තෙල් ලාංඡනයට 'රෙදි අන්දන්න' කෝටි 300 ක්!
පෙට්‍රොලියම් සංස්‌ථාවේ පාඩුව පියවා ගන්න මිල සූත්‍රය හරහා තෙල් මිල ඉහළ දැමූ බව පවසන ආණ්‌ඩුව එහි ලාංඡනය වෙනස් කිරීමට රුපියල් කෝටි 300 ක් වැය කිරීමට පියවරගෙන ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ ඉකුත් පෙරේදා (29 ) ගම්පහදී පැවැති ජනහමුවකදීය.
.'' ආණ්‌ඩුව මිල සූත්‍රයක් දාලා තියෙනවා. අපි එම මිල සූත්‍රය ගැන ඇහැව්වට කියන්නේ නැහැ. ආණ්‌ඩුව අන්තිමට මිල සූත්‍රය යටතේ තෙල් මිල ඉහළ දමනකොට කිව්වේ සංස්‌ථාවේ පාඩුව පියවා ගන්න එය සිදුකරන බවයි.
එහෙම කියපු ආණ්‌ඩුව සංස්‌ථාවේ ලාංඡනය වන නිර්වස්‌ත්‍රව පන්දමක් රැගෙන දුවන මිනිසකු සිටින ලාංඡනය වෙනස් කරන්න රුපියල් කෝටි 300 ක් වැය කරන්න සූදානම් වෙනවා.'' යයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ මන්ත්‍රීවරයා කීවේය.
මාසයෙන් මාසයට තෙල් මිල ඉහළ දමමින් ජනතාව මත බරපැටවී ඇති අවස්ථාවක රුපියල් කෝටි තුන්සියයක් වැය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලාංඡනයේ වර්ණ වෙනස් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි ඊයේ (30) ප්‍රකාශයට පත්වූ 'සති අග අරුණ' පුවත් පත සිය ප්‍රධාන සිරස්තලය යටතේ වාර්තාකර තිබේ.
0 comments :
Post a Comment