මෛත්‍රී - මහින්ද සන්ධානයට බැසිල් විරුද්ධයි!
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශවය සහ ඒකාබද්ධ විපක්ෂ පාර්ශවය අතර දේශපාලන සන්ධානයක් ඇති වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ හිතවාදී කණ්ඩායම අකමැත්තක් දක්වන බව සති අග 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.
අයවැය විවාදයේදී ආණ්ඩුව පරාජය කොට අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීම සඳහා වන සැලසුම් සම්බන්ධයෙන්ද එම පාර්ශවය අකමැත්ත පළ කර ඇති බවත්, එම සංවාදය කඩාකප්පල් කිරීම සඳහා එම කණ්ඩායම උත්සාහ කරමින් සිටින බවත් 'අනිද්දා' සමග අදහස් දක්වා ඇති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයක් ප්‍රකාශ කර ඇත.
'අනිද්දා' සමග අදහස් දක්වා ඇති බැසිල් රාජපක්ෂ මහතාට සමීප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එක්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවාසිදායක වන බවයි.
මෛත්‍රීගේ සහයක් අවශ්‍ය නැහැ :
ජනතාව පොදුජන පෙරමුණ සමග සිටින බව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් හෙළිවූ බවත්, ඉදිරි මැතිවරණ ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිවකුගේ සහයක් අවශ්‍ය නොවන බවත් එම මන්ත්‍රීවරයා අවධාරණය කර තිබේ.
ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ජය ගැනීම මිස, ශ්‍රීලනිපය සමග දේශපාලන සන්ධානයක් ඇතිකරගැනීම සුදුසු නොවන බව ද ඔහු කීය.
මෙම කණ්ඩායම මීට පෙර ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එකතුකර ගැනීම සම්බන්ධයෙන්ද විරෝධය දක්වා තිබුණි.
සැප්තැම්බර් 25 වැනිදාට නියමිතව තිබුණු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම නොපැවැත්වූ නිසා ඇයවැය පරාජය කිරීම පිළිබඳ සාකච්ඡාව ඔක්තෝබර් 02 වැනිදා ඒකාබද්ධ විපක්ෂය පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවේදී සිදු කරනු ඇතැයි 'අනිද්දා' සමග අදහස් දැක්වූ පක්ෂ නායකයා පවසා ඇත.
0 comments :
Post a Comment