙන් කළ ඉල්ලීම් එම රටවල් ප්‍රතික්ෂේප කිරීම මේ තත්ත්වයට බලපා ඇතැයි කියති.

පසුගිය සැප්තැම්බර් 10 වනදා සිට මිල සූත්‍රය අනුව මෙරට පෙට්රල් ලීටරය රුපියල් 4කින්ද, සුපර් ඩීසල් ලීටරය රුපියල් 3කින්ද ඔටෝ ඩීසල් රුපියල් 5කින්ද ඉහළ ගියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment