රුපියල රකින්න බැංකු පොලී මුක්කුවක්.



බැංකු පොලිය ඉහළ නැංවීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණවීම නිසා උද්ගතව ඇති බැරෑරුම් අහිතකර තත්ත්වය මඳ පමණකට හෝ පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බව පැවසේ.

ආනයන පාලනය ආදී ආණ්ඩුව මේ පිළිබඳ ඉදිරිපත් කර ඇති යෝජනා දීර්ඝකාලීන වන අතර ඒවායේ ප්‍රතිඵල ලබා ගැනීමට ප්‍රමාද වන බැවින් ඒ පිළිබඳ ක්ෂණික විසඳුමක අවශ්‍යතාව ආර්ථික උපදේශකයන් විසින් පෙන්වා දෙනු ලැබීමෙන් පසු මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව දැනගන්නට තිබේ.

දේශීය මුදලේ අගය පිරිහුණු බොහෝ රටවල් මේ වනවිට ස්වකීය බැංකු පොලී ඉහළ නංවා ඇති අතර පසුගිය දිනවල ඉන්දියාවටද සියයට 0.5කින් බැංකු පොලිය ඉහළ නංවා තිබේ. පිලිපීනය සියයට 1 කින්ද ඉන්දුනීසියාව 1.25කින්ද පොලිය ඉහළ නංවා ඇත. ඉදිරියේදී තවදුරටත් එම රටවල බැංකු පොලිය ඉහළ යනු ඇති බව අපේක්ෂා කෙරේ.

එහෙත් සමහර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රටක බැංකු තැන්පතුවල පොලිය වැඩිකළ විට එයට සාපේක්ෂව ණය පොලියද ඉහළ නංවන්නට සිදුවන බවය. එසේ ණය පොලිය ඉහළ ගිය විට විශේෂයෙන් බැංකුවලින් ණය ලබාගෙන ව්‍යාපාරවල යෙදෙන දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විශාල අගතියක් සිදුවන බව ඔවුහු කියති.

දැනට රුපියල අවප්‍රමාණවීමෙන්, භාණ්ඩ හා සේවා මිල අඛණ්ඩව ඉහළ යාම නිසා ජනතාවගේ ජීවන තත්ත්වයට සිදුව ඇති අහිතකර බලපෑම තම වාසියට යොදාගන්නා ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් ආණ්ඩුවට එරෙහි බලවේග ගොඩනැගීමේ සූදානමක් ඇති බවටද කරුණු අනාවරණය වී තිබීමද මෙම පියවර ගැනීමට හේතු වී තිබේ.

පසුගිය සතිය තුළ පමණක් රුපියලේ වටිනාකම රුපියල් 163 සිට 171 දක්වා සියයට 5කින් පහළ ගොස් ඇති අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරන්නේ ඉදියේදී රුපියල තවදුරටත් රුපියල දුර්වල වනු ඇති බවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment